Monday, September 29, 2014

සල්ලි දෙයියන්ගේ මල්ලිනම් ලක්ෂ්මි කවුද? (6-අවසාන කොටස) Brother of God and Goddess Lakshmi (6-Final Episode)

ධනයට අධිපති
මිත්‍රවරුනි, 
මේ සැප්තැම්බොර මාසය තිස්සෙ පෝස්ටු 6 ක් දක්වා ඇදගෙන ආපු මේ සල්ලි කේස් එක අහවර කොරන්ට තමා මගේ බලාපොරොත්තුව. මේක හිතුවට වඩා කොරගෙන යන්ට උනත් මේකෙන් ඔක්කොම කවර් කොරන්ට බොහොම අමාරු බව තමුන්නාන්සෙලාට අමුතුවෙන් මතක් කොරාන්ට ඕනි නෑ. ඒ නිසා අපි යමක් කමක් පමණක් ඉගෙනගෙන අලුත් මාත්තුරුකාවකට මාරු වෙන්ට හිතන්ට ඕනි.

මෙන්න පරණ එව්වා....එක, දෙක, තුන, හතරපහ

අපි පළවෙනි පෝස්ටුවේදිම කතා කොලානොවැ අපේ රටේ දැන් භාවිතාවෙන කාසි ගැන. එයිට කලින් හිටපු එංගලන්ත මහ රජ්ජුරුවො වෙච්ච හයවෙනි ජෝර්ජ් රජ්ජුරුවන්ගෙ රූපය ගත්තු 1958 දි අච්චු ගහපු ශත පහේ කාසිය ඔන්න මුලිංම දැම්මා. 1936-1952 කාලය තුල එංගලංතෙ පාලනය කල මුන්නැහැ බොහොම සබකෝලෙන් හිටි රජෙක් විදිහටයි පොරසිද්ද. 2010 අවුරුද්දෙ ඔස්කාර් සම්මාන 4 ක් සමග හොඳම චිත්‍රපටිය වුනු The King's Speech කතාව ගෙතිලා තියෙන්නේ මුන්නැහැගෙ ඔය සබකොලෙ වටේ තමා, ආයිබොවන්ඩ. උන්නැහැගේ දෝනියන්දෑ වෙච්ච 1952 ඔටුනු පළන් දෙවන එළිසබෙත් රැජිනගෙ රූපය ගත්තු 1957 දි අච්චු ගහපු ශත දෙකේ කාසිය තමා ඔය බැබලි බැබලි තියෙන්නෙ ඊට පහලින්. මේ බීක්කු (Scalloped) හැඩය ශත දෙක සහ ශත දහය යන කාසිවල දකින්න හැකියි. නිකම්ම නිකං රවුං කාසිවලට වඩා මේ මල් මල් සත දහයට ඉස්සර පුංචි එවුං හරි ආසයි. ඒ වගෙම හතරැස් සත පහට පස්සෙ රවුං සත පහක් ආයි ආපු බවට සාක්කියක් මේ.

ශත පහ 1958 හයවන ජෝර්ජ් රජු
ශත දෙක 1957 දෙවන එළිසබෙත් රැජින
 එතනින් තව පස්සට යනකොට 1951 ගහපු මෙන්න මේ පහල තියෙන සත දෙකේ ඉන්නෙත් අර රජාම තමා. ඉස්සර ඔබ ශත දහයෙ, දෙකේ හැඩේට ලොසිංජර ජාතියකුත් තිබ්බා මතකයි.
ශත දෙක 1951 හයවන ජෝර්ජ් රජු
ඔතනිනුත් තව ටිකක් රිවස් කලාම 1944 දි ගහලා තියෙනවා මෙන්න මේ ශත දහයත් පහත් ජෝර්ජ් රජ්ජුරුවො එක්කම. ඔය සත පහ වගේ මූණ කියලා කියමනක් එන්න හේතුවත් මේ පහල තියෙන හතරැස් සතපහම තමා. 

ශත දහය 1944 හයවන ජෝර්ජ් රජු

ශත පහ 1944 හයවන ජෝර්ජ් රජු
1937 හා 1926 දි පුරුදු හයවෙනි ජෝර්ජ් උන්නාන්සෙ එක්කම අපිට මුණ ගැහුණා ශත බාගේ දුර්ලභ කාසියක්. බලංටකො ඒකෙත් හැටි.

