Friday, September 5, 2014

ඒ මෝරා සහ අනෙක් මෝරු - JAWS


හැමදාම විෂයය කරුණුම කතාකරලා බෑනේ... අද චිත්‍රපටයක් බලමු.
1916 දී ඇමෙරිකාවේ ජර්සි වෙරලාසන්න මුහුදු තීරයේදී දින 12 ක් තුල මිනිස් ජීවිත 4 ක් බිලිගත් මිනීමරු යෝධ සුදු මෝරෙකු පිළිබඳ ප්‍රවෘත්තිය ඇසුරෙන් පීටර් බෙන්ච්ලි රචනා කල Jaws නම් නවකතාව 1975 දී කීර්තිධර සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් විසින් එම නමින්ම විශිෂ්ඨ සිනමා කෘතියක් ලෙස එළිදක්වනවා. මෙය 1975 තෙක් නිපදවූ චිත්‍රපට අතරින් ඉහලම ආදායම් වාර්තා තබනවා පමණක් නොව හොඳම පසුබිම් තේමා සංගීතය හා සංස්කරණය ඇතුලුව ඔස්කාර් සම්මාන 3 ක් දිනාගන්නවා. 

මෙම සිනමා කෘතිය ගැන කතා කලයුත්තේ ඇයි? එය එදා මෙදා සිනමා රසිකයින්ගේ සිත් කෙතරම් තදින් 
ඇද බැඳගෙන ඇතිද යත් Star Wars හැරුණු විට ක්ෂණිකව දෙවන වරටත් බලන්නට පෙළඹෙන චිත්‍රපටය ලෙස සැලකෙනවා. අදටත් වෙළඳපොල තුල මේ චිත්‍රපටය ජීවත් වෙනවා. උදාහරණයක් ලෙස කාන්තාවන් හිස පළඳන මේ ජනප්‍රිය කොණ්ඩ කටුව වෙළඳපොලට ඒමට හේතුවත් මේ චිත්‍රපටයයි. එසේම එය තිරගතවී දශක 4 ක් පමණ ඉක්මගොස් ඇතත් අදත් නොගැඹුරු මුහුදේ දියනෑමට බිය පිරිසක් මෙය මගින් බිහිකර තිබෙනවා. එපමණක්ද? මෝරුන් පිළිබඳ එතෙක් නොතිබුණු උනන්දුවකින් මිනිසා පුලුල් ගවේෂණ කරන්න ගත්තෙත් මේ සිනමා කෘතියට පසුව. තාක්ෂණය අද තරම් කිසිසේත් නොදියුණු යුගයක පරිගණක දෘශ්‍ය ප්‍රයෝග නොතිබුණු යුගයක ස්පීල්බර්ග් නම් විශ්වකර්මයා මෙය නිපදවන ලද්දේ. අදත් Discovery, NatGeo නිපදවන වාර්තා චිත්‍රපටවල හා වෙනත් සිනමා කෘති රැසක මෝරෙකුගේ ලඟාවීමේ දර්ශන අඟවන්නේ මෙම චිත්‍රපටයේ පසුබිම් තේමා වාදනයමයි. Horror හෙවත් භයංකර තේමා රැගත් සිනමා කාණ්ඩය (Genre) එතරම් නුපුරුදු එදා සිනමා රසිකයා මෙම සිනමා කෘතියෙන් විශ්මයට හා කම්පනයට පත්වුණා. අදටත් නිපදවෙන බාල ගණයේ නොව සාමාන්‍ය ගණයේ වුව භයංකර රසය ගෙනෙන හොලිවුඩ් චිත්‍රපට වලට වඩා Jaws සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙන්. චිත්‍රපටය ලැබූ සාර්ථකත්වය හා ඉහල 

ප්‍රේක්ෂක ප්‍රතිචාරය දුටු වෙනත් සිනමාකරුවන් 1978, 1983 හා 1987 යන වසර වල පිළිවෙලින් Jaws-2, Jaws-3 (3D) හා Jaws-4 The Revenge යන අනුගාමී සිනමා කෘති නිපදවූවද ඒ එකක්වත් මුල් නිර්මාණය අහලකවත් තබන්නට හැකි වුණේ නැහැ. එයින් පසු මිනී මෝරුන් ප්‍රධාන චරිතය නිරූපනය කල චිත්‍රපට රැසක් බිහිවුණත් යන්තම් හෝ සාර්ථක යැයි කිව හැක්කේ 1999 දී තිරගත වූ Deep Blue Sea පමණයි.

