Sunday, October 12, 2014

ණය කැපෙන්නෙ කොහොමෙයි?-2 How to recover a Loan?-2



අපි කලින් ලිපියෙන් කතා කලේ ණය කැපෙන්නෙ කොහොමද කියලයි. මෙවර අපි ඒ ඇසුරෙන් නිතර ඉදිරිපත් වෙන ගැටලු කීපයක් කතා කරමු.

1. ණයක් ගෙවන්න ණයක් ගන්න බැරිද?
සාමාන්‍යයෙන් ණයක් ගෙවන්න තවත් ණයක් එම බැංකුව හෝ වෙනත් බැංකුවක් දෙන්නෙ නැහැ. නමුත් එම බැංකුවේ පාලනාධිකාරියට හෝ ඉහල කළමණාකාරිත්වයේ අනුමැතිය මත විශේෂ අවස්ථාවල එහෙම නොදෙන්නෙත් නැහැ. ඒ වුණාට අලුත් ණයක් ලබාදීමේදී ඒ ණය ලබාදෙන්නේ කුමන කරුණකටද සහ තියෙන ණය ලබාගෙන ඇත්තේ කුමන කරුණකටද යන්න මත අලුත් ණය මගින් පැරණි ණය අයකරගන්න පුලුවන්. උදාහරණයක් ලෙස ඉඩමක් ගන්න ලබාගත් ණයක් පසුව වෙනත් ඉඩමක් ගන්න ලබාගන්නා ණයකින් අයකරගන්න බෑනෙ. 
2. ලබාගත් ණයක් නියමිත කාලයට පෙර හදිසියේ ලැබුණ මුදලකින් ගෙවා අවසන් කරන්න පුලුවන්ද? 
අපෝ පුලුවං. කිසි ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණෙ තියෙන්නෙ හදිසියේ ලොකු මුදලක් ලැබුණාම හිමිං සීරුවේ ඔහේ කැපි කැපී යන ණය ගෙවන්ව හදිස්සි වෙනවද, නැත්තං හිතේ තියෙන වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවද කියන එකයි. ගොඩක් දෙනා ණය ගනිද්දි ඔය ප්‍රශ්ණෙ ඇහැවට ක්‍රියාකරන්නෙ වෙනස් විදිහකට.
 3. එහෙම එකවර ගෙව්වොත් කොච්චර පොලියක් ගෙවන්ට ඕනිද?
තමන් ගත්තු ණය සඳහා අවසාන වාරිකය ගෙවූ දිනයේ සිට ණය ගෙවා අවසන් කරන දිනය දක්වා පොලිය පමණයි. උදාහරණයක් විදිහට රු.600,000 ක ණයක් අරගෙන රු.360,000 ක ශේෂයක් තිබුණොත් අවසන් වාරිකය ගෙවලා තියෙන්නෙ 2014.10.02 වනදා නම් අද 2014.10.13 නම්, ඔබ ගෙවිය යුත්තේ මේ ගතවූ දින 11 සඳහා පොලිය පමණයි. හැබැයි, සමහර ආයතන ලීසිං හා ණය කල්තියා ගෙවා අවසන් කරද්දි දඩ මුදලක් අයකරන බව පෙනෙනවා. අපි දන්නෑ ඕං ඒවා. ඒ ඒ අයගේ ප්‍රතිපත්ති තමා.
 4. එකවර මුලු ණය මුදලම නොගෙවා ඒත් තරමක මුදලක් එකවර ගෙවන්න පුලුවන්ද?
ඒකත් පුලුවං. එතනදි පවතින ශේෂයෙන් එසේ ගෙවන මුදල අඩු වෙනවා. එදා ඉඳං පොලිය අයවෙන්නෙ ඉතිරි මුදලට. හැබැයි මුල් මුදලින් මාස්පතා කැපෙන ගානනම් වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ රු.500,000 ක් අද අරගෙන හෙට රු.200,000 ක් ගෙව්වොත් හෙට ඉඳං පොලිය හැදෙන්නෙ ඉතිරි රු.300,000 ට තමා. ඒත් මුලදි එකඟවුණු විදිහට මාසෙකට මුල් මුදලින් අයවෙන ගණන රු.10,000 නම් ඒක රු.6,000 ට අඩු වෙන්නෙ නෑ. ඒ වෙනුවට මුලදි මාස 50 කින් අයවෙන්න නියමිත වුණු ණය මුදල මාස 30 කින් ගෙවී අවසන් වීමත් පොලියේ වාසියත් තමා තියෙන්නෙ.
 5. ණයක් ගෙවීම නොගෙවා හැරියොත් මොකද වෙන්නෙ?