ශත 1/2 (බාගෙ) 1937 හයවන ජෝර්ජ් රජු
හයවෙනි එක්කෙනාගෙත් අප්පුච්චා වෙච්ච පස්වෙනි එක්කෙනා 1927 වගෙම 1926 ගහපු මෙන්න මේ ශත දහයේ කාසියෙ දැක්කැකි. උන්නැහැ 1910-1936 කාලයේ තමා රජ කොලේ. 
ඊට පස්සෙ තමා මේ රවුං දහය වෙනුවට මල් සත දහය ආවේ.  

ශත 10 1927 පස්වන ජෝර්ජ් රජු
මෙන්න අර මූණ. හැබැයි තඹ මූණ නෙමෙයි සුදු මූණ. අවුරුද්ද 1926. රජා ජෝර්ජ් -5. 

ශත පහ 1926 පස්වන ජෝර්ජ් රජු
මේං පලාන්ඩප්ප මූණ අනික්පැත්ත හරෝගෙන 5වන ජෝර්ජ් උත්තමය 1910 ගහපු මේ රවුං සත දහයෙ රවං ඉන්න හැටි.  
ශත දහය 1910 පස්වන ජෝර්ජ් රජු
අඩේඅප්පා 1902 වගේ කාලෙත් සත පනහ තිබිල එහෙනං. 1901 ඉඳං 1910දි සුවර්ගස්ත වෙනකංම එංගලන්තුවත් අපිවත් පාලනය කොරාපු හත් වන එඩ්වඩ් රජ්ජුරුවො තමා මේ. 

ශත පණහ 1902 හත්වන එඩ්වඩ් රජු

කවුරුත් අහලා තියෙන 1837 ඉඳලා 1901 වෙනකං අවුරුදු 64 ක් (අවුරුදු ඈ...අර අනික්වා 64 තිබ්බ වගක් මූණ දැක්කමනං පේන්නෑ...) බ්‍රිතාන්‍ය අධිරාජිනිය වුනු වික්ටෝරියා මහ රැජින තමා 1900 ගහපු මේං මේ සත දහයෙ ඉන්නෙ. මහ රැජිනකටත් ගිය කල අම්මපා.

ශත දහය 1900 වික්ටෝරියා රැජින
ඊට හපං මේ...ශත කාලටම 1901 බැහැලා 
ශත 1/4 (කාල) 1901 වික්ටෝරියා රැජින
මෙන්න 1870 ආපු සතය හා සත පහ අර උත්තමාවිය එක්කම. වික්ටෝරියානු කාසි ඔච්චරයි පුතේ හොයාගන්ට ඇහැක් වුනේ මගේ අනික් වැඩ අතරෙ. තව නැතුවා කියනවා හෙම නෙමෙයි ඈ...

සතය 1970 වික්ටෝරියා රැජින

ශත පහ 1870 වික්ටෝරියා රැජින
මේ කාලෙ රට පාලනය කොරපු ඉංග්‍රීසීන් ලංකා රුපියල් කාල, බාගෙ වගේ කාසිවලට වඩා භාවිතා කලේ ෆාර්දින් (Farthing), පනම (Fanama) සහ රික්ස් ඩොලර් (Rix Dollar) යන කාසිත් ඉන්දියානු රුපියල. ඔන්න අනු පිළිවෙලටම දාල ඇති පටලෝගන්නවා හෙම නෙමෙයි.

ෆාර්දින් කාසි 1842 වික්ටෝරියා රැජින
පනම් පහ සහ දෙකහමාර 

රික්ස් ඩොලරය 1821 හතරවන ජෝර්ජ් රජු
මේ පහල රූපෙ ඉන්නෙ 4 වෙනි විළියම් රජතුමා ඉංග්‍රීසි දේසේ. හොඳට බලන්න පෙරදිග ඉන්දියා සමාගම කියලාත් වසර 1935 කියලාත් තියෙනවානෙ. මේ සමාගම එක්ක අපිට ඓතිහාසික ගණුදෙනුවක් තියෙනවානෙ ඉතිං. 
ඉංදියානු රුපියල් කාල
මේ මක්කැයි එතකොට මේ තියෙන්නේ? මේ තමා ක්‍රෙඩිට් බ්‍රීවන් (Kredit Brieven) හෙවත් කැස් නෝටන්(Kas- nooten) ලෙස නම් කල ලංකාවේ මුල්ම මුදල් නෝට්ටුව. මේක ඕලන්දක්කාරයො තමා අපිට හඳුන්වාල දීලි තියෙන්නෙ. 


