Tuesday, December 30, 2014

Blue or Green? නිල් පාටද කොළ පාටද?




හා හා ඉතිං කළබලවෙන්ට කාරි නෑ. දවසේ තෝරාගැනීම ගැන විශාල කලබැගෑනියක් ඇත්තේ. හැමෝම තීරණයක් ගන්න බැරුව ඉන්නෙ. මොකද දෙපැත්තටම ඡන්ද තියෙනවා. දෙපැත්තට බෙදිච්ච අය තමන් අකමැති බ්‍රෑන්ඩ් එකේ නුගුණ කියනවා. තව කට්ටියක් කියනවා ඔය දෙකම එකයි වෙන එකක් තෝරාගම්මු කියලා. හැබැයි නිල් කොළ දෙකට තමා වැඩි ඡන්ද.

කොළපාටට කැමති කට්ටිය කියනවා නිල්පාට තෝරාගන්නවා කියන්නෙ අපි ලෝකෙට ණය වෙන වැඩක්. අන්තිමේ ඉතුරු වෙන්නෙ මහ හිසරදයක්. විඳවන්න වෙනවා. මෙලෝ රහක් නෑ. ඒ නිසා කොළපාට තෝරගම්මු කියලා. අනික ඔය නිල්පාට එක හැදුනෙත් කොළපාට එකම වෙනස් කරලා තමා. ඒ නිසා නියම ඔරිජිනල් එක ගම්මු කියලා.

නිල්පාටට කැමති කට්ටිය කියනවා ධනය ටිකක් නාස්තිවුණත් හොඳ ප්‍රතිඵලත් තියෙනවා. සෙම නෑ, සෙවල නෑ. මේ දවස්වල වැඩිය ඩිමාන්ඩ් නැති නිසා කළවං නෑ කියලත් සුවර්. තත්ත්වයෙන් උසස්. පොඩි වියදමක් විතරයි වැඩිපුර යන්නෙ. අරකද මේකද එක කෙලියයි.

කට්ටියක් ඉන්නවා, අපිට ඔය කොයිකත් එකයි. කෝකෙනුත් වෙන්නෙ එකම සෙතේ. කොරන මගුලක් කරමු බයිල ගගහ ඉන්නකං, බොරුවට වාද කරනකං කියලා.

තව කට්ටියක් කියනවා, ඔය දෙක නෙමෙයි ඔය සෙට් එකම දහ ජරාව. අපිටනං අරහං වෙලා තියෙන්නෙ කියලා.

දැන් තේරුණානෙ වැඩේ? 

මගුලක් කතා කරනවා. මේ තමා එක්තරා වර්ෂාවසානයක සුහද සාදයේ බ්‍රෑන්ඩ් එක තේරීමේ මහා වාදය.







මහ දවාලේ ඔය කොයික ගැහුවත් හෙන අමාරුයි ඉතිං. අපේ මේ පට්ට ගිනි අව්වෙ කරවෙන ලංකාවෙ ගොඩක් උන්ට ඔය කොයිකෙනුත් කෙළවෙන්නෙ දැඩි උෂ්ණත්වය මැද්දෙ මෙව්වයිනුත් තව තවත් ඇඟ උණුසුම් වෙලා යන නිසා. නාලා කියලා හැන්දෑවක සීතලේ හෙමිහිට කොරනවනං ඕවා නරක නෑ. කොහෙද මේ අපේ ගෙවල්වල උන්දැලගෙ නෑනෙ කිසි උනන්දුවක්. මං කිව්වෙ බයිට් එකක් කාරිය හදලා දෙන්ට. 

හැන්දෑවට පබ් එකට ගිහිං වැඩිය සද්ද බද්ද නැති මුල්ලක පත්තරයක් කියව කියවා පිටපැත්තෙ පිනි බින්දු බැඳුණු පෙණ දාන ඩ්‍රාෆ්ට් බියර් එකක් තොලගානකොට, විශේෂයෙන් දවල් දවස උණුසුම් වටපිටාවක වැඩකරල ඇඟ රත්වෙලා තියෙන වෙලාවක ඇඟ සීතල කරගන්ට ඇත්නම්. අප්පා... ඒ ආතල් එකනං හොඳට ඇරං තියෙනවා. දැන් වයසට යනකොට සෙම වැඩි හින්දා එ් කෙලියත් නිතරම හරියන්නෑ.

ඔය නිහඬ පරිසරයේ තනියෙන් බුදුවෙනවා තරම්ම ආතල් එකක් තමා යාලුවො 4 ක් සෙට් වෙලා සැරජාති බෝතලයක් දෙකකට සෙට් වෙන එක. හොඳට කට දන්ට ගම්මිරිස් වැඩිපුර දාලා හදපු මටන් ස්ටුවක් එක්ක රෝස් පාන් දහයක් විතර කෙළලා අරින කොට දන්නෙම නෑ බෝතලේ නිකම්ම දෙක, තුන වෙනවා. මෙහේ තියෙනවා අර තායි අකුරු ගහපු මාලු සෝස් වලට කොච්චියි, සුදුලූණුයි, දෙහියි, ලුණුයි දාලා හදන නම්පා සෝස්. කට දන්ඩ කියාපු ජාතිය. ඒකට කට දනකොට ෂැගියි, ස්කූබියි වගේ ටුමැටෝ සෝස් දාගන්නවා දිව දිගටම. කොයි ලෝකෙ ලෙඩ හැදිල නවතීද මන්ද ඉතිං. අනේ මේ ඉන්න ටිකේ තමන් ආස දෙයක් කාලා බීලා හොග් ගාලා යනවා මිසක් සිල් අරගෙන අවුරුදු 120 ක් හිටියත් වැඩක් නෑ මටනං. යාලුවො 4 ක් සෙට් වුනාම දෙන්න දෙන්න එතනත් පොඩ්ඩක් කැඩෙනවා. දෙන්නෙක් සෙට් වුණාම ඉතිං වෙනම ලෝකෙකට ගිහෑකි. මමනං ඔය කොයිකෙනුත් ගන්නෙ ආතල් ම තමා. මට නිතරම ඕනි වෙනසක්. අද යාලුවො එක්ක බිව්වනං හෙට තනියෙන්. අනිද්ද ගෙදරටම ගෙනත්  හංගගෙන. අන්න එ් වගේතමා. 

අපි එකපාරක් ගියා ලොකු තේ වත්තක් තියෙන කස්ටමර් කෙනෙක්ගෙ ආරාධනාවකට සීතල කඳුකර ගමකට. දවල් කෑමට තිබ්බා ලොකු සර්ෆ් එක්සෙල් බාල්දියක් පුරෝලා මඤ්ඤොක්කා (අකුරු හරිද මන්දා) තම්බලා. අලි මැටි කෝප්පෙක තැඹිලි පාටට පොල් සම්බෝල පුරෝලා. අර පොඩියට කෑලි කපලා ගමේ තාලෙට උයපු කුකුල්මස් හට්ටියක්. ආයි දීසි වල මොකවත් නෑ. ඊට පස්සෙ අර නිල්පාට තඩි ඇසිඩ් බැරල් (ඇසිඩ් හෝදල ගන්ඩ ඇති) එකක් පුරෝලා කිතුල් රා. (දැන්නං කිතුල් රා බෑ. උගෙ අම්මගෙ ඔලුවෙ කැක්කුමක් අල්ලන්නෙ). අපි ඔක්කොම දහයක් විතර ගියා. එදා තමා දුන්නෙ පොරි හැලෙන්න. ගෙදර ආවද කියලවත් මතක නෑ. ඒ වගේ උත්තමයොනං මෙතේ බුදුන් දැක නිවන් දකිංට ඕනෑ ඒ කරපු මහා පුණ්‍යකරුමෙට. 

ඉතිං මේක ලිව්වෙ පොඩි වෙනසකටත් එක්ක. අනික අද දවාලට හොඳට කාලා බීලා හවස් වරුව විඳෝලා යංට ඕනෑ රෑ වෙනකොට පෙනදාන, සීතල කූල් බියර් එකක් බොන්ට. ඕවා කොරලා බොග දාන්ට බෑ නොවැ.

ඉතිං ලබන්නාවූ 2015 අලුත් අවුරුද්ද මේ අහ නිතර යන එන විභියා (අඩෝ මාත් 5000 යි හරිය), සින්දුවා, මෙන්ඩා, මනෝෂයා (මුල ඉඳන්ම හිටි එකා), මහේෂයා (මේ අනිකා), ඉන්දික සිංහයා, කුරුටුස්, දමියා ඇතුලු මගේ මිතුරු කැලටත් ඉඳහිට හරි මේ පැත්තේ ඇවිත් මෙලෝ රහක් නැති මේ ලිපි කියෝපු හැමෝටමත් විශේෂයෙන් මට උදව් කල අටමා සහ දේශාටත්, කෙනෙකුට බ්ලොග් ලියන්න හිතෙන තරම් පට්ට ලිවිල්ලක් ලියන මාතලං ලොක්කටත් මෙකී නොකී නම් කී නොකී හොකී අයිස් හොකී හැම එකාටත් එකීටත් වගේම මටත්, අපේ ගෙදර උන්ටත් තම තමන්ගේ දුක් කම් කටොලු සියල්ල දූරිම්බූත වෙලා හැමදාම හිනාවෙලා සතුටිං ඉංට ඇහැක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


එහෙනං විසිටරයා ගොහිං ඩෝප් වෙලා එඤ්ඤංකො (අකුරු හරිද මංදා) ඈ....

Saturday, December 20, 2014

චෙක්පත්-3 Cheques-3


හොඳයි ළමායි, අපි පළමු පාඩම් දෙකේදි (මෙන්න එක, මෙන්න දෙක) චැක්පත් කියන මහා බලගතු කඩදාසිය ගැනත් ඒකේ අංගෝපාංග ගැනත් ඉගෙනගත්තනෙ. අද අපි කතා කරන්නේ අපේ අතට ලැබෙන්න පුලුහං බොහොම සරල චැක්පත් ජාති දෙක තුනක්. 

ඔය උඩම තියෙන එක තමා සරලම එක. ඕකට කියන්නෙ විවෘත මුදල් චැක්පත (Open Cash Cheque). මේකේ මුදල් කියලා ලියලා තියෙන හිංද ඕනැ එහෙකුට සල්ලි ගන්ට ඇහැකි. ඒ වගේම විවෘත කියන්නෙ මේක රේඛනය (Crossed) කොරල නැති නිසා. අන්න එහෙම චැක්පත් අපිට ඇහැකි බැංකුවේ මුදල් කවුන්ටරේට දීලා සල්ලි ගංට. 

එහෙම කිව්වට නිකම්ම සල්ලි දෙන්නෑ. පස්ස පැත්තෙ කොරංට වැඩ ටිකක් තියේ. හරි, දැන් ළමයි හරවංට පස්ස පැත්ත.



ඔය තියෙන්නෙ දිලිසි දිලිසි. මෙතන දි අපිට කොටු දෙකක් පේනවා. අපිට කොරන දෙයක් කොරගංට තියෙන්නෙ ඔය වම් පැත්තෙ කොටුවෙ තමා. දකුණෙ කොටුව තියෙන්නෙ බැංකුවට ඕනි මගුලක් කොරගංට තමා. කොටු පනිනවා එහෙම නෙමයි ඕං. ඔය පිටසන් සඳහා (Endorsements) කියන කොටසෙ තමංගෙ අස්සනයි අනෙක් තොරතුරුයි දාංට ඕනෑ. මේ චැක් එක ලියාපු ගිණුම අයිතිකාරයා (අණකරු) ම චැක්එක කවුන්ටරේට දෙනවනං අස්සන විතරක් ගැහුවම ඇති. වෙන කෙනෙක්නං ඔය උඩ තියෙන විදිහට අස්සන ගහලා තමංගෙ නම, හැඳුණුම්පත් අංකය, ලිපිනය දාලා දෙංට ඕනෑ. මේ විස්තර දාන එක කරදරයක් උණාට කාගෙ කාගෙත් ඇඟට ගුණයි. පහලම තියෙන අස්සන මුදල් ලැබෙනකොට ගහන එක තමා සිරිත. ඒ උනාට මේ කාරියබහුල ජීවිතේ අපි දෙකක් ගහංට තියේනං දෙකම ගහලා දෙන එක තමා ඉක්මන්. නැද්ද ඈ...

ඕං ළමයිනෙ ඊ ගාවට තියෙන චැක් එක බලංටකො. ඒකෙ අනික්වා ඔක්කොම හරි. තව ඉරි කෑලි දෙකක් තියෙනවා. ඔව්, ඔව්, සමාන්තර රේඛා දෙකක්. මේ රේඛා දෙක තිරස්ව, සිරස්ව ගහංටත් පුලුහං. ඒ වුනාට සිරිත හරහට ගහන එක තමා. මේකට කියනවා අපි චැක්පත් රේඛනය කිරීම (Crossing) කියලා. දැන් මේ රේඛිත චැක්පත අපිට බෑ කවුන්ටරෙන් සල්ලි ගංට. මේක අනිවාර්යයෙන් ගිණුමකටම දාංට ඕනෑ. මුදල් කියලා තියෙන චැක්පත් නිකං අනං මනං ගිණුම් වලට දාංට බෑ, ජංගම ගිණුමකටම තමා දාංට ඇහැකි. 



එහෙම දානකොට අර නං ගං අනං මනං ඕන්නෑ. තමන් චැක් එක තැන්පත් කරන්නෙ මොන ගිණුමටද කියලා (credit instructions) මේං මෙහෙම දැම්මම ඇති.


දැං බලංට මේ පහල පිංතූරෙ. මේකෙ පේනවද කෙනෙක්ගෙ නමක් ලියලා තියෙනවා. ආ... එහෙනං මේක පුලුවං ජංගම ගිණුමක් නොවන තමන්ගෙ ඉතිරිකිරීමේ ගිණුමකට බැරකරන්ට. හැබැයි, ඒ නම සඳහන් ඇත්තාටම (ආදායක - Payee) තමා. වෙන කෙනෙක් දාගන්නවානං ඉතිං ආයිත් ජංගම ගිණුමකටම තමා. 


දැන් අපිට පුරස්නයක් එනවා නම සඳහන් වෙන කෙනෙක්ගෙනම් කොහොමද තවත් කෙනෙක් මේක තමංගෙ ගිණුමට දාන්නෙ කියලා. නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ. ඔය චැක්පතේ දකුණට වෙන්න "හෝ රැගෙන එන්නාට (or bearer)" කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ගේන කෙනාට ඕනි එකක් කොලෑකි. 