කතා වස්තුව කෙටියෙන් 
(මෙයට පාදක නවකතාව Sherlock Holmes කතා එකතුව ගෙන ආ චන්දන මෙන්ඩිස් මහතා විසින් මෝරා නමින් සිංහලට නගා ඇත).
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරලේ ඇමිටි නම් කුඩා නගරයක සංචාරක වෙරලකදී රාත්‍රියේ මුහුදේ දිය නාන ක්‍රිස්ටීන් වොට්කින්ස් නම් තරුණියක් නොපෙනෙනා බලයක් විසින් අඳුරේම දිය යටට ඇදගනු ලබනවා. පසුදා උදෑසන මෙම නගරයේ පොලිස් ප්‍රධානියා වන මාටින් බෘෘඩි (රෝයි ෂයිල්ඩර්) වෙත ලැබෙනවා තරුණියක මුහුදු වෙරලේදී අතුරුදන් වීමක් ගැන පැමිණිල්ල. පොලිස් පරීක්ෂණයේදී තරුණියගේ අඩක් කා දමා ඇති ඌර්ධව කාය වෙරලට ගොඩ ගසා තිබියදී හමුවනවා. 

මෙය මිනීකන මෝරෙකුගේ පහරදීමක් බව මරණ පරීක්ෂණයේදී තහවරුවීමෙන් පසු බෘෘඩි විසින් ඇමිටි වෙරල සංචාරකයන් සඳහා වසා දමනවා. නමුත් නගරාධිපති ලැරී වෝන් (මරේ හැමිල්ටන්) සහ ව්‍යාපාරිකයන් කැමති නැහැ එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී සංචාරකයන්ගේ පැමිණීම නවතිනවාට. ඔවුන්ගේ බලකිරීම මත වෙරල විවෘත වෙනවා. මරණ සහතිකය බෝට්ටු අනතුරක් ලෙස සංශෝධනය වෙනවා (ඇමෙරිකාවෙ එහෙම වෙනවා). නමුත් පොලිස් ප්‍රධානී බෘෘඩි වෙරලෙහි රැඳෙමින් සංචාරකයන්ගේ ජීවිතවලට කොයි මොහොතේ හෝ එල්ලවිය හැකි අනතුරක් ගැන සෙවිල්ලෙන් පසුවෙනවා. විශාල පිරිසක් වෙරලේ
හා නොගැඹුරු දියේ ක්‍රීඩා කරද්දී ටියුබයක පාවෙමින් සිටින දරුවෙකු මෝරා විසින් ඩැහැගන්නවා. (මෙන්න මේ සිද්ධියේදී මාටින් බෘඩිගේ ප්‍රතිචාරය Vertigo Shot (Zoom in -Track Out) නම් අපූරු කැමරා චලනයකින් පෙන්වනවා, ඉතා සිත්ගන්නා සුලුයි.) ඉතිං නැවතත් වෙරල වැහෙනවා.