පළමු නෝට්ටුව
ඔවුන් රට පාලනය කල කාලෙ රික්ස් ඩොලර් වගේම දොයිතු (Duits), තුට්ටු (Stuivers) යන කාසිත් සීලන්ත කාසි (Zeelandia) කියාල ජාතියකුත් තිබ්බා. හැබැයි මේ තුට්ටු, පනම, සල්ලිය කියන වචන සහ කාසි මහනුවර රාජධානි කාලෙ ඉඳං තියෙන බවයි පේන්නේ.
දොයිතු
 තඹ දොයිතුවක් නෑ අතේ කිව්වලු.
තුට්ටු
 ඕකානං තුට්ටුවකට වටින්නේ නෑ කිව්වලු.

සීලන්ත කාසි
මෙකුත් කිව්වෙ නැතිලු...!!!
පුරුතුගීසි කාලෙ තිබිලා තියෙනවා මලක්කා සහ තංගම කියලා කාසි වර්ග දෙකක්. ගිනි මස්ස කියාල එකකුත් තිබ්බලු.
මලක්කා

තංගම
පහල බලාන්ට... මේ රූප මාල පෙතිවල එහෙම දැකලා ඇති. මේ තමා කහවණු. බුද්ධ කලෙ, රජ කාලෙ ඉඳං එන වචනයක්නෙ (කාසියක්නෙ) මේක. 
කහවණු
මේ තියෙන්නේ කහපණ හෙවත් පුරාණ (Eldings). ලංකාවේ පළමුවෙන්ම හඳුනාගත් කාසි වර්ගය තමා කහපණ කියන්නේ. කහවණු භාවිතයේ තිබුණත් කහපණ අපේම ආවේණික කාසියක්.
කහපණ
මෙන්න තියෙනවා ලක්ෂ්මි ඵලක (Lakshmi Plaques). 
ලක්ෂ්මි ඵලක
කහපණ හදන්ට යොදාගත්තු ශිල්පයෙන්ම සෘජුකොණාශ්‍රාකාර තහඩු තීරු කපලා තමයි මේවා හදාල තියෙන්නෙ. මේ ලිපි පෙල ආරම්භයේ ඉඳං මුදුනේ වැජඹුණු ලක්ෂ්මියගේ රුව මේ තහඩුවල දකින්න පුලුවන්. එතකොට ලක්ෂ්මි තමයි බැලුවාම ඉස්සරෝම කාසියකට ගිය කාන්තා රත්නය. ඉතිං එයාව ධනයට අධිපති කොරගත්තට මක්ක වෙනවැයි. 

මේ සේරෝම කාසි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් කෞතුකාගාරෙ දි බලා කියාගන්ට ඇහැකි. 

මම ඉදිරිපත් කලේ අතලොස්සක් වූ මුදල් නෝට්ටු හා කාසි පමණයි. එකම දේ දිගටම ලියන එකත් කියවන එකත් නීරස නිසා අපි මේ සල්ලි කේස් එක අහවර කොරමු එහෙනං. වැරදි ඇතොත් දන්නංට, වහා නිවැරදි කොරඤඤං. 

මේ ලිපි පෙලට පිංතූරු හොයංට බොහොමයක් වෙබ් අඩවි වලට රිංගංට උනා. ඒ අඩවි නිර්මාණය කල හැමෝටම පොදුවේ බොහෝම, බොහෝම ස්තුති කරංට ඕනෑ...නම් වශයෙන්, සබැඳි වශයෙන් දැම්මොත් පෝස්ටුවට වඩා දික්වන නිසා දාන්ට අමාරුයි. 

අහවර කොරංට කලිං මං ලමයිංගෙං පුරස්නයක් දෙකක් අහන්නං...දැනුම පරීක්සා කොරන්ට වගේම නොදන්නා අයට දැනගන්ට.
  1. ලංකාවේ වැඩිපුරෝම අතිං අත යන දෙක මොනවාද? (නෝට්ටු දෙක ඈ...)
  2. හොඳින් සංසරණය වෙන සාමාන්‍ය නෝට්ටුවක ආයුකාලය මාස කීයද? (පොඩි උදව්වක් කරඤඤං. පොඩි නෝට්ටු ඉක්මනට වියැකෙනවා. මට කියන්නකො රු.10 සහ රු.1000 නෝට්ටු දෙකේ ආයු කාලෙ ආසන්න මාස 10 ටවත්)
  3. කාසියක සාමාන්‍ය ආයු කාලය කොච්චරද?

