Saturday, October 4, 2014

සිංහල වෙළෙන්දනි අවදිවව්!!! Wake up you, Sinhala Merchants!!!

පින්තූරුව මෙතනිං
මේක දෙබරෙකට ගල් ගැහිල්ලක්. හැබැයි, නොකියත් බෑ.
අපිට අහන්ට ලැබෙනවා මුස්ලිම් ප්‍රජාව මේ රට අල්ලන්න හදනවා කියලා මොරදෙන හඬක් ජාලෙ ප්‍රධාන වෙනත් මාධ්‍ය බොහොමයක. මෙහෙම ප්‍රවණතාවක් ඇතැයි කියා ඊට විරුද්ධව අවි අමෝරාගත් පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට අනුග්‍රහය දක්වන්න සිංහල ව්‍යාපාරික ප්‍රජාවත් පෙළගැසී ඉන්න බව මම දන්නවා පෞද්ගලිකවම. වෙනත් රටවල මෙසේ මුස්ලිම් ආධිපත්‍යය පැතිරීයාමක් සිදුවී ඇති බවත් සත්‍යයක්. එහෙම වෙන්නෙ ඒ ඒ රටවල ආර්ථික, දේශපාලන හා ජනානුපාතික ආධිපත්‍යයක් මුස්ලිමුන් ලබාගත් නිසා. ජනානුපාතික ආධිපත්‍යය සමග දේශපාලන ආධිපත්‍යය ඉබේම ලැබෙනවානෙ. නමුත් යම් රටක ආර්ථිකය තුලට රිංගීමට ඔවුන් යොදාගන්නා ක්‍රමයයි වැදගත්. මෙන්න මෙතැන තමා අපට වැරදුනු තැන.

ඇයි මුස්ලිම් ව්‍යාපාරිකයන් ලාභ ලබද්දි සිංහල ව්‍යාපාරිකයා වේලෙන්නෙ? මේකට මුස්ලිම් ව්‍යාපාරිකයන්ටවත් ඔවුනගේ කඩවලට යන සිංහලයන්ටවත් බැණලා වැඩක් නැහැ. වරද අපේ සිංහල ව්‍යාපාරිකයන්ගේම බව නොකියා බෑ.

අපි ගම්මු දැනට දශක ගණනකට පෙර ගමේ එක කඩයක් විතරක් තිබුණු කාලය. ඒ කාලෙ කඩේ මුදලාලි කියන්නෙ දිසාපති, ග්‍රාමසේවක, විදුහල්පති වගේම ප්‍රභූවරයෙක්. පාන් ගන්නත්, පත්තරේ ගන්නත්, එළවලු ගන්නත්, බීම බෝතලේ ගන්නත් තියෙන්නෙ ඒ කඩේ විතරයි. ඉතිං මුදලාලි හෙන සැරයි. බඩු දෙන්න පරක්කු වෙනකොට දෙවනි පාර ඉල්ලුවොත් මුදලාලි කියයි “පොඩ්ඩක් ඉන්නව ලමයො“ කියලා. නැත්තං කියයි “වෙන කඩේකට යනවා“ කියලා. ඉතිං යන්න කඩයක් තියෙන එකක්යැ. ඒකනේ මේ ලබ්බටම එන්නෙ.

මේ කියන කාලයන් වල නැත්තං ඊටත් පෙර තමා මුස්ලිම් වෙළෙන්දො රෙදි පොට්ටනි කරේ තියං ගමේ අක්කලට, නංගිලට ඇඳුං කැඩුං විච්චූරණ අරං එන්නෙ. ඒ මුදලාලි හරිම බයාදුයි. ණයටත් දෙනවා. යටහත් පහත්ව කතා කරනවා. උන් ඒ කාලේ අර මුදලාලිගෙ කඩේ තියෙන බඩු ගෙනාවනං එක්කො ඒ මුදලාලිට අබ සරණයි. නැත්තං මේ මුදලාලිට එම සරණයි. දැන්නං හැම තැනම කඩ දාල හිංදා මේ ඒකාධිකාරය අබ නෙමෙයි සුන් සාල් වෙලා ගිහිං. 