පසුව මෙම දරුවාගේ මව ප්‍රසිද්ධ නිවේදනයක් කරනවා මෝරා මරා දමන්නෙකුට ඩොලර් 3000 ක ත්‍යාගයක් දෙන බවට. පළපුරුදු ධීවරයෙකු වන ක්වින්ට් (රොබට් ෂෝ) ඩොලර් 10000 ක් සඳහා කේවල් කරනවා. අනෙක් ධීවරයන් නොගැඹුරු මුහුද පීරමින් මෝරා හොයනවා. ඒ අතර සාගර ජීව විද්‍යාඥයෙකු වන මැතිව් හූපර් (රිචර්ඩ් ඩ්‍රිෆස්) විසින් ක්‍රිස්ටින්ගේ ශරීර කොටස් පිරික්සා මෙය මෝරෙකුගේ පහර දීමක් බව තහවුරු කරනවා. බෘෘඩි සහ හූපර් රාත්‍රී මුහුදු සංචාරයක යෙදෙමින් කල පරීක්ෂාවකදී මෝරාට බිලිවූ ධීවරයෙකුගේ හිස කොටස සහ ඔහුගේ බෝට්ටුවේ බඳෙහි ඇමිණුනු මෝර දතක් සොයාගන්නවා.

ධීවරයන් පිරිසක් කොටි මෝරෙකු දඩයම් කර කොන්ත්‍රාත්තුව අවසන් කලත් හූපර් විසින් පළමු දඩයමේ තුවාල අනුව ඉලක්කය විය යුත්තේ යෝධ සුදු මෝරකු මිස කොටි මෝරෙකු නොවනබව තරයේම කියා සිටිනවා. කෙසේ වෙතත් මැරුණු කොටි මෝරා නැවත වෙරල අරිනවා. 

ඇමෙරිකානු නිදහස් දින ඇමිටි වෙරලට විශාල සංචාරක පිරිසක්
පැමිණෙනවා. එහි ගං මෝයේදී මෝරා තවත් මිනිසෙක් මරා දමනවා. මාටින් බෘෘඩිගේ ලොකු පුතා වන මයිකල් පණ බේරාගන්නේ දශමෙන්. එහෙත් මෝරා සියැසින් දැක ඔහු සිහිසුන් වනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බෘෘඩි නගරාධිපති වෝන් ව ක්වින්ට් හට ඩොලර් 10000 කට මෝරා මැරීමේ කොන්ත්‍රාත්තුව භාර දීමට පොළඹවාගන්නවා. 

ක්වින්ට් සමග සමග ඔහුගේ ඕර්කා නම් බෝට්ටුවෙන් දඩයමට යාමට බෘෘඩි සහ හූපර් ද එකතු වෙනවා. ඔවුන්ගේ උපාය මාලු කැබලි හා ලේ මුහුදට දමා මෝරා ගෙන්වා ගැනීම. ක්වින්ට් විසින් මුහුදට දමන ඇමක් ගිලින එහෙත් නොපෙනෙන මෝරා යොත කඩාගෙන යනවා. අවසානයේ බෘෘඩි අසලින්ම චිත්‍රපටයේ ධාවන කාලයෙන් පැයකට පමණ පසු පළමු වතාවට මෝරා විවෘත වේදිකාවට පැමිණෙනවා. අඩි 25 ක් දිග සහ ටොන් 3 ක් බර බවට ක්වින්ට් මේ සතාගේ ප්‍රමාණය අනුමාන කරනවා. එතැන් සිට කඹ වලින් බැරල් වලට ගැටගැසූ හාපූන් වලින් මෝරාට පහර දී උෟ දිය මතුපිට රඳවා ගන්නට ක්වින්ට් සහ පිරිස උත්සාහ කලත් බැරල් සියල්ල ඇදගෙන ඌ දිය යට ගොස් නොපෙනී යනවා. මෙයින් පෙන්වන්නේ උගේ ශක්තිය.

රාත්‍රියේ මෝරා බෝට්ටුවට පහර දෙනවා. එය ගිලී යා නොදී රැකගැනීමට අපේ වීරයෝ තිදෙනා මහත් උත්සාහයක් ගන්නවා. අවසානයේ මෝරා බෝට්ටුව පසුපස ලුහුබඳිනවා. ක්වින්ට් අනෙක් දෙදෙනාගේ මතයට එරෙහිව යමින් බෝට්ටුව පදවාගෙනයනවා ඉන්ධන අවසන් වන තුරුත්. අවසානයේ බෝට්ටුව අක්‍රිය වෙනවා. 