ඔය ආණ්ඩුවෙ චැක් වල, එතකොට ගෙවුම් ඇණවුම් වගේ එවුවයෙ ඔතන "හෝ රැගෙන එන්නාට" කියන එක වෙනුවට තියෙනවා, "හෝ අණට (or order)" කියලා. එතෙංදි මේ කතාව තරමක් වෙනස්. ආන් ඒ ගැන අපි කතාකරමු ඊ ළඟ ලිපියෙන්. 

මේ චැක්පත් අලුතිං අඳිංට ගිහිං මාංසියි හරියට. මං දැනට ගිහිං... අනික් ඇත්තංගෙ එව්වයෙත් කරක් ගහලා එඤ්ඤංකො ඈ....



Saturday, December 13, 2014

The Public Opinions-1 ජනතා මත-1

http://angrycashierchick.tumblr.com/

හැමදාම චැක් ගැනයි අරකයි මේකයි කොටලා මේකත් නිකං ටියුෂන් ක්ලාස් එකක් වගේ වෙලා. පහුගිය ටිකේ වරුසාවසාන ගේම් හිංද සහෝදර සමාගම් වල කරක් ගහන්නත් බැරි උනා. (ලොකු දෙයක් කිව්වා? අනෙහ් මෙහ්..) මේක පබිලිස් කොරල යංට ඕනා ඒ පැතිවලත්.

දැං මං මේ ටිකේ බොලාට ලියනවා ලිවිල්ලක්. නෑ...නෑ... එකතු කරලා තියනවා ටික ටික පබිලිස් කොරංට. ඉතිං අද මං ලෑස්ති වෙන්නෙ මොන පොල් පැලේ කංටද දන්නවද? මම හදන්නෙ සාමාන්‍ය ජනතාවට තියෙන පුරස්න ටිකක් කතා කොරංට. ඒ කොරල එව්වට පොසිබල් සොලූෂන් ටිහකුත් ඇදල අරිංට. මෙව්වත් ඉතිං බංකු බංකුම තමයි. ඒ උනාට බංකු නැතුවත් බෑනේ...නැද්ද මං අහන්නෙ?

රජයේ බැංකු තාමත් ඇයි මිනිස්සුංට සමීප නැත්තෙ?
ඔය පුරස්නෙ මෙහෙම දිග අරිංට පුලුවං. ආණ්ඩුවෙ කන්තෝරුවක තියෙන රාජකාරිමය, ඒකාකාරී, වෙලාවෙන් පිට වැඩ නොකරන (මං කියන්නෙ ගණුදෙනු නොකරන), එන මිනිස්සු කරදර කාරයො විදිහට දකින, චක්‍ර ලේඛ වලින් බැඳුනු ලක්සන තාම තියෙන්නෙ ඇයි?

බොලා දන්නවා, පෞද්ගලික බැංකු මේ රාමුවට කොටු වෙලා නෑ ඒ තරම්ම. ඒ වුනාට ඔවුන් ලාභ අපේක්ෂාව මුල් කරගෙන යමක් කමක් ඇති අයට නෙ සලකන්නෙ. ඔන්න ඔතෙංදි මිනිස්සු රජයට අයිති බැංකු වලට ගොනුවෙනවා. අනික තමංගෙ මුදල් වලට තියෙන ආරක්ෂාව ගැන මිනිස්සු හිතනවා දෙපාරක්. මොකද අපිට මෑත කාලෙ පොඩි අත්දැකීම් දෙකකුයි ලොකු අත්දැකීමකුයි තියෙනවනෙ. ඉතිං ලංකාවෙ ඉන්න මිනිස්සුංගෙං වැඩි හරිය ආණ්ඩුවෙ බැංකු වටා රොක් වෙද්දි සාපේකෂව ඊට අඩු ප්‍රමාණයක් පෞද්ගලික පැත්තට ඇදෙනවා. පෞද්ගලික එව්වයෙ ඉන්නව වගේ දෙගුණයක් විතර කාරිය මංඩලයක් තමා අරවයෙ ඉන්නෙ. හැබැයි දවසක ගණුදෙනු ප්‍රමාණය ඒ වෙනුවට පස් ගුණයක් විතර වෙනවා. මහ ලොකු ජනතාවක් හසුරුවන කාටත් (පොලීසිය, බස් කොන්දොස්තර) තියෙන මෙව්ව එක තමා මෙව්වයෙ සේවකයන්ට තියෙන්නෙ. ඉතිං නෝ කතා නො සිනා!

අපේ බැංකු ක්‍රමය අපිට ආවෙ සුද්දගෙං. දන්නවනෙ ඉතිං අධිරාජ්‍යවාදී, නිළධාරිවාදී වගේ ඇතැම් අයහපත් ලක්සන මේ ක්‍රමයටත් කාන්දු වෙන්නෙ ඒ නිසා. බලන්නකො අපේ රාජ්‍ය සේවය. මෙතනදි සේවකයා චක්‍ර ලේඛ වලින් බඳිනවා. ඒවා හරියට ෆලෝ කොරනවද බලන්න ඔඩිට් පනිනවා. හැකි තරම් ප්‍රමාණයක් ගෙදර යවන්න බලනවා. මිනිස්සු රස්සාවට ආදරෙයි නෙ. මොකද ඔය කවුරුවත් කන්ඩ අඳින්ට දෙනවයැ. සාමාන්‍යෙයන් බැංකුවල සේවකයන්ට නීති තදයි. මුදල් සමග කටයුතු කොරන හිංද අවදානම වැඩියි. නීති සහ තද ප්‍රතිපත්ති තියෙන්නෙ වංචා වලක්වන්න. වැඩි පඩියක් ගෙවන්නෙත් හොරකං කරයි කියලා. (ඒත් කොරන එකා කොරනවා. ඒක කොහෙත් එකයි.) මෙන්න මේ චක්‍ර ලේඛ සහ නීති නිසා තමා ගනුදෙනු කරංට යන අයට දැනෙන්නෙ තමංව රස්තියාදු කොරනවා කියලා. ණයක් ගංට ගියාම අරකද මේකද ලිය කියමං අටෝරාසියක් ඉල්ලන්නෙ ඔය අවදානම අඩු කරංට. දන්නවද? ලෝකෙම බැංකු දැන් ක්‍රියා කරන්නෙ විසේස ප්‍රඥප්තියක් යටතේ අවදානම් අඩු කරංට.

ගණුදෙනු කාලසීමාවත් හරි පුරස්නයක්. තමන්ගෙ දෛනික කාල සටහන ඇතුලෙ බැංකුවට යන්න වෙලාව වෙන්කරගැනීම පුරස්නයක්, විසේසයෙන් බිසිනස් කාරයින්ට. ඕකට හොඳම විකල්ප තමා ඉංටනෙට් බෑංකිං, මොබයිල් බෑංකිං සහ සොයංක්‍රීය ටෙලර් යන්ත්‍ර බාවිතා කොරන එක. පෝලිං ඇත්තෙම නෑ. මං හූනා කියන්නැහේ කියංනං, තව අවුරුදු දෙක තුනකිං තමුන්නැහැලට බැංකු පැත්ත පලාතෙ යංට ඕනි වෙන්නෑ. (බැංකු ටික වැහෙයිද ඇහුවා? නෑ...නෑ...) දැනට ඔය ගෙදර ඉඳං කොරංට බැරි වැඩ සේරම එතකොට පුලුවං වෙනවා.


සමහරුංට පුරස්නයක් ඇයි බැංකු කවුන්ටර් වල තරුණ ඉටිකිරිස් කෑලි නොදා පුප්පගෙන ඉන්න මැන්ටල් දාන්නෙ කියලා. හේතුව සේවක හිඟය. අනෙක අලුත් අය මුදල් කටයුතු වලට එක පාර දැම්මාම උන්ව ෂොක් වෙනවා. හැමෝම එක වගේ නෙමෙයිනෙ. එක වගේ දක්ෂ නෑ. සැලෙනවා. බය මීටරේ එක එක පාඨාංක. ඈ... අනික තමා මේ පුරස්නෙ නගරයෙන් බැහැරට වැඩියි. ඒ කියන්නෙ ඈත පලාත්වල සාකාවල ඉන්නෙ අර මං කියපු කට්ටිය. ඉටිකිරිස් ඔක්කෝම එක්කො බැඳලා, නැත්තං බබා හම්බු වෙලා, නැත්තං ඉගෙනගන්න කියලා ඉස්තාන මාරු හදාගෙන නගරෙට ඇදෙනවා. රොඩු බොඩු ඉතුරු වෙනවා. කොට ගවුමක් අැඳපු කොණ්ඩෙ රී බොන්ඩ් කරපු තොල් රතු කරපු කෑල්ලක් කවුන්ටරේ ඉන්නවනං සේසතම හූරලා ගෙනත් බැංකුවේ දාලා ටික ටික ගංට අපිත් කැමතියි ඉතිං. ඒක මනුස්ස සොබාවෙ.

කොයි ක්ෂේත්‍රෙයත් ශරීර හොරු ඉන්නවා. උසස්වීම් සහ ශ්‍රේණි කිරීම් වගේ එව්වයෙ ගැටලු තියෙනවා. මතකද ඉස්සර ඔය ආණ්ඩුවෙ කන්තෝරු, බැංකු වගේ එව්වයෙ පියන් කියලා පොරක් ඉන්නවා. උන්දැ පොතක් පයිල් එකක් ගෙනත් දෙනකං ක්ලාක්ලා වැඩ කරන්නෑ නොවැ. දැන් ඔය තත්ත්වෙ බැංකු වලනම් වෙනස් වෙලා සෑහෙන දුරට. එ්ත් තාමත් සමහර කෙනෙක් තමංගෙ ශ්‍රේණියට අදාල නොවන වැඩ කරන්නෑ මලාට. ඕකේ සාධාරන පැත්තකුත් තියෙනවා. මොකද? තමන්ට අයිති නැති රාජකාරියක් (උදාහරණයක් විදිහට නිළධාරියා වෙනුවට කැෂියර් අත්සන් කිරීම, කළමණාකරු කළයුතු තහවුරුවක් පහල නිළධාරියෙක් කිරීම) කෙනෙක් කරලා කොතන හරි වැරදුනොත් කල එකාටයි ඒක නීතියෙ හිටියට කොරංට නියම වෙච්ච එකාටයි දෙන්නටම බඩු බනිස්.

ඔබ දැකලා ඇති කාලයක් ගණුදෙනු නොකල ගිණුම් සක්‍රිය කරගෙන එන්න කියලා ඔබව කළමණාකරු හෝ වෙනත් ඉහල නිළධාරියෙක් ලඟට යවනවා. ඕක මහ වදයක් තමා. ඒත් මෙහෙම හිතන්න. අක්‍රිය ගිණුමක මුදල් ටිකක් වැඩිපුර තියේනම් ඒ ගිණුමේ යම් අවදානමක් තියෙනවා. ගිණුම් හිමියා නිතර නොඑන නිසා හඳුනාගැනීම ගැන ගැටලු තියෙනවා. මුදලක් අදාල පුද්ගලයාටම නොගෙවීම කියන වරද ඉතාම කිරිනිමෙල්. ඒ නිසා ඒ ගිණුම් දැඩි පාලනයකට ලක් කරනවා, වෙනත් කෙනෙක් වංඤා කොරන්ට ඉඩ තියෙන නිසා.

මම මේ සාධාරනීකරණයක් තමා කලේ. ඒක කරංට හේතුවක් තියෙනෙවා. බැංකුවල වැඩ කරනවා කීවම පිටිං බලන කෙනෙක් හිතයි “අයියෝ...ඕක මොකක්ද? උදේ නමයට අරිනවා. තුනට වහනවා. ඇමති වරුනට වගේ පඩිත් තියෙනවා. උන්ට මොන ප්‍රශ්නද?“ කියලා.

නෑ එහෙමම නෑ. පඩි ගෙවන්නෙ දරන අවදානමට සහ වංඤා වලක්කංට. මොකද සල්ලි එක්කනෙ වැඩ. අනික මෙවුන්ට නිවාඩු දවස් වලත් වැඩ තියෙනවා. (ඕ.ටී. ගෙවනවා කිව්වා?) ඔව් ගෙවනවා. හැබැයි හැමදාටම නෙමෙයි. නිකං වැඩ කරන දවස් ඕනි තරං තියෙනවා. ඔය ගෙවල් ගානෙ එන්නෙ ටී ෂර්ට් කලිසං ගහගෙන සෙරෙප්පු, ඩෙක් ෂුස් දාගෙන. ඒවා නිකම්ම තමා. අනික පවුලෙ අය ගැන හොයංට වෙලාව මදි. මල ගෙදරක මගුලක යංට වෙලාව නෑ. ඉතිං පැංසොං ගිය දාට පොලිස් කාරයට වෙච්ච එකේ අනික. ඒ වගේම දවසම එක විදිහක ඉරියව්වකින් ඉඳලා ලෙඩ. බලන්න නිකමට හොයලා, බැංකුවල වැඩ කරන පිරිමිංට වයසට යනකොට තට්ටෙයි බඩයි සුවර්. ගෑනු අයට පස්සයි බඩයි ටයරුයි සුවර්. සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් බුදු ෂුවර්. හැමදේම සතේට බැලන්ස් කරන්න ඕනි. අද කරන දේ අදම තමා ආයි හෙටක් නෑ. ඒ නිසා කෙල්ලොත් රෑ දෙගොඩ හරිය වෙනකං වැඩ කරලා කොල්ල වලිත් දානවා.

මම දන්නව මේක කියවලා පැමිණිලි පෝලිමක් එන බව. ඉතිං මම මේ කිව්වෙ මේ කට්ටිය දිහා වෙනස් ඇහැකිනුත් බලන්න වෙන බව. එහෙම නැතිව සුද්ද කරනවා නෙමෙයි. මම ඊ ළඟ ලිපියෙන් ලියනවා මෙයාලා අතින් මිනිස්සු අපහසුතාවයට පත්වන අවස්ථා ජනතාවගෙ ඇසින් බලලා. එහෙම නැතිව ඒක මුලින් කරලා මේක අන්තිමට දැම්මනම් මමයි ජනතාවට අසාධාරණයක් කරන්නෙ. ඉතින් සහෝදර සහෝදරියනි, රටකට නැතිවම බැරි මේ ක්ෂේත්‍රය වඩාත් යහපත් තැනක් කරගන්නට හැකි අයුරු අපි ඉදිරියේදි කතා කරමු. එතෙක්..

ගිහිං එඤ්ඤං ඈ...