අදත් මුස්ලිම් ව්‍යාපාරිකයා තමන්ගෙ කඩේට එන මනුස්සයට ගෞරවය දීලා කතා කරනවා. පාරෙ යද්දිත් “එන්න මිස්, එන්න සර්“ කියලා අඬගහනවා. තමන් ගාව අවශ්‍ය භාණ්ඩය නැත්තං වෙන කඩේකිං ගෙනත් හරි දෙනවා. තමන්ගේ පාරිභෝගිකයාව කඩේ යවන්නෙ නෑ. ඒ වගේම මුලදි ගාන වැඩියෙන් කියලා හරි එන මනුස්සයට සලකන බව පේන්න ගාන බොහොම අඩුකරනවා. ඉල්ලපු දේ දීලා තව මොනවද ඕනි කියලත් අහනවා. බොහොමයක් කුඩා මුස්ලිම් කඩවල ඉන්නෙ එක ගෝලයයි නැත්තං දෙන්නයි. තව බොහොමයක මුදලාලිම තමා ගෝලයා. ඔහු නිතරම හිතන්නේ තම ව්‍යාපාරය ගැන. පතන්නේ තව එක ගණුදෙනුකරුවකු හෝ තම වෙළඳසැලට වැඩිකර ගැනීම. එක් වරක් පැමිණි පුද්ගලයා නැවත ගෙන්වාගන්න එක ඔවුන්ට සුලු දෙයක්. මේක තමා ඔවුන්ගේ රහස. මොකක්ද?

ගණුදෙනුකාර සත්කාරය!!!
මම මෙතෙන්දි මහත්මා ගාන්ධිගෙ ප්‍රකාශයක් දක්වන්නම්. 

ඉල ඇදෙන වැඩේ කියන්නෙ මේක සිංහලට පෙරලලා රාමු කරලා මේසේ උඩ තියං හඳුංකූරු ගහන්නෙත් සිංහල වෙළෙන්දොමයි. මට තියෙන ප්‍රශ්නෙ මේ මුදලාලි ගණුදෙනුකරු ලෙසත් අපි ව්‍යාපාරය ලෙසත් කටයුතු කරනවාද කියන එක. මෙන්න බලන්ට.

A customer is the most important Visitor, on our premises.
මම දන්න මුද්‍රණාලයක් තියෙනවා කාන්තාවකට අයිති. ඒකෙ ඉස්සරහ කොටසෙ කොයි වෙලේ බැලුවත් කවුරුත් නෑ. සේරම ඉන්නේ වීදුරු දොරකින් අැතුලෙ. දොරේ ගහලා තියෙනවා Staff Only කියන ප්‍රසිද්ධ දැන්වීම. අපි ඉතිං ඉඳගෙන ඉන්නවා. ගහන්න බෙල් එකකුත් නෑ. ලොකුවට ලස්සනට රාමුකරලා ගහගෙන තියෙනවා අර උඩ පින්තූරෙ තියෙන ගාන්ධිගෙ ප්‍රකාශය ඒ විදිහටම. ටිකකිං නෝනා එනවා මොනවා හරි කාලා කටපිහදදා හරි, ඇතුලෙ කාටහරි බැණ බැණා හරි. ඇවිත් ගන්නවා දුරකතන ඇමතුමක්. ඒකෙ එල්ලිලා පැය කාලක් විතර තව කාටහරි බනිනවා. අන්තිමට අපි දිහා බලලා “ඔව්?“ කියනවා. හරියට පොලෝසියට ගියා වගේ. 

හැමතැනම නොවුනත් අඩු වැඩි වශයෙන් අපේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක තත්ත්වය ඔහොමයි. මේ ආවේ මොකෙක්ද කියලා බලන්නෙ අන්තිමට. තමන්ගේ පෞද්ගලික හෝ වෙන වෙන වැඩ ඔක්කොම කරලා තව වෙලාව ඉතුරුනං තමා ගණුදෙනුකාරයා ගැන බලන්නෙ. පොඩි ව්‍යාපාර වුනත් අපේ කට්ටියට ඕනි පටං ගත්තුගමං ලොකු කැරකෙන පුටුවක් දාගෙන ලැපකුත් පුලුවංනං මේසෙ උඩ අටෝගෙන ෆෝන් එක කනේ තියාගෙන මං හෙන ව්‍යාපාරිකයා කියලා ඉන්න. තමං ලඟට එන මනුස්සයාගෙ අවශ්‍යතාවය බලන්නෙ මේ කැටයං ඔක්කොම ඒ මනුස්සයා බැලුවට පස්සෙ තමා. 