මෙන්න මෙතැනදී හූපර් තමන් මුලදී බෝට්ටුවට පටවාගත් ඇලුමිනියම්
කූඩුවක් තුල මුහුදු පතුලට යනවා, ස්ට්‍රිච්නයින් නම් උග්‍ර විෂක් මෝරාට එන්නත් කර ඌ මරා දැමීම සඳහා. අවාසනාවකට මෝරා ඊට පෙර කූඩුවට පහර දී විනාශ කරන මුත් හූපර් මුහුදු පත්ලේ ගල් අතර සැඟවෙනවා. 

මෝරාගේ ඊ ළඟ ඉලක්කය වන්නේ බෝට්ටුව. ඌ බෝට්ටුවට කඩා වදිනවා, ක්වින්ට්ව ගොදුරු කර ගන්නවා. ගිලෙන බෝට්ටුවේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් බෘෘඩි විසින් මෝරාගේ කටට වීසිකරනවා. කුඹ ගස මතට නගින ඔහු ක්වින්ට්ගේ රයිපලයෙන් ඔක්සිජන් සිලින්ඩරයට වෙඩිතබා මෝරාද සමග පුපුරුවා හරිනවා. ඔහු සහ දිය මතට එන හූපර් වෙරල බලා පීනා යනවා. සමාප්තයි!!!

නවකතාවට එරෙහිව චිත්‍රපටය
දැන් කතා සාරාංශය දන්නවානේ. මෙයට පාදක වූ නවකාතාව සිනමාවට නැගෙන්නේ කැපී පෙනෙන වෙනස්කම් කීපයක් ඇතිව. ප්‍රධානම වෙනස්කම තමා නවකතාව අනුව මුහුදු පතුලට යන හූපර් මෝරාට ගොදුරුවීම හා චිත්‍රපටයේදී ඔහු මරණයෙන් බේරීම. දෙවැන්න මෝරා විනාශ වන ආකාරය. නවකතාව අනුව ඌ ක්වින්ට් විසින් එල්ල කල හාපූන් පහර ගණනාවකින් ලේ වහනය නිසායි මිය යන්නේ. තෙවැන්න නම් නවකතාව අනුව ක්වින්ට් මියයන්නේ මෝරා මිය යමින් දියේ ගිලෙද්දී උගේ ඇඟේ ඇමිණුනු හාපූනයකට ගැටගැසූ කඹයක් කකුලේ පැටලී එය ගලවාගැනීමට නොහැකිව දියේ ගිලීමෙන් වුවත් චිත්‍රපටයේ ඔහු මියයන්නේ සෘජුවම මෝරාට ගොදුරැ වීමෙන්. තවත් එකක්. හොහ්... හොහ්... මුල් නවකතාව අනුව බෘෘඩිගේ බිරිඳ එලන් බෘෘඩි සහ හූපර් අතර
අනියම් සම්බන්ධතාවක් ගොඩනැගී ඔවුන් නගරයෙන් බැහැර තානායමකදී එක් වෙනවා. මෙය චන්දන මෙන්ඩිස් මහතාගේ පරිවර්තනයේ හෝ චිත්‍රපටයේදී දක්නට ලැබෙන්නේ නෑ. එක අතකට ඒකත් හොඳයි. නැතිනම් මෙහි ප්‍රධාන චරිතය හා වීරයා වන මාටින් බෘෘඩි ගේ භූමිකාවට චිත්‍රපටය පුරා වැටෙන ආලෝකයට යම් අඩුවක් වෙනවා. නවකතාවේ අවසාන දඩයම සිදුවන්නේ පිට පිට දින 3 ක් මුහුදු යාම හා ආපසු ඒම ලෙස. චිත්‍රපටයේදී ඔවුන් එක් දහවලක් හා රැයක් පමණයි මුහුදේ ගතකරන්නේ. තවත් සුලු වෙනස්කම් කීපයක්ම දැකිය හැකියි. 