Saturday, December 6, 2014

චෙක්පත්-2 Cheques-2


ගියපාර අපි අඳුන්නල දුන්නනෙ ආයිබොවන්ඩ ඔය උඩ රූපෙ තියෙන චැක් පත කියන කඩදාසියයි ඒකෙ තියෙන අංගෝපාංගයි, ඔය පහලම 7 අංකෙ යටතේ කියවෙන MICR තීරය ගැනයි. අද අපි ඉතිරි අංගෝපාංග ගැන කතාකරමු. අදනං යන්නෙ අංක පිළිවෙළට ඈ...

1. දිනය
චැක් එහෙක දිනේ හරිම වැදගත්. ඒක දාංට ඕනි ඔය දිනේට තියෙන කොටු 6 ට පහලින් තියෙන පිළිවෙලට දිනය, මාසය, අවුරුද්ද කියන පිළිවෙළටයි. දැං අහයි අනෙක් පැත්තට (සිංහල කෙරමෙට) හරි මාසෙ මුලට එංට ඇමෙරිකන් කෙරමෙට හරි දිනේ දාංට බැයිද කියලා. බැරි නෑ, හැබැයි නීතිමය පුරස්නෙකදි අවාසි වෙන්ට බැරිනෑ. දන්නවනෙ ඉතිං නීතියෙ හැටි. 

මේ දිනය වැදගත් වෙන්නෙ චැක්පතේ දිනේ ඉඳලා මාස 6 ක් යනතුරු පමණයි චැක්පත වලංගු. ඉන්පස්සෙ ගණුදෙනු ඔප්පුකරන්න යොදාගංට ඇහැක් උනාට, ගණුදෙනුවලට යොදාගංට බෑ. එහෙම මාස හය ගිහාම අපි කියනවා ඒකට යල් පැනපු චැක්පත කියලා.

අනික තමා ඉදිරි දිනයක් දාලා තියෙන චැක්පත් බැංකුවට ඉදිරිපත් කරංට බෑ පොතේ හැටියට. ඒ වුනාට ඒවයින් බැංකුවෙන් පිට ඕනිම ගණුදෙනුවක් කරංට ගැටලුවක් නෑ. කල් ඇතුව බැංකුවට දැම්මොත් ඒක මතු දාතම චැක්පතකි කියලා රිටං කොරන්ට ඇහැකි.

2. අණලාභී බැංකුව
මේක ඉතිං චැක් එකේ ප්‍රින්ට් කොරලමනෙ තියෙන්නෙ. මෙතන තියෙන්නෙ චැක් එකෙන් කරන නියෝගය මොන බැංකුවෙ මොන සාකාවටද කොරන්නෙ කියන එක තමා. වෙනත් විදිහකින් කියනවානම් මේ චැක්පතේ මුදල අන්තිමට ගිහිං අඩුවෙන්නේ ඔය කියන බැංකුවෙ ඒ කියන සාකාවෙ තියෙන ජංගම ගිණුමෙන් තමා.

3. ආදායක
මේක ඇවිල්ල චැක් එකේ මුදල් ගෙවංට ඕනි කාටද කියන එක. මෙතන ඒ පුග්ගලයගෙ හරි ආයතනයෙ හරි නම ලියනවා. ඒ නම තියෙන කෙනාට තියෙන අයිතිය හරි ඉහලයි. සමහරු ඔතන ලියනවා මුදල් කියලා. ඒ කියන්නේ මේ චැක්එක ඕනිම කෙනෙකුට මුදල් ගන්න හෝ ජංගම ගිණුමකට දාන්න පුලුවන්. මුදල් චැක්පත් තැන්පත් කොරංට ඉතිං ජංගම ගිණුමක්ම තියෙන්ට ඕනි. අනෙක් වර්ගවල ගිණුම් වලට මුදල් චැක්පත් තැන්පත් කරන්ට බෑ. ඒ වගේම මතක තියාගන්න මුදල් චැක්පත කියන්නෙ කවුන්ටරෙන් සල්ලි ගන්ට ඇහැක් චැක් එක කියන අර්ථය නෙමෙයි. ඒ වගේ එව්වට කියන්නෙ විවෘත චැක්පත් කියලයි. 

4. මුදල අකුරින්
මෙතන රූල් 3 ක් තියෙනවානෙ. ඉතිං අත දිග ඇරලා අකුරිං ලිව්වෑකි. හැබැයි මුලිං හිස්තැන් තියංට එපා, වඤ්ඤා වෙංට ඇහැකි. ගණන අකුරින් ලියලා අගදි පමණයි කියන වචනෙත් ලියන එක තමා සිරිත. මෙහෙම,
“පණස් දහස් තුන්සිය හැට පහක් පමණයි“. 
රූල්වල ඉතිරි ඉඩ ඉරක් ඇඳල දාන අයත් ඉන්නවා. ඒක හොඳා කෝකටත්.

5. මුදල ඉලක්කමෙන්
මේ කොටුව ඇතුලෙ අර කලිං අකුරෙන් ලියපු ගානම හරියටම ලියලා දානවා මෙන්න මේ වගේ, 50365/-. ඔතන ශත ගාණක් තිබුණොත් 50365.50 හෝ 50365/50 වගේ ලියන්නත් ඇහැකි. ශත නැත්තං /- ලකුණෙං අහවර කරන එක තමා හොඳ. ඔය ඇල ඉරි කෑල්ල නැත්තං ස්ලෑෂ් එක ටිකක් උසට ලියංට ඕනි 1 ඉලක්කමත් එක්ක පැටලෙන්නැති වෙංට. තව සමහරු අර අග ඉඳං ඉලක්කං 3 ගානෙ කඩලා කොමා ඉට්ටයිල් එකට ලියනවා. කොමාව ඉලක්කමක් වගේ පේන්නැත්තං අවුලක් නෑ. මේ වගේ, 50,365.50.

අකුරෙනුයි ඉලක්කමෙනුයි ලියපු ගණං දෙක වෙනස් නං බැංකුවට ඇහැකි රිටං කොරංට. ඒත් අකුරෙං ලියාපු ගාණ ගෙවංට නීතියෙං තහනමක් නෑ. 

6. අණකරු අත්සන
මේකෙං තමා චැක් එක වලංගු වෙන්නෙ. අස්සන කිව්වම ඉතිං බැංකුවට දීලා තියෙන ආදුරුස අස්සන තමා ගහංට ඕනි, තමංට ඕනි එව්ව නෙමේ. අස්සන නැත්තං හරි අර කීව ආදුරුසෙං වෙනස් අස්සනක් ගහලා තිබබොත් ඉතිං රිටං තමා. අස්සන ගහන කොට ඔය පහල තියෙන සුදු තීරයේ එහෙම ගහංට එපා. ඒක MICR තීරයනෙ. 

අපි එහෙනං බලමු ඔය කියාපු විදිහට ලියාපු චැක් එකක්. 


අදට මදෑ... එහෙනං ආයිම පාඩමකිං හම්බු වෙමු ඈ...

Friday, November 28, 2014

චෙක්පත්-1 Cheques-1



අපිල කාටත් කවදා හරි දවසක ඔය උඩ රූපෙ තියෙන කඩදාසිය අතට ලැබිලා ඇති. මේක නිකංම නිකං කඩදාසියක් නෙමෙයි. බොහොම සරල ආකුර්තියක් උනාට බොහොම සංකීර්ණ නීතිමය පසුබිමක් තියෙන ලියවිල්ලක්. ඒ වගේම දවසකට මේ වගේ කඩදාසි ලක්ස ගානක් අපි අවට මේ සමාජයේ එහෙ මෙහෙ යනවා ලක්ස කෝටි ගානක ගණුදෙනු සිද්ද කරමින්. එහෙනං අද පටං මම මෙන්න මේ වැදගත් කඩදාසිය ගැන තරමක් ගැඹුරෙන් කතා කොරංටයි යන්නෙ. 

මේ කඩදාසිය එහෙම නැත්තං චැක්  එක ලංකාවේ පවත්නා නීතිය යටතේ විනිමය බිල්පත් ආඥා පණත (Bills of Exchange Act) කියලා එහෙකට තමා යටත් වෙන්නේ. ඒකෙ මේ චැක් එක මෙන්න මේම අර්ත දක්වනවා.

නිශ්චිත මුදලක් නියම කල දිනකදී අණකරු හෝ ආදායකයාට ගෙවන ලෙස බැංකුවක් වෙත කරනු ලබන කොන්දේසි රහිත ලිඛිත නියෝගයකි

අප්පට සිලි, පේනවනෙ කතංදරේ. මේක බැලුවාම වචනෙං වචනෙ පැටලිලි ටිකක් තියේ ලිහන්න. 

කවුද මේ අණකරු (Drawer)? 
උන්දැ තමයි මේ චැක් එක අස්සන් කොරන්නෙ. ඒ කියන්නේ මේ චැක්එක නිකුත්කරන ජංගම ගිණුමෙ (Current Account) අයිතිකාරයා. ජංගම ගිණුම් ගැන මම පස්සෙ දොහක කියා දෙන්නංකො. දැනට මතක තියාගංට චැක් එකක් නිකුත්කරන්ට නං එහෙම ගිණුමක් තියෙන්න ඕනි කියාල. 

කවුද එතකොට ආදායකයා (Payee) කියන්නේ?
ආදායකයා කියන්නේ චැක්පතේ ඉදිරිපිට නම සඳහන්කර ඇති පුද්ගලයා. 

එතකොට මෙහෙම තේරුම් ගංට. චැක්පත අස්සන් කොරන උන්නැහැ ඒකේ ඉදිරිපිට නම ලියා ඇති ඇත්තාට මෙහි සඳහන් මුදල ගෙවන්න තියෙනවා. ඒක ගෙවංට බැංකුවට නියෝග කරනවා, තමංගෙ ජංගම ගිණුමෙ තියෙන මුදල් වලින්. (මුදල් නැත්තං? පැහෙන්නැතුව ඉංටකො, හොඳ හොඳ සෙල්ලං ඉස්සරහට!)

හොඳයි, වැඩිදුර යංට කලිං අපි බලමු මේ චැක්පතේ ඇතුලත් වෙලා තියෙන කලහලමනා මොනවද කියලා.


ඔය උඩහ පිංතූරෙ තියෙන චැක් එකේ 1 ඉඳං 7 ට යනකං නං කොරලා තියෙන්නේ මේකෙ ඇතුලත් අංග ටික තමා. ඒ මෙහෙමයි,

  1. දිනය (Date)- චැක් එක ලියාපු දිනය හෝ වලංගු වන දිනය
  2. අණලාභී බැංකුව (Drawee Bank) - මේ චැක්එක නිකුත්කල බැංකුව
  3. ආදායකයාගේ නම (Payee's Name)- සල්ලි ගෙවංට ඕනි කාටද කියන එක
  4. මුදල අකුරින් (Amount in words)
  5. මුදල ඉලක්කමින් (Amount in figures)
  6. අණකරුගේ අත්සන (Drawer's Signature)- චැක්එක අයිති ගිණුම් හිමියාගේ අස්සන
  7. MICR තීරය - චුම්බක ක්‍රමයට කියවිය හැකි අංක
මම අගිං පටං ගන්නං. එතකොට වෙනසක් තියෙනවා. ඔය එම්අයිසීආර් තීරුව කියන්නෙ මක්කද?

MICR -Magnetic Ink Character Recognizer Code
නමින්ම කියවෙන විදිහට චුම්බකිත අක්ෂර හඳුනාගැනීමේ යන්තරේකින් කියවන්ට ඇහැකි කෝඩ් එකක් තමා ඔය. ඕකෙ බලන්ට මුලිංම තියෙනවා අංක 6 ක්. ඒ කියන්නේ චැක්පතේ අංකය.
ඊළඟට තීන ඉලක්කං 4 න් කියන්නෙ බැංකුවේ සංකේත අංකය. ලංකාවෙ ඕක මෙහෙමයි.


  • 8004 - ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank of Sri Lanka)
  • 7010 - ලංකා බැංකුව (Bank of Ceylon)
  • 7056 - කොමර්ෂල් බැංකුව (Commercial Bank)
  • 7083 - හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank)
  • 7135 - මහජන බැංකුව (Peoples Bank)
  • 7278 - සම්පත් බැංකුව (Sampath Bank)
  • 7287 - සෙලාන් බැංකුව (Seylan Bank)

ලංකාවෙ වාණිජ බැංකු (commercial banks) තියෙනවා 25 ක් (13 ක් දේශීය, 12 ක් විදේශීය- පස්සෙ...පස්සෙ...). ඒ හැම බැංකුවටම ඔහොම අංකයක් තීනවා. ඒක නැතත් ඉතිං චැක් එක මුදුනෙ වම් කෙලොරෙ ඔය තියෙන්නෙ දිලිසි දිලිසි බැංකුවෙයි සාකාවෙයි නම. ඔය මං දාපු චැක් එකේ තීන්නෙ බොරු නමක් ඈ. 

එතකොට ඊළඟට තියෙන ඉලක්කං 3 න් කියන්නෙ බැංකුවේ ශාඛාවේ අංකය (branch code). ඕක ඉතිං වෙනස්වෙනවා, වැඩිය දැනගංට අවශ්‍යම දේකුත් නෙමෙයි. 

ඔය තීරුවෙ අන්තිමට තියෙන අංක කීපය තමා චැක්පත අයිති ජංගම ගිණුමේ අංකය (current account number). සමහර බැංකුවල ගිණුම් හිමියාගෙ නමත් කොටල තියෙනවා ඔය තීරුවට ටිකක් ඉහලින් හරි චැක්පත මුදුනෙම හරි. ඒවා ඉතිං ඒ ඒ බැංකුවල හැටියට වෙනස් වෙනවා.

මං හිතන්නෙ අදට ලිව්වා ඇති කියලා. තව දෙතුං දොහකිංම දාන්නංකො ඉතිරි කළහලමනා මක්කද කියලත්.

කමක් නෑනෙ? එහෙනං ආයිබොවන්ඩ, මං ගෙහුං එඤ්ඤං ඈ...

Saturday, November 22, 2014

Leasing & Seizing-2 (ලීසිං සහ සීසිං - 2)


කලිං දොහේ කතා දැම්මෙ ලීසිං කියන්නෙ මක්කද, පොලී අනුපාතෙ හොයාගන්නෙ කෝමද වගේ එව්වනෙ. අද කියංට යන්නෙ ලීසිං එක්කම කියවෙන අනික් වචනෙ වෙච්ච සීසිං ගැනයි, ලීසිං ගැන හිත් පොජ්ජට එන පුරස්න ගැනයි. ඊ ළඟ පෝස්ට් එකේ ඉඳං බැංකුවල බාවිතාවෙන චැක්පත් ගැන ටිකක් දීර්ඝ ලිපිමාලාවක් දාංට හිතා ඉන්නෙ. ඔය සාමාන්ය පෙළ උසස් පෙළ වාණිජ්‍ය විසය හදාරන නංගිල, මල්ලිල, දූල, පුතාල ඉන්න පාඨක වැඩිහිටියො ඒක තමංගෙ ඒ කියාපු පොඩිහිටියන්ට කියවංට සැලැස්සුවොත් වරදක් වෙනඑකක් නෑ මයෙ හිතේ. 