අබ සරණයි තමා. බැංකු මේ සඳහා විවිධ පියවර ගන්නවා. ණය නොගෙවීම කියන්නේ ඔවුන්ගේ ලාභයෙන් මුලු ණය මුදලම සඳහා පාඩු විඳින්න සිදුවීමක්. අනික එවැනි ප්‍රවණතාවයන් හොඳ ආදර්ශයන් නෙවෙයි. ණයට දීලා තියෙන්නේ ජනතාවගේ මුදල්. ඒවා ආපසු ජනතාවටම දිය යුතුයි. ඒ නිසා ණය නොගෙවෙනවිට බැංකු තද ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍යයෙන් රු.250,000 දක්වා ණයක්නම් සමථ මණ්ඩලයට යොමුකරලා බලනවා. එතනින් විසඳුමක් නැත්තං නිරවුල් නොකිරීමේ සහතිකය කියලා එකක් දෙනවා. ඒකත් අරං බැංකුව උසාවි යනවා. රු.250,000 සිට රු.5,000,000 දක්වා ණය සඳහා කෙලින්ම නඩු පැවරිය හැකියි. එතනිං එහාට? ඔය ගාන වෙනකොට ඉතිං ඉඩමක් කඩමක් නැතිව ණය දෙන්නෙ නෑනෙ. අන්න එතනදි උසාවි මැදිහත්වීමක් නැතිවම ලඝුවිධ ඇස්කීසි බලය හෙවත් දේපල වෙන්දේසි කිරීමේ අයිතිය බැංකුව සතුවෙනවා. මේ පියවර වලට යන්නේ වෙනත් ක්‍රම සේරම ට්‍රයි කරලා බැරිනං තමා. ඉස්සෙල්ලම සෙනෙහෙ කොල එවනවා, “අනේ දාන්නකො“ කියලා. ඊ ලඟට ටිකක් තදිං කියනවා “දැම්මෙ නැත්තං දන්නවනෙ?“ කියලා වගේ. බැරිම තැන තමා අර මුලිං කීව පියවර වලට යන්නේ. ඒ අතරෙ දැන් අලුත්ම ක්‍රමේට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය Credit Information Bureau-CRIB කියන ණය වාර්තා කිරීමේ ආයතනය දැන් සියලුම බැංකු හා මූල්‍ය ආයතන එක්ක on-line නිසා ණය වාරිකය දිනක් ප්‍රමාද වුණත් ඒ බව සඳහන්. ණය විතරක් නෙමෙයි බම්ප් (return) වෙන බවුන්ස් වෙන චෙක්පත් පවා එහි සඳහන් වෙනවා. ණය නම් දින 30 දක්වා, දින 30-90 අතර සහ දින 90ට වැඩි ලෙස කොල, කහ, රතු සිග්නල් දාලම රිපෝර්ට් එක දෙනවා. ඉතිං මස්කඩේ වගේ නැත්තං අර පරණ ගෙවල්වල ස්කර්ටිං එක වගේ තිබ්බොත් ආයි ණය ගන්නවා බොරු. අතීතයේ එහෙම තිබිලා දැන් හොඳ වුණත් බලපෑමක් නැත්තෙම නෑ.
6.  ණය වාරිකය ගෙවීම නියමිත දිනට වඩා පමාවුනොත් මොකද වෙන්නෙ?
මෙතනදි දඩ පොලියක් ගෙවන්න වෙනවා. ගොඩක් බැංකුවල මේක මුල් මුදලට අවුරුද්දට 2% ක් (ලීසිං වල නම් ආයතනය අනුව වෙනස් වෙනවා) වෙනවා. එතරම් සැලකිය යුතු නොවුනත් ලොකු ණය මුදලකදි මේක දැනෙනවා ඇඟට. සතියේ නිවාඩු දිනක් ණය අයවීමේ දිනය විදිහට වැටිලානම් ඊ ළඟ වැඩකරන දිනයේ ඉඳලා මේ ක්‍රමය අදාල වෙනවා. ඉස්සර දඩ පොලිය 4% ක්. දැං හොඳයි තව.
7. මගේ ණය මුදල කැපෙන දිනය වෙනස් කරගන්න පුලුවන්ද?
පුලුවං හැබැයි නිතරම නෙමෙයි. මෙතනදි හොඳම දේ, තමන්ට වැටුප හෝ වෙනත් ආදායමක් ලැබෙන දිනය අල්ලලාම හෝ ඊට දිනකට දෙකකට පසුව ණයක් ගන්නා එක. එතකොට ආයි පස්සෙ ඤං ඤුං ගාන්න ඕනි නෑනෙ.
8. වැටුපෙන් සෘජුවම ණය කැපෙන්න හදාගන්නේ කොහොමද?