තිරය පිටුපස
මෙම සිනමා කෘතියට ආලෝකය ගෙන ආ වෙනත් නවකතා ලෙස The
Old Man & the Sea, Mobidick හඳුන්වා දී තිබෙනවා විවිධ විචාරයන් වල. ඔබට ඉතා සුලු දර්ශන කීපයක හැර සෑම විටම දක්නට ලැබෙන්නේ පැති 3 කින් කැමරාගත කිරීමට සැකසූ යාන්ත්‍රික මෝරුන් 3 දෙනෙක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක් සම්ප්‍රදාය (the less you see the more you get thriller) අනුව යමින් කතාවේ සෑහෙන ප්‍රමාණයක් ගතවන තුරු ප්‍රධාන සතුරා වන මෝරා සම්පූරණයෙන් පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට සංගීතය හා කැමරා කෝණය (first person (shark?) point of view) මගින් සතුරාගේ එළැඹීම සිත් ලොමු ඩැහැ ගන්වන අයුරින් පෙන්වනවා. මෝරාගේ පෘෂ්ඨීය වරල පමණක් ඇතැම් විට පෙන්වනවා.
ජෝන් විලියම්ස් ගේ සම්මානීනය තේමා වාදනය මෙම චිත්‍රපටයට ගෙන එන්නේ මහත් ආලෝකයක්. එය ක්‍රමයෙන් වේගවත් වන ස්වර දෙකක (c, g) සරල යෙදුමක්. අදටත් එය ජනප්‍රිය තේමාවක් ලෙස ඔබ අසා ඇති. 
උද්වේගකර දර්ශන වන මිනිසුන් මෝරා විසින් ඩැහැගන්නා ආකාරයන් ඉතා අපූරුවට කැමරාවට නගා ඇති අතර ක්වින්ට්ගේ අවසාන දර්ශනයත් වෙනස්ම භයංකර අත්දැකීමක් එක් කරන්නේ. මෝරාගේ අවසානයනම් තරමක් දුරට අතාත්විකයි. මක් නිසාද, බෘෘඩි ඔක්සිජන් ටැංකිය මුවට දමන තුරුත් පසුව ඔහු ටැංකියට ඉලක්කය ගෙන වෙඩි තබනතුරුත් ඌ කට ඇරගෙන බලා ඉන්නවා. 
නමුත්, දිය යටින් වේගයෙන් පිහිනායන නොපෙනෙන මෝරාගේ සිරුරට
කඹ වලින් ගැටගසා ඇති කහ පැහැති බැරල් දිය දෙබෑකරගෙන ගමන් ගන්නා අයුරු ඉතාම දර්ශනීයයි. එය ළමයින්ට පවා විනෝදයක් ගෙන එනවා. නොපෙනෙන යමක් සලකුණු/සංඥා මගින් ඒත්තු ගැන්වීමට ස්පීල්බර්ග් සතු හැකියාව ඉතාම අගයකලයුතුයි. ඔහුගේ Jurassic Park චිත්‍රපයේද මේ ප්‍රයෝගය මැනවින් යොදා තිබෙනවා. ඔහු, James Cameron සහ Roland Emmerich යන තිදෙනා තමයි දැවැන්ත නිර්මාණ තුලින් මගේ සිත්ගත් සිනමා කරුවන් තිදෙනා.