සීසිං (Seizing) කියන්නේ කාර් එකක් හරි ඒ වගේ මෙව්ව එකක් ලීසිං කොරල අරං තියෙද්දි මාසික වාරික හරියට නොගෙවීම නිසා කල්බදු ගිවිසුම ඒ ලීසිං කොම්පැනිය විසින් සමාප්ති (Termination) කොරලා වාහනේ ආපහු ගන්න එක. මේ ක්‍රියාවලිය වගේම ඒක කරන කෙනාත් සීසර් (Seizure) කියලා හඳුන්වනවා. (ජුලියස් සීසර්-Julius Caesar තමා ඉස්සෙල්ලම ඕක කොලේ). මේක තරමක් අප්‍රසන්න සිද්ධියක්. මොකද සීස් කොරනකොට ඒක කරන්නෙ බලහත්කාරෙන්. ගොඩක් වෙලාවට මහපාර මැද. ඉතිං විලිලැජ්ජාවෙ තන්තෝසෙ බෑ. ගෙදර තියෙන වාහනයක් වුනත් ගෙනියන්න පුලුවං එහෙම. යතුර දුන්නැත්තං කොම්පැනියෙ තියෙන් ඩුප්ලිකේට් යතුර (duplicate key) ගෙනල්ලා අරං යනවා. ඒත් බැරිනං ඉග්නීසොං (ignition) එක කඩලා හොට් වයර් කොරලා අරං යනවා. ඒත් බැරිනං අර උඩ පිංතූරෙ විදිහිට පටෝගෙන හරි ටෝ ටොයියෙක්ගෙන් (tow truck) ඇදගෙන හරි අරං යනවාමයි. අර අසරණයට බෑ පොලීසි යන්ට. ඇයි?

වාහනේ දීලා තියෙන්නෙ කුලියට. කුලිය ගෙව්වෙ නැත්තං ආපහු ගන්නවා. ඒක වලක්වන්ට බෑ. ඔය සීසර්ලා එන්නෙ ඩැයිවර් උන්නැහැව එළියට ඇදලා දාලා හරි වාහනේ අරං යන්ටම තමා. ඉතිං ඔය ඔක්කොම සිද්ද වෙන්නෙ හරියට කුලිය ගෙව්වෙ නැත්තංනෙ. සමහර කොම්පැනි වාරික දෙක ගිය ගමං උස්සනවා. බැංකු ඒ තරම්ම තද නෑ.

හොඳයි, දැං ලීසිං අැෆ් ඒ කිවු. 

ලීසිං වල පොලී අනුපාතය තීරණය වෙන්නේ මොන කරුණු උඩද?
පොලී අනුපාතය අඩු එකේ ඉඳල වැඩි එකට ඇසෙංඩිං ඕඩරේට ගියොත් මෙහෙමයි.
  1. අලුත්ම අලුත් කසාද නොබැඳපු කිරි ටොයියො-brand new 
  2. පරණ ඒත් කසාදු නොබැන්ද කිරි ටොපියො-reconditioned unregistered
  3. අලුත්ම අලුත් කසාද බැඳපු කිරි ටොයියො-brand new registered
  4. කසාද බැංද පරණ නිකං ටොයියො-reconditioned registered
  5. යන්තර සූත්තර-machinery & equipment

අනික් කාරණේ තමා වාහනය හදපු අවුරුද්ද (YOM-Year of manufacture)අනුවත් පොලී අනුපාත වෙනස් වෙංට ඇහැකි. ඒ කිව්වෙ පරණ වාහනයකට පොලියත් වැඩියි ආපහු ගෙවංට දෙන කාලෙත් අඩුයි.

හදිසියෙ සල්ලි ගොඩක් ආවොත් ගෙවලා අහවර කොරංට බැයිද?
අපෝ පුලුවං. ඒ ඒ කොම්පැනියෙ හැටියට, අර මම දවසක් ණය ගෙවන හැටි කිව්වෙ. ඒ වගේම තමා. සමහරු පොලියෙන් සෑහෙන කොටසක් අඩුකරලා දෙනවා. සමහරු ටිකක් අඩුකරලා දෙනවා. සමහරු වාරික සේරම එකපාර ගෙවංට කියනවා. සමහරු දඩේකුත් (surcharge) ගහනවා. ඕවා ඔහොම තමා.

ලීසිං වාහන වලට ඇයි ඉන්සුවරන්ස් වැඩියෙන් ගෙවංට වෙන්නෙ?
ලීසිං වාහන වලට ගංට ඕනෑ කරන්නෙ සර්වග්‍රාහී රක්සනේ (comprehensive insurance policy) කියන එක. ඒ කියන්නේ වාහනෙයි (the whole vehicle), ඒක අස්සෙ යන මගියොයි (passengers), පාරෙ වාහන එළෝන සහ පයිං යන අහිංසකයොයි (third parties) කියන තුංගොල්ලටම වන්දි ගෙවන රක්සනයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ ඉතිං අර තුනේ පංතියෙ (third party cover) රස්සනේටනෙ. මොකද මාර්ග නීති අනුව වාහනයක් පාරට දාන්ටනං බාහිර පාර්සවේකට සිද්ද වෙන අනතුරු ආවරණය වෙංටවත් රස්සනයක් ඕනි. කීයක් හරි ඉතුරු කොරගංට අපි ගන්නෙ ඕක. වාහනේ චකබ්ලාස් උණොත් මොකුත් නෑ. අස්සෙ ඉන්න උං දිවංගත උනොත් ඒත් මොකුත් නෑ. හැබැයි මේ සර්වග්‍රාහී කරමෙදි එහෙම නෑ. පූර්ණ රක්සන ආවරණෙ (full insurance). හැබැයි, රක්සන ඔප්පුව ලීසිං කොම්පැනියට නියද කරලා (assignment) තමා තියෙන්නෙ. ඉතිං පොල්ගෙඩියක් අතඇරල ක්ලේම් (accident claim) එක දැම්මම වන්දි චැක් එක යන්නෙ කෙලිංම අර කොම්පැනියට. උන්දැල එක්ක ඉතිරි හරිය බලාගන්න එකයි ඇත්තෙ.

වාහනේ මොන මොන ලියකියමංද කොම්පැනිය තියාගන්නෙ?
වාහනේ පොත ඒ කියන්නේ ලියාපදිංචි සහතිකේ (certificate of registration) සහ රක්සන ඔප්පුව (insurance policy) එක්ක ඩුප්ලිකේට් යතුරත් ඒ ඇත්තො තියාගන්නවා මතු පොරෝජන තකා. ලයිසොං කරදහිය (revenue license) අලුත් කොරංට හරි රක්සන සහතිකේ (insurance certificate) අලුත් කොරංට හරි ඕනි උනාම ඒ කොම්පැනියට කියල පොතේ සහතික කල පිටපතකුයි පොත ඒගොල්ලො ගාව තියෙන්නෙ කියලා ලියුමකුයි ගංට ඕනි. ලයිසොං කරදහියයි, රක්සන සහතිකෙයි (ඔප්පුව නෙමෙයි ඈ...) අපි ලඟ තියාගත්තෑකි. 

මොනවද මේ බැලූන් පේමන්ට් (balloon payment) කියන්නෙ?
ලීසිං එකක් ගන්න කොට වාහනේ මුලු වටිනාකම වුනත් ලීස් කොරලා දෙන කොම්පැනි ඉන්නවා. අපි වාරිකයක්, දෙකක් හෝ කීපයක් දාන්ට ඕනෑ මුලදි. එහෙම නැතිව අපි ගන්නෙ ලස්ස 40 ක වාහනයක් නං අපි අතේ ලස්ස 10 ක් තියේනං, ඒ ලස්ස 10 අර කොම්පැනියට දාලා වාහනේ ගංට ඇහැකි. එතකොට වාරිකය සෑහෙන්න අඩුවෙනවා (ඇයි අපි කාලක් දාලනෙ තියෙන්නෙ). හැබැයි, මේ මුදල වාහන සේල් එකට ගෙවන්ට හැකිනං පොඩි වාසියක් තියෙනවා. මෙහෙමයි,

අපි හිතමු වැට් (VAT) කතාව පැත්තකිං තියල ලස්ස 40 ක වාහනයක් ගැන. දැං අපි 12% ක වාර්සික පොලියකට අවුරුදු 5 කිං ගෙවංට ලස්ස 10 ක් බැලුං පේමන්ට් දැම්මම වාරිකය වෙන්නෙ රු. 67,561 ක් වගේ. 

අනික් අතට අපි සේල් එකට ඒ ලස්ස 10 දාලා ඉතිරි ලස්ස 30 ලීසිං දැම්මොත් වාරිකය වෙන්නෙ, 66,733 ක් වගේ. අවුරුදු 5 ඉවර වෙනකොට රුපියල් පනස්දාහක විතර වෙනසක් වෙනවා. දෙවනි ක්‍රමේදි වාරිකයක් දෙකක් දාල පටං ගත්තොත් 66,733 ට වඩා ගාන අඩුයි. 

හොඳම දේ වාහනයක් ගංට කලිං කොම්පැනි සේරටම බඩගාල ගනං මිනුං වගේම කොන්දෙසිත් අහල දැනගෙන ගේමට බහින එක තමා. 

මේ පහල තියෙන විස්තර ටික හොයාගංට. 
  1. වාහනයේ මිල - price
  2. තමන් අත ඇති මුදල - contribution
  3. ලීසිං ගෙවීමට ලැබෙන කාලසීමාව - contract period
  4. වාර්සික පොලී අනුපාතය - annual interest rate
  5. මුලදී දැමියයුතු වාරික ගණන - down payments
  6. කවදා හෝ එකවර ගෙවා අහවර කරනවානම් පොලිය කොපමණ ඉවත් කරනවාද යන්න- interest at termination
  7. ලියකියමං, සේවාගාස්තු ආදී වසයෙං කීයක් අයකරනවාද යන්න - documentation and service charges
ඉතිං ඔන්න ඔය ටික තමා කියංට දැනටනං මතක් වෙන්නෙ. තව පුරස්න ඇත්තං අහංට. ගණං හිලව් දුන්නොත් ලීසිං වාරිකේ හදල කියන්ටත් ඇහැකි. එහෙව් පොරක් මං...හුහ්...

එහෙනං අනාගත පරපුරට ගැන හිතල චැක්පත් ගැන කතාව පටාං ගමු ලබන සතියෙ ඉඳං...

යඤ්ඤං ඈ....

Friday, November 14, 2014

Leasing & Seizing-1 (ලීසිං සහ සීසිං - 1)


අපේ අර කාපිරි තොල් පිරුණු රැස්ටෝරන්ට් එක කොරන මා මිත්‍ර මහේෂයා ආයිත් මට තර්ජනේ කොලානේ බොලල්ලා ෆන් එකක් දෙන්නෑ, ෆෙඩප් වෙනවා කියලා. ඒ අතරෙ මා මිත්‍ර තිසර පටබැඳිගේ මෙන්ඩා අහල තිබ්බ ලීසිං ගැනත් ලියනවාද කියලා. ඉතිං උං දෙන්නටම බම්බු ගහගන්ඩ කියල මම සුපුරුදු ඒකාකාරි රටවේම ඉඳං ආයි හවුසිං ලෝං ගැන ලියංටයි යන්නෙ. (බලාපල්ල අරුං දෙන්න ගඟේ පනිංඩ ගියාද කියලා.) නෑ...නෑ... ඕං බොලා දෙන්නටම වගේම අපේ වලේ ඔක්කොටම පනිංඩ මං කපනවා, ලීසිං වල.

හැබෑටම ලීසිං කියන්නෙ මක්කැයි?
ලීසිං (Leasing) කියන්නෙ ලමයෝ, අපි හිතමු දැං බොට ඕනි වෙනවා හයිබිරිඩ් කාර් එකක් ගංට. (හීනෙං තමා). අපි කියමුකො රුපියල් ලක්ෂ 40 ක විතර ටොයොටා ඇක්වා (Toyota Aqua) එකක් කියලා. දැං අපි මේකට ලීසිං එකක් දැම්මම වෙන්නෙ, ලීසිං කොම්පැනිය/බැංකුව වාහනේ සල්ලි දීලා ගන්නවා. අරං, අර අපි විදුලි බල මණ්ඩලේට අරකට මේකට කාර් එක කුලියට දෙනවා වගේ අපිට කුලියට දෙනවා. අපි මාස්පතා කුලියක් ගෙවාල වාහනේ පාවිච්චි කොරනවා. වාහනයේ ක්ෂයවීම (Depreciation) හා ගණුදෙනුවේ ලාභය වෙනුවෙන් පොලියක් කොම්පැනිය ගන්නවා. නීතිය අනුව අපිට වාහනයේ අයිතියක් තිබුණත් පරම අයිතිය (absolute ownership) තියෙන්නේ අර ලීසිං කොම්පැනියට. ඒ කියන්නේ ලීසිම ගෙවලා අහවර උනත් අපිට වාහනේ ඉල්ලංට බෑ. (එහෙම උණොත් කුලියට ගෙවල්වල ඉන්න අයත් අන්තිමේ ගෙට අයිතිවාසිකම් කියාවි. එහෙම කියනවා!) හැබැයි, කිසිම ලීසිං කොම්පැනියක්/බැංකුවක් එහෙම වාහනේ තියාගන්නෑ, අපිටම ආපහු ලියලා දෙනවා.

එතකොට මක්කැයි ෆිනෑන්ස් කරනවා කියන්නෙ?
ඒකත් හරියට ලෝන් එකක් වගේ තමා. භාණ්ඩයේ (වාහනයක් කියමු) අයිතිය ෆිනෑන්ස් කොම්පැනියට තිබුණත් අපි ගෙවංට ගෙවංට අපේ පැත්තට භාණ්ඩයේ අයිතිය වැඩි වෙනවා. අර ලීසිං වල වගේ ගෙවල අහවර වුනත් අපිට අයිති නෑ කියන අදහස මෙතන නෑ. සාමාන්‍යෙයන් ෆිනෑන්ස් වල පොලිය තරමක් වැඩියි. නැත්තං හොඳටම වැඩියි. ෆිනෑන්ස් වලට කුලී සින්නක්කර (Hire Purchase) කියලාත් කියනවා.