අන්න එතෙංදියි අර මුස්ලිම් ව්‍යාපාරිකයා පාරෙ යන මනුස්සයටත් අඬගහන ස්වරූපය අදාල වෙන්නෙ. බලන්න, ඔහු ගණුදෙනුකරුවා තුල මිලදීගැනීමේ අවශ්‍යතාවයක් මවනවා “එන්න මිස්, එන්න සර්, ඇඳුමක් බලමුද?“ වගේ ආලවට්ටමක් දාලා. ඔහු එක් අයෙකුට භාණ්ඩයක් තෝරන අතර තව කෙනෙක් ආවොත් එයාගෙනුත් අඩුම ගානෙ අහනවා “මොනවද මිස් බැලුවෙ?“ කියලා. අපේ අයියල පොලේ එළවලු විකුණනන්නෙත් ලස්සන කෙල්ලෙක්/ගෑනියෙක් ඉස්සරහිං යනවනං “මෑ ලස්සනයි, මෑ ලපටියි, මෑ ලාබයි“ කියලා. දරුවො ඉන්න අම්මෙක්, අප්පෙක් ජීවිතේට යන්නෑ උගෙං මෑ ගන්න.

ගණුදෙනුකරුවා තමන්ට ඒ මොහොතේ වැදගත්ම පුද්ගලයා බව ඔහුට ඇඟවීම තමා ඔහුට කරන ලොකුම සත්කාරය. කවුද අකමැති තමන්ට යම් ගෞරවයක් ලැබෙනවනං? මේ සරල දේ තේරෙන්නෙ නෑනෙ අපේ අයියලට.

He is not dependent upon us. We are dependent upon him.
අපේ සමහර වෙළෙන්දො හිතා ඉන්නෙ උන් නැත්තං අපි බඩගින්නෙ, රෙදි නැතුව, නින්ද නැතුව ඉඳී
කියලා. ඒකනෙ අපි රෙද්දක් මහගන්න ගියාම මාසෙකිං විතර පස්සෙ දවසක් දෙන්නෙ. ඒකනෙ වාහනේ හදාගන්න ගියාම හවස එන්න කියන්නෙ. ඒකනෙ අද හරියට වැඩ, තව දවස් තුනකිං විතර බලමු කියන්නෙ. මහන්න දීපු රෙද්ද හරි අනික් මොක හරි ගන්න කලිං කියපු දවසටම ගියත්, “මේ දවස් වල වැඩ ගොඩගැහිල, තව ටික දවසකිං එන්න“ කියන්නෙ.
ඇයි යකෝ? තමන්ට කරගන්න බැරි තරං වැඩ තියේනං, ඒ තරං වැඩ කියන්නෙත් තමංගෙ සාක්කුවට වැඩිපුර කීයක් හරි එන දෙයක්නං කුණු ලෝබකං නැතුව ගංකො තව එකෙක් වැඩට ඒ ටික දොහට හරි. 
මෙහෙම දේකුත් තියෙනවා. සමහර තැන්, ඒ කියන්නෙ ඔය රෙස්ටෝරන්ට්, හෝටල් වගේ ඒවයෙ ගෝලයො පුරුදු වෙලා “ටිප්“ එකට විතරක් සේවය කරන්න. ටිප් හොඳට දෙන උන්ට සලකනවා, අනික් උන්ට පොල්කුඩු. වැඩ වැඩි වෙලාවට එන මිනිස්සු ගණන් ගන්නෙම නෑ. වචනයකිං හිතවත්කම පාන්නත් ලෝබයි. "ඇයි යකෝ, කඩ නැතිවටද තව?" කියාල යනවා මිනිස්සු දොට්ට බැහැලා. 
මුස්ලිම් ව්‍යාපාරිකයා හොඳටම දන්නවා තමන්ට කන්න හම්බවෙන්නෙ එන මිනිහට හොඳට සැලකුවොත් මිසක් එන මිනිහට කන්න හම්වවෙන්නෙ තමං කියන කියන තාලෙට වැඩකලොත් නෙමෙයි කියන එක. ව්‍යාපාරිකයා කොන්දේසි දාන තරමට ඔහු පිරිහෙනවා. ගණුදෙනුකරුගේ කොන්දේසි හැකි පමණ ඉටුකරන තරමට ඔහු දියුණු වෙනවා. කරුමෙට අපේ මුදලාලිලා තාම අර ගමේ කඩේ තමා කොරන්නෙ.