දෙබස්
මෙම චිත්‍රපටයේ මතක හිටින දෙබස් ගණනාවක් තිබෙනවා. ඉතාම අපූරු දෙබස් එළියට එන්නේ ක්වින්ට් ගේ මුවින්. රොබට් ෂෝ නිතර තරමක් බීමතින් සිටින කෘතහස්ත ධීවරයෙක් ලෙස නිරූපනය කරන ක්වින්ට්ගේ චරිතය තමා මේ චිත්‍රපටය පුරා ජීවයක් රඳවාගන්නේ. ඔහු ජපානයට හෙලූ පරමාණු බෝම්බය රැගත් Indianapolis නෞකාවේ තමන් සේවයේ යෙදී සිටියදී එම නැව ජපන් හමුදා ප්‍රහාරයකින් මුහුදුබත් වී නාවිකයින් මෝරුන්ට ගොදුරුවන අයුරු හා තමන් ජීවිතය බේරාගන්නා අයුරු ඉතාම සිත්ගන්නා දීර්ඝ විස්තරයකින් (monologue) කියනවා රාත්‍රියේදි මහ මුහුද මැද. එය නවකාතාවේ නැති අංගයක්. කියවන්න මේක “Here lies the body of Mary Lee. Died at the age of 103. For 15 years she kept her virginity. Not a bad record for this vicinity”.
ප්‍රථම වරට මෝරාව සම්පූර්ණයෙන් දැකීමෙන් කම්පනයට පත්වන බෘෘඩිගේ මුවට නැගෙන "You're gonna need a bigger boat". යන්න ලොව හොඳම සිනමා දෙබස් කණ්ඩ 100 අතරට වරක් ඇතුලත් වුණා. ඒ වගේම හූපර් ගේ “They caught A shark. Not THE shark.” සහ “I think I am familiar with the fact that you are going to ignore this problem until it swims up and bites you in the ass.” යන වදන් ඉතා ජනප්‍රියයි. 

චිත්‍රපටයේ පිරිවැය ඇ.ඩො. මිලියන 8ක්. ආදායම මිලියන 470 ක්. 

එයින්ම පෙනෙනවා එහි ජනප්‍රියතාවය කෙතරම්ද යන්න! 

මෙම සිනමා කෘතිය මුහුද ආශ්‍රිත විනෝද ක්‍රියාකාරකම් වල යෙදෙන අයට කල බලපෑම අප්‍රමාණයි. මෙන්න මේ ටිකත් කියන්න ඕනි අවසාන වශයෙන්. 

අනික් මෝරු
Chondrichthyes වර්ගයට අයත් අස්ථි රහිත කාටිලේජ මත්ස්‍යයෙක් වන මෝරා නිරන්තරයෙන් දවස පුරාම පිහිනමින් සිටින සතෙක්. මොවුන්ට සමාන අනෙක් ප්‍රසිද්ධ කාටිලේජ මත්ස්‍යයන් විශේෂය තමා මඩුවන් (Rays). විකිපීඩියා අනුව මෝරුන් මෙයින් වසර මිලියන 420 කට පමණ පෙර සිට පැවත එනවා. අඟල් 6.7 ක් දිග dwarf lanternshark කුඩාම මෝරායි. විශාලම මෝරා අඩි 39 ක් දක්වා වැඩෙන whale shark හෙවත් තල්මස් මෝරායි.
ඔවුන් ගංගා ආදී මිරිදියට ලේසියෙන් එන්නේ නැහැ. ඔවුන්ගේ දත් ඉතා තියුණුයි වගේම ඉක්මනින් අලුතින් වැඩෙනවා. වසර 20-30 ක පමණ ජීවිත කාලය තුල 30000 ක් පමණ දත් අලුතින් වැඩෙනවා. ඔවුන්ගේ ඉවත් අතිශයින් තියුණුයි. මුහුදු ජලය කොටස් දශ ලක්ෂයකට එකක් වූ රුධිරය ප්‍රමාණයක් ඔවුන් ඉවෙන් හඳුනාගන්නවා. මෝරාට ඇසිපිය ඇතත් අැස් ගහන්න බෑ. Hammer Head වැනි විශේෂ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර හා තරංග ඇසුරෙන් ගොදුරු සොයා යන බවත් කියවෙනවා. 
මෝරුන් සියල්ලන්ම පාහේ මාංශ භක්ෂකයි. එසේම ඔවුන් බොහෝවිට ආක්‍රමණශීලීයි. සාමාන්‍යයෙන් පැයට කි.මී. 8 ක පමණ වේගයෙන් පිහිනා ගියත් ගොදුරක් වෙත එමෙන් දෙගුණයක වේගයෙන්, ඇතැම් විට shortfin mako shark වැනි විශේෂ පැයට කි.මී. 50 ක පමණ වේගයෙන් කඩාවදිනවා. මෙන්න මේ මෝරා තමයි Deep Blue Sea චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ!!!
නමුත් ඔවුන් නිසා මිය යන මිනිසුන් ගණනින් වසරකට 5 කට ත් අඩුයි. එසේම මෝරුන් ගැඹුරු ශීත මුහුදේ වසන නිසා නොගැඹුරු මුහුදට පැමිණෙන්නේ ඉතා කලාතුරකින්. සියලුම මෝරුන් වර්ග 470 ක් අතරින් මිනිසාට හානිකර බවට වාර්තාවී ඇත්තේ Great White Shark, Bull Shark, Tiger Shark සහ Hammer Head Shark යන විශේෂ 4 යි. 