ලීසිං දෙන්නෙ වාහන වලට විතරද?
අපොයි නෑ. අරුත් නිර්වචනය අනුව නම් රජයෙන් කර්මාන්තශාලවක් ඉදිකරන්න බදු දෙන ඉඩමක් ගත්තොත් ඒකත් ලීසිං එකක්. හැබැයි වැඩිපුරම ලීසිං කියන සංකල්පය යෙදෙන්නෙ වාහන, යන්තර සූත්තර වගේ දේවල් ගන්නකොට තමා.

ලීසිං වල පොලිය කොහොමද?
ඔය පොලිය ගැන නම් සමහර ෆිනෑන්ස් කොම්පැනි විනිවිද බාවයෙන් කටයුතු කොරන්නෙ නෑ. හැබැයි තමුන්නැහැලට පුලුවං ලීසිං වාරිකය (Lease Rental) දන්නවනං ඒ පොලිය හොයාගංට. ඔය කොයි කොම්පැනියත් කියන්නෙ අපි ගන්නේ ලස්සෙට අච්චරයි, මෙච්චරයි, වනචරයි කියලා. ඉතිං පොලිය ගනං බලන්නේ මෙන්න මෙහෙමයි.

අපි හිතමු, එක වාරිකයක් (down payment) මුලිංම දාලා ගත්තොත් රුපියල් 100,000 (ලක්සෙකට) අවුරුදු 4 කින් ගෙවංට මාසික ලීසිං වාරිකය වැට් (VAT-Value Added Tax) එකත් එක්කම රු.2,894/- යි කියලා. මේක කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනිය. අපි ගෙහුං අහගංට ඕනෑ.

දැන් ඕකෙන් අඩුකරංට වැට් එක. ඒ කියන්නේ 11% ක් (ඉස්සර 12% යි), මෙන්න මේම... ඒ කියන්නේ 2,894 හැදෙන්නේ 11% ක වැට් එකත් එක්ක නම්, ඒක 111 න් බෙදලා 100 න් වැඩිකරමු, මේම...

2894 x  100 / 111 = 2607


මේ රු.2,607 තමා වැට් නැති ශුද්ධ වාරිකය. දැන් අවුරුදු 4 (මාස 48) ක්ම ඔය ගාන ගෙවන්ට එපෑ. එතකොට ගෙවිලා ඉවර වෙන ගාන මේං... 

2607 x 48 = 125136

ඔතනිං ලක්සයක් අයිං කොලාම මුල් මුදලට, පොලිය විතරක් රු.25,136 ක් වෙනබව ඔය ඇත්තංට තේරෙනවනෙ. හැබැයි, ඔය පොලිය අවුරුදු 4 ටමනෙ. ඉතිං අවුරුද්දකට බලංට ඕක බෙදංට 4 න්.

25136 / 4 = 6284

මේ එක අවුරුද්දක පොලිය. හැබැයි පුතෝ, ඔය ලස්සෙම මුලු අවුරුදු 4 ම තියෙන්නෙ නෑනේ. ගෙවිලා අඩුවෙනවානෙ. පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා බිංදුව වුනාමනෙ අපි ණයෙං නිදහස් වෙන්නෙ. එහෙනං, අවුරුදු 4 ම තිබුණු සාමාන්‍ය සේසය රු.50,000 යි කියලා කිව්වොත් මං වැරදිද? හරි, එහෙනං, රු.50,000 කට අපි අවුරුද්දකදි ගෙවනවා රු.6,284 ක්. දැන් බලන්න ප්‍රතිශතය මේම...පනස් දාහට 6284 නම් සීයට කීයද?

6284 / 50000 x 100 = 12.56%

ඒ වගේම කියංට ඕනි, මුලිං දාන වාරික ගාන වෙනස් වෙනකොට ඔය පොලී අනුපාතෙත් වෙනස් වෙලා වාරිකෙත් වෙනස් වෙනවා. උදාහරණෙකට ගත්තොත්, වාරික 5 ක් එකපාර මුලිංම දැම්මම, අර උඩහ කියපු රු.2,894 වෙනුවට රු.2,788 ක් වගේ මුදලක් ගෙවංට ඕනැන්නෙ. එතකොට පොලී අනුපාතය වෙන්නෙ 10.29% ක්. හදල බලංටකො. එහෙම වෙන්නෙ අපිත් යම් දායකත්වයක් දාලා ණය වන ප්‍රමාණය අඩුවන නිසා.

මං ලියනවා දිග වැඩි හිංද, හිතුවා කොට කොරංට. අදට පාඩම ඔච්චරයි. බලාසිටි ඔබ සැමට ඉස්කෝතුයි. පුරස්න ඇත්තං අහංට ඈ...

මහේෂයෝ, අනේ බයිංටනං එපා ඈ... 

ප/ලි: ඒ පාර ලැච්චර බයිනවා, සරලව පැහැදිලි කොරංටලු. 



Friday, November 7, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-3



තමංගෙ ආකාස මංදිරේ අටෝගංට ණයක් කාරිය ගංට ඕනෑ උනාම කොරංට ඕනෑ කෙරුවාව මම දැං මේ සුහුඹුලංට උගංනමිං ඉංනෙ. අදම ආපු ඇත්තො ඔය පහල තියෙන එව්වට කොටල ගිහිං බලලම ආවනං අහකයිනෙ.
  1. පළමු පාඩම
  2. දෙවන පාඩම
ඉතිං ළමයිනේ, තමංගෙ සිහින මංදිරේ ඉදිකොරාගන්න ණය වෙන ගමනෙදි තමං ගේ හදන ඉඩම තක්සේරු කොරල (Valuation) තමා අපි අන්තිමට නතර උණේ. තක්සේරු කොරනකොට තව බලන කියන කාරණා කීපයක් අපි දැනගම්මු.
  1. ඉඩමට පිවිසීම (Access) - ඒ කියන්නෙ ප්‍රධාන පාරකිං ගිහිං තව
    පාරකිං හෝ කීපෙකිං ඉඩමට ලඟාවෙනවානං (අර කියන්නෙ, කොළඹට විනාඩි පහයි, ප්‍රධාන පාරට විනාඩියයි කියලා) මෝටර් රථයකින් යන්න හැකි (Motorable Access) වෙන්න ඕනි. (අඩි 10 පළල පාරක් වගේ)
  2. මායිම් වෙන්වීම (Boundaries Demarcation) - පැලෑනෙ විදිහට
    හඳුනාගත හැකි පරිදි ඉඩමෙ මායිම් වෙන්ව තියෙංට ඕනි. ඒ කියන්නෙ මායිම් කණුවක්/ගලක්, දොළපාරක්, මහපාරක්, තාප්පයක්, ඉනිවැටක් වගේ වෙනස් නොවෙන දේකින් මායිම් ලකුණු වෙලා තියෙංට ඕනි.
  3. කුලී නිවැසියන් (Tenants) -ගෙයක්නං ඒක කුලියට දීලා තියෙනවද? එතකොට ඒ සැට් එක පන්න ගන්නෙ කොහොමද වගේ එව්වා.
  4. පළාත් පාලන සීමා (Local Authority Clearances) - එතකොට මහ නගර සබා, නගර සෝබිනී...නෑ...නෑ...නගර සබා, පුරාදේසීය සබා වගේ එව්ව තමංගෙ පවරා නොගැනීමෙ සහතිකෙං කියනවා මාර්ග පළල් කොරංට හරි පොදු වැඩකට හරි මේ ඉඩම පවරගංට එහෙම බලාපොරොත්තු වෙනවද/නැද්ද? ඒ වගේම වීථි රේඛා සහතිකෙන් කියනවා මාර්ග දෙපස කොටස විදිහට හෝ ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ නොදෙන කොටස විදිහට ඉඩමෙ කොච්චරක් වෙං කොරංට ඕනිද? අන්න ඒවාත් තක්සේරුවෙදි සලකා බලනවා. එහෙම වෙන්කිරීම් තියෙනවානං එව්වට අඩු කරලා ඉතිරිය තමා තක්සේරු කොරන්නෙ.
  5. යටිතල පහසුකම් (Infra-structure Facilities)- මාර්ග, විදුලිය, නළ ජලය, දුරකථන ජාල (ලයිට් අතලඟ, වතුර කට ළඟ, ටොයිලට් එක .... නෑ ඕන්නෑ) වගේ එව්ව තියෙනවනං ඉඩමේ වටිනාකම ඉහල යනවා.
  6. උපද්‍රව හා වටපිටාව (Disasters & Surrounding) - අනෙක් අතරට
    ගංවතුර, නායයෑම්, මුහුදු ඛාදනය වැනි සොබාවික උපද්‍රව වගේම අහල පහල පාසලක්/සතිපොලක්/මස්කඩයක්/මාලුකඩයක්/පිට්ටනියක්/හෝං පිට්ටනියක් වගේ එව්ව එහෙම තියෙනවානං ඉඩං මිල පහල යනවා.
  7. පවත්නා මිල (Prevailing Price) - ඉඩමෙ මිලනං තීරණය කොරන්නෙ ඊට ටික දොහකට කලිං කරපු ඉඩං වෙන්දේසි, පුද්ගලික විකිණීම් ආදියේදී විකුණුනු මිල ගනං අනුව
මේ තක්සේරුවේ බලකර විකිණීමේ වටිනාකමේ යම් පොරතිසතයක් තමා ණය විදිහට දෙන්නෙ කියලාත් මං කිව්වනෙ. 

ඉඩමෙ මිල තක්සේරු වටිනාකමට අඩුනං?
හැබැයි, නිවාස ණය වලදි සමහර බැංකු විවෘත වෙළඳපොල වටිනාකම අනුව ණය තීරණය කරනවා. උදාහරණයක් විදිහට ඉඩමක්/ගෙයක් (ඉඩං නැතිව ගෙවල් හදන්නෙ අහසෙයැ නේද?) සල්ලි දීලා ගංට තනනකොට, ඒ ඉඩම/ගෙය විකුණන මිල (selling price) හෝ එ්කෙ විවෘත වෙළඳපොල වටිනාකම (open market value) කියන දෙකෙං අඩු එක අරං යම්කිසි නියමිත පොරතිසතයක් තමා ණය දෙන්නෙ. ඔව්ව ඉතිං දර්ශීය සැලැස්මක් වගේ කියංට බෑ, බැංකුවෙන් බැංකුවට පොරතිපත්ති වෙනස් නොවැ.

ඉඩං අයිති බුවාත් ණයනං?
හොඳයි, අපි හිතමු ඉඩම අපිට විකුණන බුවාත් දැනටම ඒ ඉඩමට ණයක් අරං තියෙනවා කියලා. අන්න එතෙංදි වැඩපිළිවෙල පොඩ්ඩක් රුයිතෙට යනවා. ඒ කියන්නෙ, අපිට ඔරිමජිනල් ලියකියමං (ඔප්පුව වගේ) ටික අතට ගන්ට බෑ ඒ ණය පියවෙනකංම. ඉතිං සහතික කොරාපු පිටපත් තමා දෙන්නෙ. අන්තිමට අපිට ණය දෙන වෙලාවෙ කලිං අයිතිකාරයා ගත්තු ණය මුදලේ බැලන්ස් එකට (මෙතනදි පොලිය ගෙවංට ඕනි ණය ගත්තු බුවාමයි) බැංකුවෙ නිළධාරියෙක් චෙක්එකක් අරං ගිහිං ඒක ඒ බැංකුවට දීලා කැන්සල් කොරපු උගස් ඔප්පුවයි (discharged mortgage bond), අනෙක් ඔරිමජිනල් ලියකියවිලි ටිකයි මේ බැංකුවට අරං එනවා, හරියට ගෙදෙට්ටම ගිහිං නෝනා ඇරං එනවා වගේ.

ණය අනුමත කොරන්නෙ කොහොමැයි?
ඒවා මේ පොඩි ළමයිංට දැනගංට ඕනි කාරණා නෙමෙයි. එව්ව ඇවිල්ල අබ්යංතර කටයුතු, හුහ්! ණය අනුමත කරංටනං අනෙක් අවශ්‍යතා සේරම හරිනං, ඒ කියන්නෙ ඉඩමෙ අයිතිය නිරවුල්නං, තක්සේරුවෙදි අවුලක් නැතිව සියල්ල සිද්ද වෙනවානං, කලිං ගත්තු ණය නොගෙවාපු අනං මනං කචල් නැත්තං, ණය ගෙවංට තරමෙ හැකියාවකුත් තියෙනවානං බැංකුව ණය සංදේශයක් හදලා අනුමත කරගන්නවා. එතෙංදි යම් යම් කොන්දේසි දාංට පුලුවං ණය අනුමත කොරන උත්තමයො. මෙන්න මේ වගේ,
  1. නිවසක් ඉදිකිරීම හෝ ඉඩමේ ඉදිකල නිවසක් ඇත්නම් එහි වටිනාකමට අකුණු/ගිනි/සොරබිය/ගංවතුර වැනි ආවරණ සහිත රක්ෂණයක් (Fire & lightening, theft, flood...Insurance Cover) ලබාගැනීම.
  2. මාසික වැටුපෙන් ණය මුදල කැපීයාමට ප්‍රමාණවත් මුදලක් බැංකුව වෙත හැරවීම (Deduction from pay).
  3. නිවසක් හදනවානං, කොටස් වශයෙන් (උදා. අත්තිවාරම, බිත්ති
    බැඳීම, ජනෙල් දොරවල් සවිකිරීම, වහලය ගැසීම, අනෙකුත් වැඩ ආදී වශයෙන්) ඒ ඒ වැඩ කොටස අවසන් කරන ආකාරයට ණය නිදහස් කිරීම (stage-wise disbursement).
ඉතිං ඊට පස්සේ....
හිතුවෙ සරත් මධු වගේ මාත් චිත්‍ර අඳියි කියලද? නෑ...නෑ...මට එව්ව බෑ. ඉතිං ළමයිනේ ණය අනුමත උනා කියන්නෙ බබා හම්බවුනා වගේ තමා. ඉතිරිටික හරි පහසුයි. සරලයි.

ඔන්න බැංකුව හරි බැංකුවෙ ලියාපදිංචි නීතිඥ මහත්තයෙක් හරි උගස් ඔප්පුව (mortgage bond) හදනවා. ඉඩමක් සල්ලිවලට ගන්නවනං විකුණුම්කරය (deed of transfer) කියන ඔප්පුවත් හදනවා. මුලිංම හදන්නෙ ඒකෙ කෙටුම්පත (draft). අපි ඒක තහවුරු කලාම තමා මුල් පිටපත් (fair copies) හදන්නෙ.