He is not interruption on work. He is the purpose of it.
මම මේ ලඟදි පොත් කඩේකට ගියා පිටකවර දාන පොලිතින් ගන්න. කඩේ ටිකක් සෙනග. නමුත් මුදලාලි ඉන්නවා ගණං වගයක් හද හදා, එයා ළඟ කවුරුත් නෑ. ගෝලයො වැඩ. මං ඇහුවා පිටකවර දාන
පොලිතින් තියෙනවද කියලා මුදලාලියගෙං. මූ ඔලුව උස්සලවත් බැලුවෙ නෑ “නැහ්“ ගෑවා. ඇයි යකෝ? හිනා වෙලා “අනේ පොලිතින් ඉවර වෙලා“ ‍කියලවත් කිව්වනං, මං ආයි ගිය පාඩුවට වෙන දෙයක්වත් ගන්නවා. මේ සුලු දේවල් අපේ මිනිස්සු හිතන්නෙ නෑ. හොයාගන්න තරමක් අමාරු දෙයක්නං ආයි හොයන්න මහන්සි වෙන්නෙම නෑ “නැහ්“ ගානවා. සමහරු කර කර හිටි වැඩේට මහා බාධාවක් උනා වගේ දාලා පිච්චිලා යන්න රවනවා. අත් දිග ෂර්ට් එකක් ඇඳලා ගියොත් විතරයි සමහර මුදලාලිලා “මහත්තයා, සර්“ කියන්නෙ.
මුස්ලිම් කඩේකට ගිහිං අහන්න එහේ නැතිබව දන්න දෙයක් (මං කියන්නෙ හාඩ්වෙයාර් එකකට ගිහිං කැරට් ඉල්ලන්න නෙමෙයි). ඔහු කියයි “අපේ ස්ටෝර්ස් වල තියෙන්නෙ, මහත්තය. ඉන්න ටක් ගාල ගෙන්නල දෙන්නං“ කියලා, ගෝලයට සල්ලි දීලා දෙමලෙං කියනවා වෙන කඩේකිං ගේන්න කියලා. අන්න එහෙමයි ගනුදෙනු කාරයාව රඳවාගන්නෙ. අපි යනකොට මොකද මරණාසන්නෙට බේත් බිබී ඉන්නවා නෙමෙයිනෙ මුදලාලි. ඇයි, ඔලුව උස්සලා කාරුණිකව කියන්න බැරි. 
තොග/සිල්ලර කඩවල තත්ත්වය ගැනත් කියන්න ඕනි. ඔව්වයෙ ඉඩකඩ අඩුනෙ ඉතිං. පස්ස පැත්තෙ කරවල ගැවෙයි කියලා ඉස්සරහට උනාම ඉස්සරහ පැත්තෙ මිරිස්කුඩු ගැවෙනවා. ඒ අස්සෙ, මුට්ටයක් කරගහගෙන එකෙක් එනවා “සයිඩ්, සයිඩ්“ කිය කියා. උගේ ඇඟේ තියෙන දාඩිය කරවල ගැවුනොත් මාසයක් නෝන එන්නෑ ලඟට. ඇයි බැරි මේ බඩු අදින්න වෙනම ඉඩක් තියාගන්න ගණුදෙනුකරුවන්ට හිරිහැරයක් නොවී? ඒ අයගෙ වැඩ කටයුතු වලට බඩු ගන්න ආව අපිද අන්තිමට ඇණේ?