මාණ්ඩලික ණය යෝජනා ක්‍රම වලදි මේක සිදුවුනත් වැටුප් සකසන ආයතනය බැංකුව නොවන නිසා බැංකු ණය වලදි වෙනම වැටුපෙන් අඩුකරගැනීමේ බලය පවරන ලිපියක්/පෝරමයක් (Authority to Deduct from Pay) පුරවලා ඒකේ ණය වාරිකය හා පොලිය එකතුව ආසන්න වැඩි මුදලක් සඳහන් කරලා තමන්ගෙ ආයතනයේ ගණකාධිකාරිවරයා ලවා අත්සන් කරවාගෙන බැංකුවට භාරදිය යුතුයි. එවිට රැකියා ආයතනයේ වැටුප් සැකසීමේදී ඒ මුදල වැටුපෙන් අඩුකර බැංකුව වෙත මාස්පතා එවීමට කටයුතු කරාවි. තමන්ගේ වැටුප බැංකු ගිණුමට මාස්පතා බැරවෙන අයගෙන් වුණත් මේ බලය ලබාගන්නට බැංකු කටයුතු කරනවා. හේතුව තමන්ට අවශ්‍ය විටෙක වෙනත් බැංකුවකට වැටුප් හැරවීමට ඇති හැකියාවයි. මෙතනදි මේ පෝරමය නිසා ගණකාධිකාරී බැඳිලා ඉන්නවා නියමිත මුදල වැටුපෙන් අඩුකර බැංකුවට එවන්න. 
9. වැටුපෙන් කොපමණ ප්‍රමාණයක් ණය සඳහා වෙන්කල හැකිද?
මේක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. රාජ්‍ය ආයතන වල මුලු අඩුකිරීම් එකතුව වැටුපෙන් 40% ට වඩා අඩු වියයුතු බවයි කියවෙන්නෙ. එතකොට බැංකු ණයකට කැපෙන මුදලත් මේ 40% තුලමයි. පෞද්ගලික ආයතන වල මේ ප්‍රතිශතය 50%-60% වැනි අගයක් විය හැකියි. ඊට වඩා වැඩි මුදලක් අයවුනොත් තමන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් නොදෙනවාය කියා කම්කරු උසාවියේ නඩුදාන්න පුලුවන්නේ. හැබැයි, රාජ්‍ය සේවකයන්ට දෙන අර 4%-8% නිවාස ණය හා සීමිත ණය යෝජනාක්‍රම කීපයකදි වෙනත් ආදායම් තහවුරු කර වැටුපෙන් 100% දක්වා අයවෙන්න වුනත් ණය ලබාගත හැකියි. මගේ පෞද්ගලික අදහස නම් මේක එච්චර බුද්ධිගෝචර නොවන බවයි.
10. තැන්පතුවලට අඩු පොලියක් ගෙවද්දි ඇයි ණය වලට වැඩි පොලියක් ගෙවන්න වෙන්නෙ? 
යමක් කමක් වැඩිපුර නොදන්න අය තමා මේ ප්‍රශ්නෙ අහන්නෙ. මෙතනදි වෙන්නෙ බැංකු සහ මූල්‍ය ආයතන පවත්වාගෙන යාමේ පරිපාලන පිරිවැය, තැන්පතු වලට පොලී ගෙවීමේ මූල්‍ය පිරිවැය සහ අපේක්ෂිත ලාභය යන සියල්ල ණය පොලිය තුල ඇතුලත් වීමයි. ලාභ නැත්නම් දුවන්න බෑනෙ. තැන්පතු ඇතිතරම් තියෙන සහ මුදලේ ආරක්ෂාව පිළිබඳ වැඩි විශ්වාසයක් තැබිය හැකි දීර්ඝකාලීන කීර්තිනාමයක් ඇති බැංකු හා මූල්‍ය ආයතන අඩු පොලියක් ගෙවනවා. තැන්පතු රැස්කරගන්න දඟලන සහ අනෙක් ලක්ෂණ දෙක අඩු අය ආකර්ෂණීය පොලියක් ගෙවනවා. මතක තියාගන්න වැඩි අවදානම කියන්නේ වැඩි ප්‍රතිලාභය (The greater the risk the greater the reward). ණය සඳහා පොලිය නම් දැන් සෑහෙන්න පහල බැහැලා. පුද්ගල ඇපමත දෙන ණයකට 29% ක සහ තාවකාලික අයිරා සඳහා 36% ක වාර්ෂික පොලියක් අයවුනු කාලයක් තිබුණා. දැන් මේ අගයයන් 13%-14% සහ 24% දක්වා අඩුවෙලා තියෙනවා. 
දස පැන වැඩසටහන අවසානයි. තව පැන ඇත්නම් දාන්නකො පුතාලා ටික.