ඊට පස්සෙ උවමණා පමණට මුද්දර කාරිය ගහල සාක්කි කාරයො (witnesses) දෙන්නෙක් සහ අර නීතිඥ මහත්තැං ඉස්සරාපිට අපි උගස් ඔප්පුව අස්සං කොරනවා. ඒක නීතිඥ මහත්තැං සහතික කොරල ඉඩං කච්චේරියට යවනවා. ඒක ලියාපදිංචි උනාම (දැංනං දවස් 3 න් වගේ වෙනවා) ඒ ලියවිච්ච පත් ඉරුව (extract of registered folio) අරං බැංකුවට ගෙනත් දුන්නු ගමං බඩු අතේ.

මතක තියාගංට, ඉඩමෙ කලිං අයිතිකාර බුවා ණයක් අරං තිබෙුණොත් ඒ ඉඩමටම, ඒ උගස කැන්සල් කලබවට ඉඩං කච්චේරියෙ ලියවෙංට ඕනෑ. 

ඒ වගේම මම කලිං දවසෙ කිවුව වගේ හිමිකම් රක්සනයක් එහෙම දාලානං ඒ කොම්පැනියට තව පත් ඉරුවක් එක්ක උගස් ඔප්පුවෙ 3 වෙනි පිටපත (counter-part original) දීලා ඒකට පිටසනක් (endorsement to title insurance) ගංටත් ඕනි. එතකොට තමා වැඩේ සම්පූරණ වෙලා දෙයියාගෙ මල්ලි අතට වඩින්නෙ (කුපාඩි කොල්ලො වරදවා තේරුං ගන්නවා හෙම නෙමෙයි!).

හප්පා... කොටාගෙන කොටාගෙන ගියා මාංසිත් එක්ක. එහෙනං විසිටරයා මාංසි නිවාගෙන ආයි එන්නංකො මේ පැත්තෙ, ඔහෙලගෙ පුරස්නවලට උත්තර බඳිංට හෙම ඈ....

Sunday, November 2, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-2



අනේ මෙහෙම ගේකිං එළියට වෙලා තුරුල්වෙලා හිටියත් මදෑ නේද? “සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං“. දැං අපේ ළමයි ටික හවුසිං ලෝං එකට ඕනි අඩුම කුඩුම ලෑස්ති කරගත්තනෙ. (ඒ මොකක්ද ඇහුවා? ඇයි බොලව් ගිහිං බලාපල්ලකො කලිං එක)

හරි...හරි... දැං ඔය ටිකත් අරං ගිහිං බැංකුවට දුන්නය කියමුකො. ඊට පස්සෙ ඉතිං හැමදාම උදේ හවස ගිහිං මැනේජර් උත්තමයට රිමයින්ඩර් දාන එකයි තියෙන්නෙ සල්ලි දෙනකං කවද හරි. මේ ලියකියමං ටික අරගෙන බැංකුව මක්කැයි කොරාන්නෙ කියල දැන් පොඩ්ඩක් හොයල බලමු.

ඉස්සෙල්ලම බැංකුව හොයා බලනව මේ ගණුදෙනුකාර උත්තමය කොහේට හරි පොලු එහෙම තියල තියෙනවද කියලා. ඒ ගැන අපි දවසක් කතා කලා මතකද? ශ්‍රී ලංකා ණය තොරතුරු කාරියාංසෙ (Credit Information Bureau- CRIB) තමා ඔය පැටිකිරිය ලියවිලා තියෙන්නෙ. ඒකෙ තියෙනවා බැංකු හරි වෙනත් ෆිනෑන්ස් කොම්පැනි වලිං හරි අරගත්තු ණය, ඒ වගේම බෑ කියන්ට බැරිකමට ඇප අස්සන් කොරපු ණය, ජංගම ගිණුමක් තියේනං ඒකෙ වැදිල ආපහු ගිය සිංහලෙන් කියනවානං රිටර්න් වෙච්චි චෙක් ගැන එහෙම. ණය ගත්තු ආයතනය, ණය මුදල, දැන් තියෙන ශේෂය, හිඟ මුදල් විතරක් නෙමෙයි හිඟ හිටපු දින ගානත් තියෙනවා. තමංට බැංකු ගිණුමක් තියේනං ඒ බැංකුව හරහා ඔය CRIB Report එක ඇරං බැලුවෑකි අමතක වෙච්ච ණය/ඇප වෙච්ච එහෙම තියේද කියලා. තමං ණයක් ගංටම ඕනි නෑ ඕක බලාගංට. මෙන්න මේ රිපෝට් එක අප්සැට්නං යූ-රිපෝට් එක පොසිටිව් ආව වගේ වැඩේ ටිකක් අප්සැට්. මං කියන්නෑ ණයක් ගන්ට බෑ මේ සම්ම කපේදි කියල. ඒ ඒ බැංකුව තමා තීරණය කරන්නෙ මූට ආයි දෙනවද, නැද්ද කියලා. එහෙම අප්සැට් තියේනං ඒ තැංවලට ගිහිං හිඟ පියෝල දාල ලියුං කරදහියක් ගන්න එක තමා පොදු කරමෙ. මතක තියාගංට, ණය කාඩ්පත් (credit cards) එහෙමත් ඕකෙ සටහන් වෙන බව. මේක ඔන්ලයිං රිපෝට් එකක් ඈ...

ඔය රිපෝට් එකේ හැටියට මිනිහගෙ පැටිකිරිය හොඳයි නං බැංකුව පටං ගන්නවා තමුන්නාන්සෙල ගෙනාපු ඉඩමෙ පැටිකිරිය හොයන්ට. ඒකට මුලිංම කොරන්නෙ හිමිකම් වාර්තාවක් (Title Report) ඒ බැංකුවට පත් කොරල ඉන්න නීතිඥ මහත්තයෙක් මාර්ගයෙන් ලබා ගන්න එක. මේ රිපෝට් එක හොඳයි නං ඔන්න ලේ එකක් චැක් කොරල සැටිස් උනා වගේ තමා. ඉස්සරහට යංට ඇහැකි. හැබැයි වැඩේ කචල් වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි? නෑ...නෑ... අයිනෝ අයිනෝ පිහියෙං. ඔහොම වෙන්නෙ පුතේ මෙහෙමයි.
  1. ඉස්සර මේ කියන ඉඩම බෙදලා වෙන් නොකර අයිතිය පැවරි පැවරි ඇවිත් ඇත්නං (නොබෙදූ 1/5 ආදී වසයෙන්)
  2. ඉඩමේ නියම වටිනාකමෙන් 1/2 ක් වත් නොදා ඔප්පුව ලිව්වම
  3. වෙනත් යම්කිසි කහටක් මේ ඉඩමේ පිරිසිදු අයිතියට වැටුනොත්
අන්න එතෙංදි ගංට ඕනි හිමිකම් රක්ෂණයක් (Title Insurance Policy). මේක ඇවිල්ල පිළිගත් රක්ෂණ සමාගමකිං ගංට ඕනි. එයාලා ඉඩමේ තක්සේරු වාර්තාවකුත් ඉල්ලනවා. ඒ ගැන මං කියන්නං පහල. හොඳට දැනුවත් වෙලා ඉංට, බැංකුවෙන් අහලම ඔය රක්ෂණ සමාගම තෝරගංට. මොකද සමහර බැංකු සමහර රක්ෂණ සමාගම් වලින් නිකුත් කරන හිමිකම් රක්ෂණ ඔප්පුවල වටිනාකම් එකතුවට සීමා දාලා තියෙනවා. ඒවා නොදැන ඔක්කොම කොරල බැංකුව ඒ රක්ෂණ ඔප්පුව භාර නොගත්තොත් ජලා..හුටා...සල්ලි ජලේ. මොකද, ඔය කියන රක්ෂණයට තරමක විශාල මුදලක් වාරිකය විදිහට ගෙවන්ට ඕනෑ. එහෙම ගෙවන්නෙ එක පාරයි (Once & For All). 


හොඳයි, මේ හිමිකම් වාර්තාවත් හරිනං ඔන්න තක්සේරු වාර්තාව ගංට ඕනි. ඒකට ඒ ඒ බැංකුවට පත් කොරපු තක්සේරු මහත්තුරු (Panel Valuers) ඉන්නවා. උන්නැහේට බැංකුවෙන් දන්නාපු ගමං එයා ඉඩමටම ඇවිත්, විස්තර හොයල, මැනල කාරිය තක්සේරු වාර්තාවක් දෙනවා. මේ වාර්තාවෙ ඇතුලත් වෙනවා වටිනාකම් 3 ක්.
  1. හොඳ මාකටිං පාරකට පස්සෙ ඉඩම ගැන හොඳ දැනුමක් ඇති ගැණුම් කාරයෙක් ඉන්නවානං කිසි අවුලක් නැතිව අයිතිකාරය ඉඩම විකුණන්නත් කැමතිනං හැම දෙයක්ම ඕ.කේ. නං, කිසිම බලපෑමක් නැත්තං ඉඩම විකිණෙන මිලට කියනවා Open Market Value හෙවත් විවෘත වෙළඳපොල වටිනාකම කියලා. ඕක හදන්නෙ ඉඩමෙ පර්චස් ගානට වගේම ගොඩනැගිලි තියේනං ඒවයෙ වර්ග අඩි ගාණ ආදියට වටිනාකම් ගණනය කරල හෝ නිවසක්/ගොඩනැගිල්ලක් කුලියට දෙනව වගේ ආයෝජනයකින් ලැබෙන වටිනාකම අනුව.

  1. අනෙක් වටිනාකම පුනස්ථාපන රක්ෂණ අගය හෙවත් Reinstated Insurance Value. ඒ කියන්නෙ ගොඩනැගිලි තියෙනවානං ඒවට ගින්නෙන් හෝ වෙනත් ආකාරයකිං හානි වෙලා විනාශ වුනොත් නැවත ඉදිකිරීමට යන වියදම. මේක ඉඩමට අදාල වෙන්නෙ නෑ. මේ වටිනාකමට ගිණි හා අකුණු බිය රක්ෂණයක් ලබාගන්න ඕනි බැංකුව නමට නියද (Assign) කිරීමක් එක්ක. නියද කලාම යම් විදිහකින් රක්ෂණ වන්දිය ගෙවන්න රක්ෂණ සමාගමට සිදුවුනොත් සල්ලි එන්නෙ බැංකුවට.

  1. තව ඉතාම වැදගත් අගයක් තමා බලකර විකිණීමේ වටිනාකම හෙවත් Forced Sale Value. මෙතනදි අර වෙළඳපොල කියන සංකල්පෙන් මිදිල උපකල්පනය කරනවා සාධාරණ කාලසීමාවකුත් නැතිව, අනපේක්ෂිත හේතුවක් මත ඉඩම හදිසියේ විකුණන්න උනා කියලා. එතෙංදි අර වෙළඳපොල වටිනාකමට වඩා තරමක් අඩු අගයක් තමා ලැබෙන්නෙ. ඉඩම බලෙංම ඇඟේ ගැහුවොත් බෑ නොකියා ගන්න හැකි ලංසුව තමා මේ. මේ වටිනාකම වැදගත් වෙන්නෙ බැංකු විසින් තමන් ලබාදෙන ණය මුදල තීරණය කරන්නෙ මේ බලකර විකිණිමේ වටිනාකමෙන් නිශ්චිත ප්‍රතිශතයකට. ඒක බැංකුවෙන් බැංකුවට වගේම ණය ගන්න කාරණය වගේම ගණුදෙනුකාරයගෙ තත්ත්වය අනුවත් වෙනස් වෙනවා.
හිතුවට වඩා දික්වුනා මේක. මේ කාරණ එහෙම දිග හෑලි විදිහට ලිව්වොත් මෙලෝ රහක් නෑ. ඒ හිංදා මං දැං ගොහිල්ලා බොලාගෙ පුරස්න වලට උත්තර බඳිංට ආයි එන්නංකො ඈ............ ටටා...... 


Tuesday, October 28, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-1

ලස්සන නියපොත්ත නේ? 
පාට ගාපු දේවල් අතර මං හරිම ආස දෙයක් තමා කාන්තාවන්ගෙ නියපොතු. ඔය විච්චූරණ මල් ඇඳපු එහෙම නැත්තං මැලිබන් රියල් ඩබල් වගේ පාට දෙක ගාපු තොරණ් නෙමෙයි. තනි තද පාටක්. ආ...ආ... ඔය කොයි හවුසිං ලෝං එක ගැනද කියවන්නෙ? අප්පට සිලි, පීල්ල පැන්න නොවැ.

ඉතිං ලමයිනෙ ගියපාර අපි ඉස්තීර තැංපතු ගැනනෙ කතා දැම්මෙ. තැංපතු දාංට සල්ලි එපැයි. අද කියංට යන්නෙ සල්ලි නැතිනං ගෙයක් හදාගන්න හැටි. ඒ කියන්නේ ණය වීමේ කලාව...හුහ්!

නිවාස ණය කිව්වට ඔව්වා විවිධ කාරණා යටතේ ගංට ඇහැකි. 