ඔවුන් ඉතා අපූරු හැසිරීම් රටා ඇති ජීවයේ සමතුලිතතාව සඳහා අත්‍යවශ්‍ය ජීවී විශේෂයක්. මේ නිසාම සාගර ජීව විද්‍යාඥයින්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති සතුන් කාණ්ඩයක්. කෙසේ වෙතත් ජපානය හා ඔස්ට්‍රෙලියාව වැනි රටවල් කීපයක් මෙම මෝරුන්ගේ වරල් ලබාගැනීම සඳහා ඔවුන් අල්ලා ගන්නවා. ඒ එම වරල් වලින් සාදන නූඩ්ල්ස් වැනි ආහාරයක් ඉතා ප්‍රබල
වාජීකරණ ඖෂධයක් ලෙස ඉමහත් පිළිගැනීමකට ලක්ව ඇති නිසයි. මෙසේ අල්ලා ගන්නා මෝරුන් ඉතා බරින් වැඩි නිසා වෙරලට රැගෙන ඒම වෙනුවට වරල් කපාගෙන පණපිටින් ආපසු මුහුදට දමනවා. උන් මියයන්නේ වෙනත් මසුන්ට ගොදුරුවීම හෝ දියේ ගිලීමෙන්. 2010 වසරේ ලෝක මෝර වරල් අස්වැන්න මෙ.ටො. මිලියන 1.41 ක්. හිතන්න මේ වරල් අයිති මෝරුන්ගේ සංඛ්‍යාව!!! මෝරුන් මිලියන 97 ක් බවයි කියවෙන්නේ. සමහරක් රටවල් මෙය නීතියෙන් තහනම් කර ඇතත් ව්‍යාපාරය නැගලාම යනවා.

ඉතිං චිත්‍රපටයකුත් බලලා මෝර වරල් සුප් එකකුත් බීවානේ. මෝරු පව්...

අදට මදෑ නේද? පෝස්ට් එක දික් වුනා. සොරි, ඈෑෑ.

එහෙනං විසිටරයා ගිහිං එඤ්ඤංකො...ඈෑෑ.

15 comments:

  1. ස්තුතියි විසිටරයා.. මාත් ඔය ජෝස් බලල ඒකේ කික් එකටම අනිත් ඒවත් බැලුවා. ඒත් අරක තරං ගති නැහැ තමයි.. කොණ්ඩ කටුවේ සීන් එක මොකක්ද කියල මම අදයි බං දැනගත්තේ. බොට ස්තුතියි.. මේ විස්තරයට.. එතකොට බං මොරු හතර වරිගයයිද භයානක??

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ගුරු!
      මිනිස් ජීවිත හානි වාර්තාවෙලා තියෙන්නේ ඒ හතර වරිගෙන් කියලයි කියන්නේ. mako shark ගැනත් සමහර වාර්තාවල තියෙනවා. වැඩිපුර කියන්නේ අර හතර තමා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මාත් ආව.....කියවන්න වෙලාවක් නැහැ බං .....
    ලියනවට සතුටුයි......
    පසුව මුන ගැසෙමු මචෝ.......
    ලියපං දිගටම......