He is not an outsider to our business. He is part of it.
ඔය සොයං සේවා නැති කඩේක අපිම බඩුවක් සොයංඩ ගියොත් නැත්තං ශීතකරණය ඇරල බීම බෝතලයක් ගත්තොත් කඩේ අයිතිකාරයො දුසිමක් විතර එනව හරියට අපි ඒක උස්සං දුවයි කියල වගේ “කිව්වනං අරං දෙනවනෙ. කෝ ඉන්න අරං දෙන්න“ වගේ බයිලයක් ගහගෙන. හරියට උන්ගෙ බඩු අපි අල්ලන්න හොඳ නෑ වගේ. කාන්තාවො රෙදි ගන්න මුස්ලිම් කඩවලට යන්නෙ මුලු කඩේම තියෙන රෙදි ෂෝකේස් එක උඩට දාලා බලන්න දීලා මොකුත් නොගත්තත් මොකුත් නොකියන හිංද. අපේ කඩේකට ගියොත් රෙදි කෑලි දෙකක් අතගානකොට කියයි “නෝනා, ගන්නවනං ගන්න, නිකං අතගාල කිලුටු කොරංට එපා“ කියලා. 
මෙතන වෙන්නෙ ව්‍යාපාරයෙන් පරිබාහිර පුද්ගලයෙකු ලෙස ගණුදෙනුකරුවාව දැකීම. නැහැ. ගණුදෙනුකරු කියන්නේ ව්‍යාපාරයක අත්‍යවශ්‍යම කොටසක්. එය ඔහුගේ තැනය කියන හැඟීම දෙන්න පුලුවංනං ඒ වගේ ව්‍යාපාරයකට යා හැකි දුර මේ යයි කියන්න බෑ. 

We are not doing him a favour by serving him. He is doing favour by giving us the opportunity to do it. 
ඔය මෙච්චර වෙලා කියපු දේවල තේරුම තමා අවසානෙට තියෙන්නෙ. ගණුදෙනුකරුට සේවය කිරීමෙන් ව්‍යාපාරය ඔහුට උපකාරයක් කරන්නේ හෝඅනුග්‍රහයක් දක්වන්නේ නෑ. ඔහු තමා ව්‍යාපාරයට අනුග්‍රහය දක්වන්නෙ සේවය සැලසීමට අවස්ථාවක් දීලා. 

දවසක් මම සැලූන් එකකට ගියා පොඩි දෙන්නගෙ කොණ්ඩෙ කප්පන්න. එදා බාබර්ගෙ පවුලෙ ලමයිත් කොණ්ඩෙ කපන්නද වෙන මොනවටද මන්ද ඇවිත්, නෝනත් එක්ක. පොඩි උන් පුටු වලට පැන පැන නටනවා. දැන් අපේ කට්ටියට වාඩිවෙන්න ඉඩදෙන්න වුණාට නෝනටයි, ළමයින්ටයි හරි මොකක්ද වගේ. තිබුණ නිදහස නැතිවෙලා ගිය නිසා. රවනවා. ගස්සනවා. බාබර්ටත් ගානක් නෑ. තමන්ගෙ දඟකාර දරුවන් ගෙදර ඉන්න අරින එක තමා ඕනිම ව්‍යාපාරිකයෙකුට හොඳ. මොකද, අර උඩ කියන අවස්ථාව තමා නැතිවෙන්නේ එහෙම නොකලොත්. අපි ගණුදෙනුකරු/පාරිභෝගිකයා විදිහට ඔහු වෙත යන්නේ ඔහුට තවත් මුදලක් උපයාදීමේ අවස්ථාව රැගෙන. ඒ අවස්ථාව අහිමිවීම කියන්නේ ඔහුගේ පවුලේ අය භුක්ති විඳින යම් වරප්‍රසාදයක්/වාසියක් අහිමිවීමයි. මොකද, ගෙදර පුටු නැතිව නෙමෙයිනෙ සැලුන් එකට එන්නෙ වාඩිවෙන්න. සල්ලි නැත්තං ගෙදර පුටුත් නැතිවෙයි.