22 comments:

  1. ණයක් ගන්න හිතුන.. :3

    පුළුවන් නම් හවුසින්ග් ලෝන් ගැන විස්තරයක් දාන්නකෝ.. මේ දවස් වල පොලී එක්ක..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ බැංකුවෙන් බැංකුවට වෙනස්වන දෙයක් මේ වගේ බ්ලොග් එකක දාන එකයි ප්‍රශ්නෙ. මේ දවස්වල පොලිය නම් 13%-15% අතර.

      Delete
  2. ගණන් හිලව් නැති මේ ලිපිය ගැන නං සෑහෙන්න සතුටුයි...
    දන්නකිසි දෙයක් නැතිනොදන්න හැම දේම ඇති ලිපියක්...
    කලින් එකත් එහෙමයි...
    ඒත්ඒක තේරුනේම නැ...
    හරිම මාන්දමිකයි නේ....
    මංඇහුවෙ මම ඈ

    ReplyDelete
    Replies
    1. කලිං ලිපියෙ ඒ තියෙන සූත්‍ර අනුව ඒ වගුවල තියෙන ගණං හැදෙන්නෙ. පොඩ්ඩක් ආයි බැලුවනං. අනික ගොඩක් අය ඕක හැදෙන ක්‍රමය දන්නෙ නෑ. නමුත් ඒක ඒතරං සංකීර්ණ නෑ.

      Delete
  3. නියමයි V...පෝස්ට් දෙකම එක පාරට දැන් කියෙව්වා..පලමුවෙනි එකෙන් ගොඩාක් දැනගන්න ඕනි වෙලා තිබුන, හැමදාම අකවුන්ටන්ට් දරුවගෙන් අහන ගොඩාක් මගේ ගොන් පුරස්න වලට ඔහේ උත්තර බැඳලා තිබුනා...
    ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ටිකකුත් දමාපන් ගොයියෝ...
    අතේ සල්ලි තියේනම් නය ගන්න එක වැඩක් නැද්ද මචං...සමහරු කියනවා අතේ සල්ලි ටික වියදම් නොකර ණයක් අරන් කොරන පිස්සුවක් කරාපංය කියලා...ඇත්තද ආයිබොවං ඒ කථාව...ඇත්තටම අහන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකෙ දෙපැත්තක් තියෙනවා මචං. ආදායම් බදු ආදිය පැත්තෙන් ගත්තම ණයක් ගන්න එක ලොකු වාසියක්. අනික මුදල් උපදින කාර්යයක් සඳහා යොදන ආයෝජනකදි ණය වීම වාසියි. පාරිභෝජන ණයක් ගනිද්දි අතේ මුදලින් ගැනීම වාසියි. ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් දාංනං ටික දොහකිං.
      (ඔව්ව මෙහෙම කතාකොරන්ට බෑ. හවසක වරෙං ඩයමන්ඩ් එකට හරි රිච්මන්ඩ් එකට හරි)

      Delete
    2. ඔය දෙකටම තාම ගිහින් නෑ මචෝ...ඒ තියා රත්නපුරේ ආව කාලයක් මතක නෑ.. මේ දැනුත් හොටෙල් එකෙන් කෝල් කරලා අහපි සර් දැන් මේ පැත්තේ එන්නේ නැද්ද කියලා...කොළඹටම හිරවෙලා බං මේ දවස්වල...