  1. ගෙයක් සල්ලි වලටම ගංට (Purchasing a House)
  2. ගේ හදංට ඉඩම ගංට (Purchasing a Land)
  3. ගේ හදංට (Construction of House)
  4. ගෙයි වැඩ අහවර කොරංට (Completion of House)
  5. ගෙට කෑලි එක්කහු කොරංට, වෙනස් කොරංට (Additions & Alterations to House)
  6. ගේ රෙපෙයාර් කොරංට (Repair of House)
ඔය මොන කාරණේට ගත්තත් ඉතිං රුපියල් ලස්ස පහකට වඩා එහෙම ගන්නවනං ගේ හරි ඉඩම හරි බැංකුවට උකස් තියංට වෙනවා ආයිබොවං. එහෙම උකස් තියනවානං මෙන්න මේ කරදාසි කොලටිකත් අරංම යංට බැංකුවට.
  • ඉඩමේ දැන් ඉන්න අයිතිකාරයට ලියවුනු ඔප්පුව (Title Deed). 
ඔය ඔප්පුත් ඉතිං විවිදාකාරයි ඈ... ඉතාම බලසම්පන්න එක තමා විකුණුම්කරය හෙවත් පැවරුම් ඔප්පුව (Deed of Transfer). ඊ ළඟට එච්චර පොරබල නැතිවුනත් තෑගි ඔප්පුව (Deed of Gift). ඔය තෑගි ඔප්පු වල දීමනාකාරයා පරාණ බුත්තිය (Life Interest) එහෙම තියාගෙන ලියල තියෙයිනං ඒ ඇත්තාත් බැංකුවෙ උකස් ඔප්පුවට අස්සං කොරංට ඕනි ඈ... එතනිං ගිහාම කලිං බෙදල වෙන් නොකර තිබ්බ ඉඩං පවුලේ ඇත්තො එහෙම කතා වෙලා මැනල වෙංකොරල ලියාගන්න බෙදුං ඔප්පුව (Deed of Partition). ගහ මරාගෙන උසාවි ගිහිං නඩු කියල බෙදාගත්තුවටනං ඒ අවසාන නඩුතීන්දුව (Final Decree). ආණ්ඩුවෙං හම්බ උනානං ඒ දීමනා පත්තරේ (Papers of Grant). එතෙංදිනං බැංකුවට තියංට කලිං පුරාදේසීය ලේකම් තුමාගෙ හරි ඉඩං පොරතිසංස්කොරන කාරියාලෙ (Land Reform Commission) හරි අවසරේ ගංට ඕනි. 
  • ඉඩමේ පිඹුර (ඉතිං අල්ලපංකො පිඹුරෙක්) ඒ කිව්වෙ ඉඩමෙ ප්ලෑන (Survey Plan). 
සමහර නගර බබා, පුරාදේසීය බබා සීමා වල මේ පැලෑන අනුමත කොරන්ට ඕනැ ගරු සබාපොති තුමා ඈ... මේ පිඹුරගෙ වයස එක එක බැංකුව අනුව වෙනස් වෙනවා. සාමාන්නියෙන් අවුරුදු 30 ක් වත් ඇතුලත.
  • එතකොට ඔය බබාගෙන්ම ගංට ඕනෑ සහතික කීපයක් තියෙනවා. 
ඉඩමට වීථි රේඛා සහතිකේකුයි (Street Line Certificate), පවරා නොගැනීමේ (Non Vesting Certificate) සහතිකේකුයි. (සමහරු ඕකට නොපරවා ගැනීමේ සහතිකේ කියනවා. ඒක වැරදී, හරිනං නොපවරා ගැනීමේ සහතිකය). සමහර බබාලා දෙනවා හිමිකම් (Certificate of Ownership) සහතිකයයි වරිපනම් (Rates/Assessment Certificate) සහතිකයයි කියලා දෙකක්. ඕවා සේරම ගංට ඔප්පුවෙයි පැලෑනෙයි ඔරිමජිනල් එක පෙන්නලා ගානක් ගෙවංටත් වෙනවා. 
  • ඔප්පු ලියවුණු පත් ඉරු
මුන්නැහේල දන්වද, ඔය ඉඩං ඔප්පු සේරම දිස්තිරික්කෙට තියෙන ඉඩං කච්චේරිය එහෙම නැත්තං ඉඩං රෙජිස්ට්‍රාර් කාරියාලෙ ලියාපදිංචි කොරන බව. අන්න එහෙම ඔප්පු ලියාපදිංචි කොරපු ලෙජර් සයිස් තඩි පොතක ඒ පිටුවල උපුටාගත්තු (ඇත්තටම පොටෝ කොපි ගහපු) පත් ඉරුත් (Extracts of Registered Folios) ඕනි වෙනවා. මෙතෙංදිත් බැංකුවෙන් බැංකුව ආපස්සට ගිහිං බලන අවුරුදු ගාන වෙනස්. අපි කියම අවුරුදු 15-20 ක් වගේ ඇතුලත ලියවුනු ඔප්පු සේරම රෙජිස්ටර වෙච්ච පිටු ඉල්ලාවි. ඔය පත් ඉරු තියෙනවා නේද? ඕවා ලංකාවෙ එක එක කලාප වලට අකුරු වලට කඩලා පොත් සහ පිටු වලට දාලා මෙන්න මෙහෙමයි කියවන්නෙ. A 216/453 (මෙතන ඒකියන්නෙ පාරෙ...නෑ..නෑ. A කියන්නෙ කලාපය. 216 කියන්නෙ පොත/වෙළුම. 453 කියන්නෙ පිටුව).
මෙන්න මේ ටිකත් එක්ක ගෙහුං මැනේජර් මහත්තයත් හම්බු වෙලා උන්නැහැත් වැඩේට මනාපනං ඉතිං ගොඩ තමා. හැබැයි අමතක කොරංට එපා, තමං ණය ඉල්ලන කාරනේ හැටියට මෙන්න මේවත් ගෙනියංට. 
  • ගෙයක් හරි ඉඩමක් හරි සල්ලි දීලා ගන්නවානං ඒක විකුණන පොරගෙන්, ලෑන්ඩ් සේල් එකෙං එහෙම විකුණන බවට කැමැත්තයි, ඉඩමෙ විස්තරෙයි, විකුණන ගානයි දාපු ලියුං කරදහියක්. මතක තියාගංට බැංකුව ණය දෙංට කැමතිනං ඔය දේපල අයිතිකාරයා අත්සං කොරංට ඕනි “ප්‍රමුඛතා නිවේදනය (Priority Notice)“ කියාල එකක් නොතාරිස් කෙනෙක් ඉස්සරහපිට. ඒක ඉඩං රෙජිස්ට්‍රාර් කාරියාලෙ ලියාපදිංචි කොරංට ඕනි. ඕක දවස් හතලිස් දෙකක් වලංගුයි. ඕකෙං කෙරෙන්නෙ ඒ කාලය ඇතුලත වෙන කෙනෙකුට ඉඩම විකුණන්ට බැරි වෙන එක. 
  • අර උඩිං තියෙන තුනේ ඉඳං හය වෙනකං කාරනා වලදි ඕනි වෙනවා ගෙයි පැලෑන. මේකත් අර බබෙක්ගෙන් අනුමත කොරගංට ඕනි එහෙම කොරංට කියාලා වීථි රේඛා සහතිකේ ගහල තියේනං.
  • ඊ ළඟට මේ කොරංට යන වැඩේට යන වියදම ගණන් බලලා පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සිවිල් ඉංජිනේරුවෙක් හරි ලියාපදිංචි කොන්තරාත් කාරයෙක් වගේ පොරක් ලව්වා හදෝගන්න ඇස්තමේන්තුවක් (ඕකට BOQ-Bills of Quantities) කියලත් කියනවා.
ඒ වගේම ඉතිං ණයක් ගන්නෙ ගෙවංටනෙ ආයිබොවං. එහෙම ගෙවංට තමංට සත්තිය තියෙනවා කියලා පෙන්නංට තමංගෙ ආදායම ඔප්පුකරංට හැකි කරදාසිත් ඇරං යංට. ඒ කියන්නෙ ඔය පඩි කොලේ (Pay Sheet), ආදායම් බදු සාරාංසෙ (Tax Summary) වගේ දෙයක්. 

දැං ඉතිං මෙතන කෑ කෝ ගහනව නෙමෙයි “බුදු අම්මෝ ණයක් ගංට ඔච්චර ජාති ඕනිද?“ අරක මේක කියලා. ඔය තව ටිකයි ඈ... අතඅරිංට එපා. අහල නැද්ද “උත්සාහවංතයා ණය ගනී“ කියලා. 

අපි ඊළඟ දවසෙ බලමු බැංකුවට මේවා බාරදුංනම මක්කද වෙන්නෙ කියලා.

එහෙනං හැමෝටම ණය බර සුව දිවියක්! යඤ්ඤං ඈ....

Wednesday, October 22, 2014

ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?

ස්ථාවර තැන්පතුවක්, සිංහලෙං කියනවානං එෆ්.ඩී. එකක් දාන්නෙ ඉතිං එකපාර කීයක් හරි අතට ආවහමනෙ. ඒක සමහර විට ඊ. පී.එෆ්. (අර්ථ සාධක) එක, ඒකාබද්ධ විශ්‍රාම වැටුප, ලොකු කොමිස් එකක් ඒත් නැත්තං නිතරම ඇදෙන කෝටි ගාණක ලොතරැයි දිනුමක් වගේ විශාල මුදලක් තමා මෙහෙම ස්ථාවර තැන්පතු දාන්නෙ. එහෙම දාපු ස්ථාවර තැන්පතු තමයි බැංකු හා මූල්‍ය සමාගම් වල තියෙන වැඩිම තැන්පතු ප්‍රමාණය වෙන්නෙ. ගොඩක් අය මේවා දැම්මට මුලදිම නිසි අවබෝධයක් ඇතුව නෙමෙයි දාන්නෙ. ඉතිං දාගත්තට පස්සෙ ප්‍රශ්න කෝටියයි. අන්න ඒ ස්ථාවර තැන්පත් දාන අන්ත දුගී ජනතාවගේ හිත සුව පිණිස මෙන්න මේ කරුණු කාරණා ටික එළියට දාන්නෙ.

දැං ඇත්තටම ඕක මොකක්ද?
මේක ඇවිල්ලා ආයෝජනය කොරන උන්දැට නියමිත කල් පිරීමේ දිනයකදි සාමාන්‍ය තැන්පතු ගිණුමකට වඩා වැඩි පොලියක් ලැබෙන තැන්පතු වර්ගයක්. කල් පිරීම කිව්වම ඉතිං ඕක මාසයක් වෙන්ට පුලුවං, මාස 3 ක්, 6 ක් ඒත් නැත්තං අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක් වෙන්ටත් පුලුවං. ඊට වැඩි වෙන්ටත් පුලුවං. හැබැයි, මූල්‍ය සමාගම් සිංහලෙන් කිවුවොත් Financial Companies වල ඔය කාලය දික්වෙන්ට දික්වෙන්ට පොලී අනුපාතයත් වැඩි වෙනවා. හැබැයි රජෝ වාණිජ බැංකුවල ඔය කල්පිරීම සමග පොලී අනුපාතය තීරණය වෙන්නෙ රටේ ආර්ථිකයේ සංසරණ මුදල් ප්‍රමාණය පාලනය කිරීම අනුව. ඒ කියන්නෙ, රජයට මුදල් ඕනි වෙලා තියෙනවා කියමු අවුරුද්දක විතර කාලෙකට. අන්න එතකොට අවුරුද්දෙං කල් පිරෙන ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් නියම කරනවා. මේක සිරසෙ මුදුන වගේ. ඊට අඩු සහ වැඩි කාලසීමාවල තැන්පතු දෙපැත්තට අඩුවෙවී යනවා. 

නියම කල පොලී අනුපාතය ලැබෙන්නෙ කල්පිරීමේදී ආපසු ගත්තොත් තමා. අපි උදාහරණෙකට ගමු ලේසියෙන් නොදෙන දුවෙක් ඉන්න ජෝඩුවක්. මේ ජෝඩුව තමං හම්බු කොරපු හැම සතේම එකතුකරල දානවා ඉස්තීර තැන්පතුවක් බැංකුවෙ, තව අවුරුද්දකිං පොලියත් එක්ක මේක අරං දෙන්න දුවට දෑවැද්දට. ඔන්න ඔතෙංදි බැංකුව කියනවාය හිතමු අවුරුද්දට 8% ක පොලියක් දෙනවා කියලා. දැන් මේ තැන්පතුව දැම්මෙ ජනවාරි පළවෙනිදා කියලත් හිතමුකො. ඉතිං දුවට ඉන්ට බෑ එච්චර කල්. දවසක් දුවගෙ කාමරේ ලඟිං යනකොට අපේ ජෝඩුවට පොඩි හම් එකක් ඇහෙනවා. බැලින්නං දෝනියන්දැ ඉන්නවා වයිබරේට‍රේකුත් තියාගෙන! “මොකෑ බං ඔය?“. ඩබලම අහපි. “මං මේ මගේ අනාගත සුවාමි පුරුසයත් එක්ක ඉන්නෙ“ කෙල්ල කියපි.
තව ටිකදොහකිං එක දවසක් අම්මට ඇහෙනවා සාලෙංම මේ සද්දෙ. බැලිංනං තාත්තා ඉන්නවා ටී වී බල බලා වයිබරේටොරෙත් නිකං රිමෝට් කොන්ටරෝල් එක වගේ සැටියෙ පැත්තකින් තියාගෙන. “මොකෑ ඕයි, ඔය?“. මහ මෑන් කියාපි “මං මේ අපේ බෑණත් එක්ක ටී වී බලනවා“ කියල!!!

කොහොමිං කොහොම හරි දෙන්න දෙමාල්ලො තීරණය කොලා අවුරුද්දක් හමාරක් ගියොත් මොකිං මොකක් වෙයිද දන්නෑ, ඉක්මනට කෙල්ල දීලා දාන්ට ඕනි කියලා. ඉතිං සේරම උප්පරවැට්ටි දාලා මගුලක් පැටලෙව්වා දෝනියන්දැට. දැන් ඉතිං කාසි පනං එපායැ. දෑවැද්දත් එපායැ. මාම යනවා බැංකුවට.

“මැනේජර් මහත්තයො, මං මාස තුන හතරකට කලිං අර දැම්මෙ ඉස්තීර තැංපතුවක්ද මොකක්ද. තව අවුරුද්දකිං හමාරකිං කෙල්ලට හොඳ පෙලවහක් කොරල දෑවැද්දකුත් දෙන්ට තමා ලෑස්ති උනේ. අනේ ඒ උනාට ඉතිං, කෙල්ලට එච්චරකල් ඉංට බෑ කියනවනෙ. ඔන්න ඔය දාපු සල්ලි ටික මට පොලියත් එක්ක ආපහු දුන්නනං“ කියලා මාමා කියාපි.

දැන් මැනේජර් මහත්තයා කියනවා “මේ උන්නැහැ, ඔහේ අවුරුදු දෙහෙකට දැම්මට තමා මාස 4 යිනෙ ගතවුනේ. ඉතිං පොලියෙං කොටහක් තමා දෙන්ට වෙන්නෙ“.

මෙන්න මෙතෙංදි කොහොමද ගෙවන පොලිය ගණන් බලන්නේ. ක්‍රම කීපයක් තියෙනවා.

  • එකක් තමා දැනට ස්ථිර තැන්පතු සඳහා පවතින කෙටි කාලසීමාවන් (මාස 3, 6 ආදී වශයෙන්) අතරින් යෙදිය හැකි උපරිම කාලසීමාවට ගෙවන පොලී අනුපාතය යොදා ගැනීම.
  • තව ක්‍රමයක් තමා ගතවූ මාස ගණනට ඉතිරිකිරීමේ ගිණුමකට ගෙවන පොලී අනුපාතය යොදාගැනීම.
  • තවත් ක්‍රමයක් තමා එහෙම උපරිම කාලසීමාවක් ස්ථිර තැන්පතු පොලිය බලලා තව ඉතිරි මාස තියේනං ඒවාට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට ගෙවන පොලිය ගෙවීම. ඒ කියන්නෙ මුල් ක්‍රම දෙකේ හයිබ්‍රිඩ් එක.
  • අනෙක් පජාතම ක්‍රමයක් තමා කිසිම පොලියක් නොගෙවා මුල් මුදල පමණක් ගෙවීම.
  • ඊටත් වඩා පජාත ක්‍රමයක් තියේනං ඒ තමා තැන්පතුව කලිං අවලංගු කරනවට දඩයක් ගහලා තැන්පතුව මුදා හැරීම.