අර මම මුලදි කියාපු අච්චු කංතෝරුවෙ නෝනාටත් අමුතු උණක් තියෙනවා. එන මනුස්සයා හරියට තමංගෙං කීයක් හරි ඉල්ලගෙන ආවා වගේ තමා සලකන්නෙ. 

මේ ගැනත් හිතන්න
යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමට තමන් වෙත එන පාරිභෝගිකයා/ගණුදෙනුකරුවා නැවත ගෙන්වා ගැනීමත්, ඔහු මිලදීගත් භාණ්ඩයට/සේවාවට අමතරව තවත් යමක් ඔහුට විකුණාගැනීමට උත්සාහ කිරීමත් ඔහු සමග හිතවත්කමක් ගොඩනගා ගැනීමත් ඉතා වැදගත්. ඉල්ලුම මැවිය හැකියි. ඒ සඳහා මනා සම්බන්ධතාවයක් හා සුහද බවක් තිබිය යුතුයි.

මුස්ලිම් ජනතාව නගරයේ ඉඩම් අල්ලාගෙන පල්ලි හදනවා කියා මොරදෙන අය සොයා බලන්න. ඔය ඉඩම් ගොඩනැගිලි කලකට පෙර සිංහල අයට අයිතිව තිබුණු ඒවා. නමුත් මුදල් ආශාව හා වෙනත් වාසි නිසා ඒවා මුස්ලිම් ජනතාවට විකුණා තියෙනවා. නැතිව උඩිං පහල වුණ ඉඩං නෙවෙයිනෙ. මුස්ලිම් අය තමන් අත්පත් කරගත් දේපලක් බැහැර කරන්නේ නෑ. ඒක සත්‍යයක්. ප්‍රසිද්ධ මුස්ලිම් ඇඟලුම් අලෙවිසල් ජාලයක එක වෙළඳසැලක් පිහිටි කුලී ගොඩනැගිල්ල අයිති සිංහල ව්‍යාපාරිකයෙකුට. ඔහු කියනවා “සිංහල මිනිහෙකුට දීලා කවදාවත් ඔය වගේ ගානක් ගන්න බෑ“ කියලා. මෙතන කියවෙන එකම පණිවිඩය සිංහල ව්‍යාපාරිකයින් එකෙකුට එකෙක් නෑ කියන එකයි. එක ව්‍යාපාරිකයෙක් නැගී සිටින විට අනික් උන් ගහනවා කුඩුවෙන්නම. සාර්ථක අලුත් ව්‍යාපාරයක් පටං අරං ටික දවසක් යනකොට හිතනවා යකෝ මේක තමා බිස්නස් එක කියලා අනික් උනුත් ගහක් ගලක් ගානේ ඒ ජාතියෙම එව්වා දානවා. 

දැං මොකෝ වෙලාතියෙන්නේ? හැම තැනිම ෆ්‍රයිඩ් රයිස් කඩ, සංචාරක හෝටල්, සිල්ලර කඩ, කොමියුනිකේෂන්, සීඩී කඩ, ත්‍රී රෝද රථ. අලුත් දෙයක් නෑ. අනිකා කරන නිසා කරනවා. අන්තිමේ මිල තරඟය නිසා පාඩුවටත් විකුණනවා. ඔක්කොම කඩාවැටෙනවා අටෝපු කාඩ් කුට්ටම වගේ. මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රධානම නගරවල හැර අනෙක් සෑම තැනම අත්පත් කරගෙන තියෙන්නේ රෙදිපිලි, පාවහන්, රන්භාණ්ඩ ආදී සීමිත ව්‍යාපාර පරාසයක්. ඒ වගේම 90% ක් මුස්ලිම් නොවන ගණුදෙනුකරුවන් ඔවුන්ට විවෘතයි වගේම වෙනත් ඕනෑම ආකාරයක ව්‍යාපාරයකට 100% ක් මේ රටේ ගණුදෙනුකරුවන් විවෘතයි. කවුරුවත් නීති දාලා නෑ මුස්ලිම් කඩවලටම පලයල්ලා කියලා. ඒ එක්කම කාටවත් නීති දාන්නත් බෑ මුස්ලිම් කඩ වර්ජනය කරපල්ලා කියලා. එය කලයුත්තේ ආකල්ප වෙනසකින්. මේ රටේ පාරිභෝගිකයාගේ පොදු පිළිගැනීමක් තියෙනවා මුස්ලිම් ව්‍යාපාරිකයා තමන්ට සලකනවා කියා. මෙන්න මේ පසුබිම සිංහල ව්‍යාපාර තුල ඇතිකල යුතුයි. සිංහල ව්‍යාපාරිකයා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකර, අනෙකා කොපි නොකර නිර්මාණශීලී ව්‍යාපාර අදහස් ක්‍රියාවට නැංවිය යුතුයි. හැබැයි දැං ඔය ගණුදෙනුකරුවන්ට සලකන ඈලි මෑලි හෝ නුරුස්නා රටාවෙන් සහමුලින්ම මිදිලා. අන්න එදාට අර්බුදකාරී තත්ත්වයන් මග හැරේවි.