    ReplyDelete
    Replies
    1. ありがとうございます
      ආයි එන්න බොක්කා...

      Delete
  4. ජොස් ෆිල්ම් 3ම මාත් බැලුව.මුල් එක තමයි නියම.එක මම ගාව තාමත් තියෙනව.මුලින්ම බැලුවෙ මට මතක හැටියට 1992 විතර හොල් එකෙන්.මට මතකයි ඔක ගැන ලිපියක තිබුන බලන මිනිස්සුත් මොර උඩට එනකොට කකුල් සිට් එක උඩට ගත්ත කියල.
    ඩිප් බ්ලු සී එකෙනම් ඉන්නෙ ජාන වලින් වැඩිදියුනු කල එකෙක් නේ.එකෙ හැටියට මොරට පස්සට පිනන්න බැ.නමුත් මෙ වැඩිදියුනු කල එකාට පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ක්ෂණිකව දෙපාරක් බලන්න හැකි ෆිල්ම් එකක්. ඔය සීට් එක උඩට කකුල් ගන්න කතාව මාත් කොහේ හරි දැක්කා.

      Delete
  5. මාත් එක පාරක් ද කොහෙද ඔය ෆිල්ම් එක බලල තියෙනවා.

    විස්තර ටික නම් එල කිරි. ඔහොම චිත්‍රපටි විචාරයක් දැක්කමයි.
    අනිවා ආපහු ගොඩවෙනවා ඊළඟ පොස්ටුව කියවන්න.

    ReplyDelete
    Replies
    1. මමනම් හිතුවෙ දෙ.වි., චිත්‍රපට විචාර වලට වඩා තාක්ෂණික තොරතුරු වලට කට්ටිය උනන්දුයි කියලා. ඒත් හැමදාම බත් ම කන්නත් බෑනෙ.

      Delete
  6. ඇත්තම කියන්නද...
    මෝබි ඩික් ජෝස් (මෝරා) දෙකම කියවල තියෙනව...
    ඒත් ඩීප් බ්ලූ සී ඇර වෙන එකක් වත් බලල නෑ...
    දැං නං හිතෙනව ෙනාබලපු එක ගොං කමක් කියල..
    අනිවා ඉබලනව...
    ස්තූතියි ඈ

    ReplyDelete
    Replies
    1. තව එකක කියන්න ඕන
      මේ වගේ චිත්තරපටි පිස්සෙක් දැක්කමයි..
      අගේට විස්තරය ඉදිරිපත් කරල තියෙනව...
      ජයවේවා

      Delete
    2. දැන්නම් පිස්සුව හොඳයි මහේෂ්. මේක අතීත ආවර්ජනාවක්. හැබැයි, චිත්තරපටියක් බලල වැදුනොත් ඒකේ කථාව, දෙබස්, මිස්ටේක් විතරක් නෙමෙයි පිටපතත් හොයාගෙන කියවනවා.

      Delete
  7. චන්දන මෙන්ඩිස් පරිවර්ථනය කරපු මෝරා පොත මාත් දෙපාරක්ම කියෙව්වා. ඉතාම ත්‍රාසජනක, ඒත් දුක්ඛදායි අවසානයක් තියෙන පොතක්. ඒ ෆිල්ම් එකනම් බලන්න බැරිවුනා. ඒත් ඩීප් බ්ලූ සී නම් බලල තියෙනවා.

    වෙනස හොඳයි විසිටරයෝ..

    ReplyDelete
    Replies
    1. Deep Blue Sea ගැනත් කියන්න හිතා ඉන්නවා. හැබැයි කතාව ලියනවට වඩා වැදගත් තැන් මතු කරන්න උත්සාහ කරන්න ඕනි මින්පස්සෙ. නිබඳ රැඳී සිටීම ගැන ප්‍රණාමය.

      Delete
  8. මේ විසිටරයො. ඔය ජෝස් කියන්නෙ මම පාවිච්චි කරන ස්ක්‍රීන් රීඩරයනෙ.

    ReplyDelete