ඔය අන්තිමට කියපු ක්‍රම බැංකුවල සිද්ද වෙන්නෙ නෑ. මහ බැංකුව ඒ අයව සෘජුවම අදීක්සනේ කොරන නිසා. හැබැයි සමහර මූල්‍ය සමාගම් ඕක කරලා තියෙන බවට පැමිණිලි තියෙනවා.

අපි හිතමු මාස තුනේ (3) ඉස්තීර තැංපතුවකට පොලිය 6% යි, ඉතිරි කිරීමේ සේවිංස් පොතකට පොලිය 4% යි කියලා.මෙන්න පොලිය හැදෙන විදිහ.

·         පළමු කරමෙදි තැංපතුව තිබුණෙ මාස 4 නිසා මාස 3 ට පොලිය තමා යොදන්නෙ.

         1,000,000 x  3   x   6      = 15,000
                            12     100

·         දෙවන කරමෙදි මාස 4 ට ඉතිරිකිරීමේ පොලී අනුපාතය යොදනවා.

1,000,000 x  4   x   4       =13,333.33
                  12     100

·         හයිබ්‍රිඩ් කරමෙදි අර පළමු කරමෙන් හදාගත්තු 15,000 ට මෙන්න මෙහෙම ඉතිරිකිරීමේ ගිණුමක් විදිහට මාසෙක පොලිය ගණන් බලාල එකතු කොරනවා.

         1,000,000 x  1   x   4       =3,333.33
                           12     100

         15,000 + 3,333.33          =18,333.33

·         අනික් කෙරම මං හදංට යන්නෑ. එව්වට කිසිම පොරතිපත්තියක්, නීතියක් නැති හිංද.

මාසයක් ගානෙ පොලිය ගන්න
කවුරුත් අහල ඇති මාස්පතා පොලිය ගෙවන ඉස්තිර තැංපතු (Interest payable monthly) කරමෙ ගැන. එතෙංදි කල්පිරීමේදී (Interest payable at maturity) සාමාන‍්‍යයෙන් ගෙවන පොලී අනුපාතයට වඩා තරමක් අඩු ප්‍රමාණයක් තමා ගෙවන්නෙ. හැබැයි තැන්පතුව විශාලනං මේ පොලියෙං කාල ඇඳල ඉංට බැරිකමක්මත් නෑ පැංසොං ගිහාම එහෙම. මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නෙ. අපි හිතමු මාසිකව ගෙවන කෙරමෙට වාර්ෂික පොලිය 7.5% ක් කියලා. ඔන්න ලස්ස දහයකට හැදෙන පොලිය.

            1,000,000  x  1   x  7.5   = 6,250
                               12     100
මදිදැ ඉතිං එහෙං පිටිං මනුස්ස පරාණ දෙහෙකටයි තව බාගෙකටයි මාසයක් කාල ඇඳල ඉංට!
ඉතිං දරුවනේ දැං අපි බලමු මේ කියන නියම කාලය පිරුණම මක්කැයි වෙන්නෙ කියලා ඉස්තිර තැංපතුවකට. මෙතෙංදි බැංකු ගොඩක්ම යොදන්නෙ ස්වයංක්‍රීය අලුත්වීමේ Automatic Renewal නියාය. ඒ කියන්නේ ඒ ගතවුනු කාලයට හැදුනු පොලිය එයාගෙම වෙනත් ඉතිරිකිරීමේ (Savings Account) හරි ජංගම (Current Account) ගිණුමකට හරි දාලා මුල් මුදල විතරක් අලුත් ඉස්තිර තැංපතුවක් විදිහට අලුත් කොරනවා.

තව විදිහක් තමයි පොලී ගෙඩිය පැලකිරීම (Interest Capitalization). එතෙංදි කොරන්නේ ගතවුනු කාලසීමාවට අදාල පොලියත් තැංපතුවටම එක්කහු කොරල අලුත් ගාණට ඉස්තිර තැංපතුව අලුත් කොරන එක. නිකං අපි හිතමු 8% පොලියට අවුරුදු දෙහෙකට (2) රුපියල් දසලස්සයක් දැම්ම කියල. ඉතිං අවුරුදු දෙකට පොලිය හැදෙනවා මෙහෙම.
         
               1,000,000 x  2  x    8         = 160,000
                                          100

එතකොට ඊ ළඟ අවුරුදු දෙකට රුපියල් 1,160,000 ක් තමා අලුත් වෙන්නෙ. ඔය විදිහට ගිහිං අවුරුදු 10 කදි ඕක දහ අට ලස්සෙත් පනිනවා. දැං ඉතිං අහංට එපා අවුරුදු 10 කින් දහඅටලස්සෙන් කොරංට පුලුවං එව්වා.

හැබැයි අර මං කලිං කියාපු අප්සැට් කට්ටිය අතරෙ ඉන්නවා පොලිය විතරක් වෙන් කොරාල බලං ඉන්නවා අයිතිකාරයා එනකං බලං ඉන්න අය, නියම දිනෙං පස්සෙ සත පහක්වත් පොලී නොගෙවා.
කාල සීමාව මක්ක වුනත් තැන්පතුවලට වගේම ණය වලටත් පොලී අනුපාත පොරකාස කොරන්නේ අවුරුද්දකට මෙච්චරයි කියලා. ඒ කියන්නේ වාර්ෂික පොලී අනුපාතය (Annual Rate of Interest). හැබැයි ඔය පොලී අයියල/අක්කල නං 10% යි කියන්නෙ මාසෙකට. ඒ කියන්නෙ අවුරුද්දට 120% ක්. මේක 360% ක් පමණ වෙන වෙලාවල් තියෙනවා. ඔය දවස ගානෙ බිසිනොස් කරන ඈයො ණයට ගන්නෙ දිනකට 2%-5% ක වගේ පොලියකට. ඒ කියන්නේ අවුරුද්දකදි ඔවුන් නොදනම 700%-1800% ක විතර පොලියක් ගෙවලා. ඉතිං හැදෙයිද මේ රට? මේක ආර්ථික ව්‍යසනයක්!!! නෑ...නෑ...ආර්ථික ඝාතනයක්.
(මං වෙනම පෝස්ට් එකක් දාන්ට ඉන්නෙ ගිනි පොලියට ණය ගැනීමේ ආදීනව ගැනත්!)

ඇත්තටම, තමංගෙ ඉස්තීර තැංපතුවට ඩැමේජ් එකක් නොවී හදිසියකදී මුදලක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමා ඒ තැංපතුවම ඇපේට තියලා ණයක් (Cash to Cash Loans) ගන්න එක. එතෙංදි තැංපතුවෙන් 75%, 90% වගේම 100% ම වුණත් ගන්ට ක්‍රම තියෙනවා. ඒ ගැන තැංපතුව දාංට කලිං බැංකුවෙං අහල දැනුවත් වෙංට.

එහෙම තමංගෙම සල්ලි තමංටම ණයට දෙන එක බොරු වැඩක් වගේ එකපාරටම පෙනුනත් මේකෙ වාසි කීපයක් තියෙනවා.
  • තැන්පතුව එයට අයිති පොලිය ලබමින් අඛණ්ඩව පැවතීම.
  • තැන්පතුවට ගෙවන පොලියට වඩා 2%-3% ක් වැනි සුලු ප්‍රමාණයක් පොලියක් ණයට නියම වීම.
  • ණය මුදල වාරික වශයෙන්  ගෙවන නිසා පොලී අනුපාතය අදාල වෙන්නෙ මුලු කාලයම පැවතුණු සාමාන්‍ය ශේෂයට. ඒ නිසා තැන්පතුවට ලැබෙන පොලියට වඩා අඩු පොලියක් තමා අංතිමේදි ගෙවිලා තියෙන්නෙ. මේ බලංටකො.

තැන්පතුව අවුරුදු පතා පොලී ගෙවි ගෙවී අවුරුදු 5 ක් තිබුණා කියමු.

1,000,000  x   8     x  5   = 400,000
                   100

නමුත් ණය කැපී කැපී යන නිසා, අවුරුදු 5 කින් නෙමෙයි කීයෙං ගෙව්වත් සාමාන්‍ය ශේෂය 500,000 ක් පමණ වෙනවා. එතකොට අවුරුදු 5 ටම ගෙවංට ඕනැ මෙච්චරයි.

500,000  x   10   x  5       =250,000
                 100

ඒ වගේම අවුරුද්දක් ගානෙ තමංට ලැබෙන පොලිය මේ අවුරුදු 5 ඉතිරි කිරීමේ ගිණුමක දැම්මොත් අමතර රු. 10,000 ක් විතර හම්බු වෙනවා.
           
මාස්පතා පොලී ගෙවන තැන්පතුවක් ඇපේට තියලා ණයක් ගත්තොත් අර ණය පොලී අනුපාතය ගණං බලන්නේ ඒ කාලයටම හෝ අවුරුද්දකින් කල්පිරීමේදී ගෙවන පොලී අනුපාතයට 2%-3% ක් එකතු කොරලයි.
ඒ කියන්නෙ, අපි හිතමු රු.1,000,000 ක් අවුරුද්දකිං කල් පිරීමේදී 8% ක් ගෙවනවා, මාස්පතා ගෙවනවානං 7.5% යි කියලා. ඉතිං මෙතනදි ණයට 2% ක් වැඩිපුර ගන්නවානං අපි ගෙවන්නේ 9.5% ක පොලියක් තමා.

තව එකක්. තැංපතුවකට මාස්පතා පොලිය ගෙවනවනං ඒ පොලියෙං ගෙවංට ණයක් ගන්නත් බැරි නෑ. හැබැයි එතෙංදි අතට ලැබෙන ණය මුදලනං සොච්චමයි. අපි හිතම අර දසලස්සෙම තැන්පතුවට කල්පිරීමෙදි 8% ක් සහ මාසික පොලිය ගෙවීමෙදි 7.5% ක් විදිහටයි ගෙවන්නෙ කියලා. දැන්, මාසෙකට ලැබෙන පොලිය,

1,000,000   x   1    x    7.5       = 6,250
                     12        100

ඔතෙංදි සමාන වාරික කරමෙට ණයක් ගන්නවානං ගන්න පුලුවං උපරිම මුදල මෙහෙමයි හැදෙන්නෙ. ලබාගන්ටැහැකි ණය මුදල PV කියලත් පොලී අනුපාතය (Rate)  (මාස්පතා පොලියට 7.5% වුනත් කල්පිරීමේදී 8% නිසා 8% ට 2% එකතුවෙලා) 10% ක් මාසපතා පොලී ගෙවන හින්ද 12 න්බෙදල ගන්නවා. ගෙවන කාලය අවුරුදු 5 ක් ඒ කියන්නේ Nper මාස 60 ක් කියලත් ගමු. එතකොට වාරිකය හෙවත් PMT අර රු.6,250 තමා. මෙන්න එක්සෙල් පන්සොන් එක.

= PV (Rate, Nper, Pmt)
= PV (10% / 12, 60, - 6250)
= 294,158.56

සමාන වාරික නැතිව සාමාන්‍ය වාරික වලිං ගෙවනවානං ලැබෙන්නෙ ටිකක් අඩු මුදලක්. ඕක ගණං බලංට එක්සෙල් සීට් එහෙක උඩම හිස් සෙල් එකක් (අපි හිතම A1 කියලා) ඉතුරු කරලා ඊ ලඟ සෙල් තුනට (A2, A3, A4)  පහලට මෙන්න මේ පෝමියුලා දා ගංට.

A2 සෙල් එකට              = A1 / 60
A3                               = E6/12*10%
A4                               = A2 + A3

දැං ගෝල් සීක් (Dataà What If Analysis à Goal Seek) ගන්ටකො. එතන හිටං එන ඩයලොග් පෙට්ටියේ ඔය පල්ලෙහා රූපෙ විදිහට කරුණු කාරණා එන්ට කොරංටකො. එතෙංදි ඔය කියල තියෙන සෙල් කිලික් කොරල 6250 ටයිප් කොරල ගන්ට.



උත්තරේ විදිහට 250,000 ක් ආවනං හරි. හැබැයි, මේ කරමෙදි වාරිකය එන්න එන්න අඩුවන නිසා අවුරුදු 5 අන්තිමේ රු.62,500 ක මුදලක් අර මාස්පතා ඉස්තිර තැන්පතුවට ලැබෙන පොලියෙං ඉතිරි වෙනවා.

මෙන්න මේකත් කියංට ඕනි. රාජ්‍ය බැංකුවල ඉස්තීර තැංපතුවලට ගෙවන පොලිය සාපේක්සව අඩුයි. පෞද්ගලික බැංකුවල ටිකක් වැඩියි. පෞද්ගලික මූල්‍ය සමාගම් ඒ කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනි වල හොඳටම වැඩියි. මෙතන තියෙන්නෙ අවදානම සහ තැංපතු අවශ්‍යතාවය. අවදානම වැඩි වගේම තමංට තැන්පතු උවමනා කට්ටිය වැඩි පොලියක් ගෙවන එක පුදුමයක් නෑ. තැංපතුව දාන ඇත්තා වැඩි අවදානමක් අරගෙන වැඩි ලාබයක් බලාපොරොත්තු වෙනවනං වැඩි පොලියක් ගෙවන තැනක දැංමට කමක් නෑ. එහෙමනං ඔය පොලියට සල්ලි ණයට දෙන කාණ්ඩෙත් මෙහෙම තැංපතු ගන්නවා. මට මතකයි එහෙම පොරක් හිටියා වතු කම්කරුවො තමංගෙ අර්ථ සාධක අරමුදල ආපහු ගන්නකොට ඒ සල්ලිවලිං ඉස්තීරම තැංපතු දාගත්ත. මයෙ හිතේ මාසෙකට සීයට 3 ක් විතර ගෙවන පොරොංදුව පිට. පස්සෙ මක්කා වුනාදනං දන්නෑ.


ඉතිං, තව කරුණු කාරණා දැනගංට ඕන්නං පහලිං කොටල අහංටකො මයෙ අප්පලා. එහෙනං මං ගොහිං එඤ්ඤංකො ඈ...