අලුත් මාත්තුරුකාවකිං ආයි හම්බවෙනකං හැමෝටම ආයිබෝං කිව්ව එහෙනං ඈ....

17 comments:

  1. එහෙනම් මේවා කියල දුන්නට තැන්ක්යූ ඈ..

    ReplyDelete
    Replies
    1. මගෙ පුරස්න ඔලට උත්තර කෝ ලමයා...?

      Delete
  2. අර පළවෙනි නෝට්ටුව කිව්වේ ඒක පොරොන්දු නෝට්ටුවක් නෙමෙයිද??

    තව එකක්. මොකද බං මේ යක්කු හැම කාසියෙම රජ පරම්පරාව එම්බෝස් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. 1. ඉතිං හරිනෙ ගුරු. පළවෙනි කඩදාසි මුදල් නෝට්ටුව තමා ඔය. මේක කියවන්ටකො.
      //Bank note is frequently referred to as a promissory note: a promissory note made by a bank and payable to bearer on demand.// (Wiki)
      2. එදත් එහෙම වුණා. අදත් එහෙම වෙනවා. බොලාගෙ අපේ මූණත්තහඩු ගහන්ටෑ ඉතිං...හැක්...හැක්...

      Delete
  3. 1. කාසි සහ නෝට්ටු
    2. මාස 6 යි අවුරුද්දයි
    3. අවුරුදු විස්සයි

    ReplyDelete
    Replies
    1. 1. හූ...හූ... මං අහන්නෙ නෝට්ටු දෙක මොනවාද?
      2. ඔය කියන්නේ දේශා පාවිච්චි කරන වෙන වෙන දේවල් :D
      3. ටිකක් කිට්ටුයි.

      Delete
  4. ඔය සතපහ, පස්සෙ හැට හැත්තෙවෙ රාජ්‍ය ලාංඡන දෙක එක්කත් ආව. ඔතන තීන කාසි ගොඩක් මං ගාවත් තීනව. අපේ තාත්තගෙන් ලද දෑවැද්දක් තමා.

    1805 විතර සිංහල රජ්ජුරුවො වෙනුවට මලබාරියෙක් රජකරන්න සුද්දො ට්‍රයි කරන කාලෙ කාසි හිඟයක් ඇවිත් සුද්දො පන්සල් කෝවිල් වල තිබ්බ පිත්තල උණු කරල කාසි හදවන්න දුන්නලු රන්කරුවොන්ට. ටික දවසකින් වැඩේ නැවතුනාලු, රන්කරුවො සෙට් එකට පිස්සු හැදුන නිසා.

    මේක කට කතාවක් නෙමෙයි, ඒකාලෙ ලියුම් කියුම් ඇසුරෙන් ත්‍රීසිංහල කියන පොත ලියාපු පෝල් ඊ පීරිස් දැරණියගල උන්නැහේ ලියල තියෙන්නෙ.

    උඹෙ මේ ලිපියටත්, ඒක අපට දන්නාපු අටමටත් බෝම ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සිංහයෝ...ග්ර්ර්ර්ර්ර්..........(සිංහලකමටම නෙමෙයි...මං ආසකරන සතෙක්, ලස්සන නිසා)
      හෙළිදරව්වට බොහොම ස්තුතියි, ඉන්දික!!! දැනුම කියන්නෙ සාගරයක්. ගන්නත් ආපහු කාටහරි දෙන්නත් ඇහැකි බොහොම පොඩ්ඩයි. ඒ ටිකවත් දෙමු.

      Delete
  5. ඔය කාසි භෝමයක් මා ගාවත් තියෙනවා, කාලය නිශ්චිතවම කිව නොහැකි කාසි දෙකකින් පටන් ගන්න අතීත කාසි එකතුව (හරියටම ඔය කහවනු ටයිප් එකේ ඒවා) සීයාගෙන් හම්බ උනේ සීයාත් ඇන්ටික් කලෙක්ටර් කෙනෙක්, (සීයා ගැන වෙනම පොස්ට් එකක් දාන්න ඕනා), ඊළඟට පරණම කාසිය මා ළඟ තියෙන VOC එකක් 1742 ගහපු, එතන ඉඳන් ඔය කාසි බොහොමයක් මා ළඟ තියෙනවා අරෙහෙන් මෙහෙන් හම්බ වෙච්ච.