      Delete
  4. මේ ලිපි පෙළ නම් ඇති විශිෂ්ටයි. මොකද ණයක් ගන්න , ගෙවන වගේම ගෙවලා ඉවර වෙච්ච් කෙනෙක් වත් මේ කිසි දෙයක් දැනගෙන ඒ දේවල් කළා කියලා හිතන්න අමාරුයි. අර ණය කවර් කරන්න අතව ණයක් ගන්න එක නම් මාරු වැඩේ කරන්න පුළුවන් නම් , එතකොට එක ණයකින් ජීවිත කාලෙන ඉන්න පුළුවන් ජොලියේ

    ReplyDelete
    Replies
    1. එහෙමමත් දෙන්නෑ මචෝ. ප්‍රැක්ටිස් එකේ තියෙන්නේ එක ණයක් 2/3 ක් ගෙවුනම තමා තව ණයක් දෙන්න බලන්නෙ, කස්ටමර් නෝමල් නං. මේ සබ්ජෙක්ට් එකේ තියෙන පිස්සු පීකුදු වැඩේ තමා පොදු නියාමයන් හිඟකම.

      Delete
  5. උඔ නම් දෙයියේක් නෙමෙයි දේවාල ගෙනාපු නැවක්...
    ස්ථාවර වරික යටතේ රැ 500000/= ක් අවු 5 කින් ගෙවෙන්න 12% පොලියට ගත්තහම හැම මාසේම එකම ගානක් නේද ගෙවන්න වෙන්නේ?
    වාරිකය කියද?
    අපි දැනට පාවිච්චි කරන ණය පතක වාරිකයක් පහුවෙලා ගෙවලා තියන එක ණය ගන්න බලපානවද?
    ණය ඉල්ලුම්පත බාර අරගෙන ඒ පිලිබද කටයුතු කරන බැංකු නිලධාරියට අපිට ණය දිම ගැන බලපැමක් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. //දේවාල ගෙනාපු නැවක්...//:D
      1. උඹ ඔය කියන ණයට සමාන වාරිකය රු.11,125 ක් වෙනවා, හැමදාම ඒ ගාන. හැබැයි, සාමාන්‍ය වාරික වලින් ගෙවනවනං පටංගන්නෙ 13,335 ක් වගේ ගාණකිං. ඉවර වෙන්නෙ රු.8,420 කින් වගේ. ඒ කියන්නෙ දල වශයෙන් මාසෙකට රු.83 කින් පමණ ගෙවියයුතු මුදල අඩු වෙනවා.
      2. ණයකාඩ්පතක වාරිකයක් කියන්නෙ ගෙවිය යුතු ශේෂයෙන් 5% ක් සහ ණය සීමාව ඉක්මවා ඇත්නම් ඒ මුදල. මේ ගණන පැහැදිලි ලෙසම හිඟ දිනගණන සමග CRIB Report එකට එනවා (හුටා...)
      3. ණය දීම පිළිබඳ තීරණය ගන්නා කළමණාකරු හෝ ණය ඇගයීම evaluation කරන ණය නිළධාරියා කිසිම බාහිර බලපෑමකින් තොරව ස්වාධීන තීරණයක් හා ස්වාධීන ඇගයීමක් කරන්නෙ. හේතුව එම ණය ආපසු නොගෙවීමක් වුවහොත් සම්පූර්ණ වගකීම ඔවුන් පිට පැටවෙන නිසා. මෙය ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයක්. මෙතන බලපෑම කරන්නේ කවුද කියන එක කිව්වනං මං දෙඤ්ඤං හොඳ උත්තරයක්.

      Delete
    2. එල ද බ්‍රා..
      උඔ ඇත්තටම සුපිරි පොරක්.

      Delete
  6. තොරතුරු නම් හැමදාමත් වගේ ගොඩක්ම වටිනවා. අර මෙන්ඩිස් කිව්ව වගේ දේවාලයක් ගෙනාව නැවක් ඔබ. ස්ථාවර තැන්පතු ගැනත් දැනගන්න ගොඩක් ආසයි. නිදහස් වෙලාවක ඒ ගැනත් කියල දාන්නකෝ. අපි හිතවට වඩා විශාල ලාබයක් තියෙනවා නේද ස්ථාවර තැන්පතු වලට.

    ReplyDelete
    Replies
    1. අනිවා දාන්නං. මෙහෙමයි මනෝෂ්. අවදානමක් දරාගෙන, කාලය හා ශ්‍රමය කැපකර ව්‍යාපාරික ආයෝජනයක් කිරීමට වඩා රිලැක්ස් එකක් තියෙනවා ස්ථාවර තැන්පතුවක් දැම්මාම. නමුත් ලෝකේ යන ට්‍රෙන්ඩ් එකට එන්න එන්නම මේවයෙ පොලී අනුපාතයනං බහිනවා. ඔයා දන්නවත් ඇති, බ්‍රිතාන්‍යය ඇතුලු සමහර බටහිර රටවල තියෙන්නෙ සෘණ පොලී අනුපාතයක්. ඒ කියන්නෙ ඔයා රු.100,000 ක් තැන්පත් කලාම අවුරුද්දකින් ආපසු ලැබෙන්නෙ රු.95,000 ක් වගේ ගානක්.