පොඩි කතාවක් කියලාම අහවර කරන්නම් Cross Selling හෙවත් දෙයක් මිලදීගන්න ආ අයට තවත් දෙයක් විකිනීම ගැන. මේක ලස්සන කතාවක් නිසා මිසක් මාතෘකාවට ඒ තරං අදාල නෑ.

එක්තරා වෙළඳ සැලක (මේකත් අර කොයිවත් තියෙන ජාතියෙ කඩයක් ඈ...) මුදලාලි තමන් අලුතින්
ගත් ගෝලයාට මේ Cross Selling උගන්වලා ප්‍රායෝගිකව ඒක කරන හැටි පෙන්නුවා. ඔන්න කඩයට මහත්තයෙක් ආවා. මුදලාලි ඇහුවා, “මොනවද ඕනි මහත්තයා“ කියලා. මහත්තයා ඉල්ලුවා හොඳ තණකොල ඇට පැකට් එකක්. ඒක දෙනගමන් මුදලාලි අහනවා “මහත්තයා, නරකද තණකොල කපන මැෂිමකුත් ගත්තනං?“ කියලා. මහත්තයා “ඇයි“ කියලා ඇහුවම මුදලාලි කියනවා “මේක බොහොම වේගෙන් වැවෙන තණකොල ජාතියක්. ඒ නිසා ටික දොහකිං අඩියක් විතර උසට වැවෙයි. ආයි මැෂින් හොයන්න ඕනියැ. මේ ගමංම අරං යන්න“ කියලා. මහත්තයා අන්තිමට තණකොල කපන මැෂිමකුත් ඇරං තමා ගියේ. දැන් මුදලාලි ගෝලයට කියනවා “උඹත් එහෙම මොනව හරි විකුණලා පෙන්නපං කියලා“.
ඔන්න තව මහත්තයෙක් ආවා. ඉල්ලුවා අර කාන්තා පක්ෂෙ සමහර දාට අඳින මෙව්වා පැකට් එකක්. ගෝලයා ඒක දෙන ගමං අහනවා “මහත්තයා, නරකද තණකොල කපන මැෂිමකුත් ගත්තනං?“. දැං මුදලාලිට මල. මහත්තයට විළි. “ඇයි, ඒ?“ දෙන්නම අහනවා. කොල්ලා කියපි,
“ඔය විදිහට ඉතිං මහත්තයට දවස් දෙක තුනක් නිකංමනෙ ඉන්ඩ වෙන්නෙ. නිකං ඉන්න එකේ වත්තෙ තණකොල ටිකවත් කැපුවනං හරිනෙ“ කියලා.......!!!

මං එහෙනං ගොහිං තණකොල ටිහකුත් කපලා එඤ්ඤංකො ඈ....