    හරි ඔය voc කාසිය මට හම්බ උනේ ඇත්තටම අපේ ගමේ පවුලේ සුසන භුමියේ ආත්තම්මා නැති වෙලා එයාගේ වල කපද්දී, ඒ කපන තැන තිබිලා, එක අනිත් මනුස්සයි කිව්වේ කණ කාසියක් ගන්න එපා කියලා, මන්දා මම උස්සන් ආවා. කිසි අවුලක් නැහැ.

    ඊළඟට සතේ කාසි ටික ගත්තම 1912, 1926, 1943 වර්ෂ වල ඒවා එතකොට සත 50 1945 එකක්,

    මගේ කාසි එකතුවේ ලස්සනම කාසිය 1957 බුද්ධ ජයන්ති රුපියල් පහ.තව රට රටවල කාසිත් තියෙනවා. :D

    මේ ලිපි වලට ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් දැනගත්තා, පුලුවන්නම් කාසි හරි විදියට සංරක්ෂණය කරන හැටි ලිපියක් ලියන්න බැරිද? ඒ ගැන දන්නවානම්,

    මොකද මම දැක්ක යු බටයේ තඹ කාසි වල කොපර් ඔක්සයිඩ් එක යවන හරි දැකලා තනි ඇහැට ඇඩුනා, මොකද ඒ ඔලිව් ඔයිල් බාජනෙකට දාලා රත් කරලා එකට කාසිය දාලා බදිනවා වගේ වැඩක්. අම්මෝ හැබැයි එකේ කමෙන්ට් කරපු මනුස්සයෙක් මේ දේ කරන්න එපා මම වැඳලා කියන්නම් කියලා දාල තිබුනා, පොරටත් ඇඩිලා එක දැකලා

    ආයෙත් මේකට ගොඩක් තැන්කු

    ReplyDelete
    Replies
    1. මෙතන මග හැරුණු ඒවාවත් පෝස්ට් එකකිං දාන්ට ට්‍රයිකොරන්ටකො. ඇගයීමට ස්තුතියි!
      මෙන්න මේක බලන්ට.
      http://www.metaldetectingworld.com/cleaning_preservation_coin.shtml

      Delete
  6. Standard chartered Bank එකේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මට call එකක් දෙන්න උපදෙසක් අවශ්‍යයි.
    0779751111

    ReplyDelete
  7. ඔය කාසිවල අනිත් ඒවට වඩා මොකක් හරි පෞරාණික වටිනාකමක් තියෙනවද? මොකද මං අහල තියෙනවා පහුගිය දවස් වල මේ කාසි ලක්ෂ ගනන් වලට ගත්තා කියලා. ඒක ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය VOC කාසිවල අනිත් ඒවට වඩා මොකක් හරි පෞරාණික වටිනාකමක් තියෙනවද? මොකද මං අහල තියෙනවා පහුගිය දවස් වල මේ කාසි ලක්ෂ ගනන් වලට ගත්තා කියලා. ඒක ඇත්තක්ද?

      Delete
    2. අනාගතයේ ඇතිවියහැකි වැඩි ඉල්ලුම හා ඒ නිසා වැඩිවන මිල, මෝස්තරයේ දුර්ලභ බව හා/හෝ විසිතුරු බව, අභියෝගය, අධ්‍යාපනික වටිනාකම, රන් රිදී වැනි ලෝහමය ද්‍රව්‍ය වටිනාකම හා දුර්ලභබව, දරුවන්ට උරුම කිරීම සහ හුදු විනෝදාංශයක් ලෙස යන කරුණු මත මේවාට වටිනාකමක් ලැබෙන බවයි අපි වගේ ප්‍රබුද්දයො හිතන්නෙ. පුහ්.....
      වී.ඕ.සී. කේස් එකනං හොයන්ට වටින වැඩක්. බලමු අපේ යාලුවො හොයයිද කියලා. මාත් හොයඤ්ඤා...

      Delete
  8. සමහර කාසි අපේ වයිපරේගේ අම්මා ලග එකතු කරලා තියනවා දැන් හිතෙනවා ඒවාගේ වටිනාකමක් තියනවා කියලා.
    හැමදාමත් වගේ එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් කේස් එක හරිද?

      Delete