      Delete
    2. ඉතින් එහෙම වෙනකොට ඒ රටවල මිනිස්සු බැංකුවේ මුදල් තැන්පත් කරනවද.

      Delete
    3. එතනදි මගෙ හිතේ බැංකු සුරක්ෂිතාගාරයක් විදිහට තමා වැඩකරන්නෙ. ඒවයෙනෙ එක එක ජාති දාල තියනවට ගාස්තු අයකරන්නෙ.

      Delete
    4. හ්ම්... ඒක හරි. ඒ කියන්නෙ අපිට බැංකුවෙන් පොලියක් දෙනව වෙනුවට බැංකුව අපෙන් ගානක් අයකරනව සල්ලි පරිස්සම් කරනවට.

      Delete
  7. 1. බැංකුවෙන් ණයක් ගන්න එකයි පොලී මුදලාලිලාගෙන් පොලියට ණයක් ගන්න එකයි අතර වෙනසත් හුදී ජනයා සඳහා පැහැදිළ කර දෙනු මැනවි.

    2. ස්ථාවර තැන්පතු ඇපයට තියා ගන්නා නය ක්‍රම ගැනද විස්තර කරනු නම් හොඳය.

    3. ස්ථාවර තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, කොටස් වෙළඳ පොළ ආයෝජනය ආදී දේවල් ගැනද ලිපි පෙළ දිග ගස්සේවි කියා හිතමි.

    සංසාරේ ගත්තු ණය ගෙවා ගන්න බැරිව අම්මෝ තවත් ණය ගැන මොන කතාද? ලිපියට ගොඩක් ස්තුතියි, මෙවන් ලිපි හරිම කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. 1. බැංකු ණයකට පොලිය අවුරුද්දටම 12%-15% අතර වගේ. මුදලාලිගෙන් ගත්තොත් මාසෙට 5%-30% අතර වගේ. අනික පොලී ගෙව ගෙවා ඉන්නවා මිසක් ගත්තු ගාන අඩු කරන සැලැස්මක් නෑනෙ. පේනවනෙ වෙනස? මතක් කල එක හොඳයි. මේ ගැන කතා කරන්නම වෙනවා. ස්තුතියි ගොඩක්!
      2. මේකත් දීර්ඝ වශයෙන් කතා කරමු ඉදිරියෙදි. කමෙන්ට් එකකට වඩා පෝස්ට් එකක් හොඳයි නේද?
      3. රටේ මූල්‍ය වෙළඳපොල සෑහෙන පමණ ආවරණය වෙන සාකච්ඡා ඉදිරියෙදි කරමු.
      අන්තිමට කියපු ණය නං ඉතිං පොලියත් එක්ක තමා අපි ගෙවන්නෙ. අනික් ණය තමා හීන. ඒවටත් අපි පොලිය ගෙවනවා. ඇගයීමත්, ඉදිරි මාතෘකා සඳහා මාවත සැකසීමත් ගැන නැවතත් ස්තුතියි!

      Delete
  8. ඇච්ඇස්බීසී ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි නොදා හිටියොත් ඇත්තටම මක්කයි බං වෙන්නේ??

    ReplyDelete
    Replies
    1. ක්‍රෙඩ්ට් කාඩ් ඇග්‍රීමන්ට් එකේ හැටියට නඩු දාලා අයකොරාගන්ට ඇහැකි. ඒ උනාට ඉතිං ලංකාවෙ බාගෙකට විතර නඩුදාන්ට ඇහැකැ? හැබැයි පුතෝ පරක්කු වෙන්ට වෙන්ට වදිනවා කොයි ක්‍රෙඩිට් කාඩ් එකටත් අම්බ පොලියක් සහ අම්බ දඩයක්. Late Payment Surcharge, Over-limit Surcharge, Cash Advance Fee කිය කියා මහගොඩක් ගාස්තු වදිනවා නැතිවෙන්ටම.
      (අර දෙකක් හලල ගිහිං මොකෝ ඒ පැත්තෙවත් ගොඩවෙන්නැත්තෙ?)

      Delete
    2. අනිත් එකත් එකතැන් උනාම ඇවිල්ලම යන්නං..හැක්..

      Delete