23 comments:

  1. ඔන්න ඕක තමයි අපේ සිංහල වෙළෙන්දොන්ට හෙන ගැහිල තියෙන පළවෙනිම හේතුව. කොටින්ම උන් බිස්නස් ට්‍රික්ස් දන්නෙ නෑ. අර කිව්වත් වගේ හිතන් ඉන්නෙ අපි කන්න නැතිව, රෙදි නැතිව ඉන්නවා කියලා. කඩේට ගියත් මූණ බකුසු කරගෙන හරියට අපි නකන් බඩු ගන්න ගියා වගේ තමයි ඉන්නේ. ඒත් මුස්ලිම් එවුන් පාරෙ යද්දි ඇදල ගන්න යන්නේ. වෙලාවකට මළකරදරේ. ඒ වගේමයි ඇඳුමක් තෝරන්න ගියත් ඒකෙ හොඳ එක, ලස්සන එක, ගැළපෙන පාට තෝරල දෙන්න ගන්න අපිටත් වඩා උවමනාව තියෙන්නෙ උන්ට. ඒව උන්ගෙ කපටි කම් තමයි. ඒත් කපටි කමට හරි ඒකෙන් අපිට අවැඩක් වෙන්නෙ නෑනෙ. ප්‍රිය මනාපව ගිය වැඩේ කරගෙන් එන්න පුළුවන්.

    කොහොමත් සිංහල මිනිහා ඒ කාලෙ ඉඳලම පණ්ඩිතයි, උද්දච්ඡයිනේ. ඒත් 21වෙනි සියවසට ඒව ඔබින්නෙ නෑ. සිංහල මුස්ලිම් කඩව වගේම තමයි රාජ්‍ය සහ පුදගලික ආයතනත්. ඒකනේ රාජ්‍ය ආයතන සිංහල කඩ වගේ පිරිහෙද්දි, පුද්ගලික ආයතන මුස්ලිම් කඩවගේ දියුණු වෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. සාර්ථක වෙළෙන්දෙකුට කපටිකම අත්‍යවශ්‍යයි මනෝෂ්. අපේ උන් කපටියි. හැබැයි අර නරි වගේ දුෂ්ඨ කපටිකං තමා තියෙන්නෙ. මුස්ලිමුන් කියන්නෙ වෙළඳාම ඇඟෙන් අරං උපදින ජාතියක්. උන්ගෙ සහජ හැකියාවට වෛර කරනවා වෙනුවට අපේ උන්ට ආකල්පමය වර්ධනයක් (වර්ධනයක්ම නෙමේ. අලුතිං ආකල්ප මොලේට දාලා කොටන්න ඕනි) තමා ඔිනි වෙන්නෙ.

      Delete
  2. මම මන්තරයක් වගේ කිය කියා ඉන්න දෙයක් තමයි අකුරක් නෑර මේ පෝස්ට් එකේ ලියවිලා තියෙන්නේ...අඩුම ගානේ අල්ලපු ගෙදර ඈයෝ කඩයක් දැම්මාම, අපේ ගෙදරත් ඒ ජාතියේම කඩයක් දාන්නේ නැතුව, අල්ලපු ගෙදර එකාගේ කඩේට ටවුමෙන් හරි තොග පොලෙන් හරි බඩු ගෙනත් දාන බිස්නස් එකක් පටන් ගන්න තරම් සිංහල අපිට හැදියාවක් මොලයක් නැහැනේ...
    මම පෙරේදා රාජගිරියේ LECO ඔෆිස් එකට ගියා අලුත් ඔෆිස් එකේ ලයිට් බිල අපේ නමට හරවන්න ඇග්‍රීමන්ට් සයින් කරන්න කියලා පනිවිඩ එවලා තිබුන නිසා...පෞද්ගලික සමාගමක් වෙලත්, එයාර් කන්ඩිෂන් කරපු ඔෆිස් එකක් උනත්, දෙන්නෙකුට වාඩිවෙන්න පුටුවක් නැහැ, ඇග්‍රිමන්ට් දෙක දිල කියපි ඩුප්ලිකේට් ෆිල් කරන්නය කියලා , හිටගෙන කරන්න පුලුවන් දෙයක්ද යෝදියේ කියලා අහන්නත් හිතලා ඉස්සරහා තියෙන සල්ලි ගෙවෙන කවුන්ටරේ උඩ තියාගෙන ලියනකොට මේ ගැල්ලලමයාට මගේ මූන තේරිලා ද කොහෙද, පුටුවක් ඇදන් ඇවිත් මෙතනින් වාඩිවෙලා ලියන්න මහත්තයා කිව්වා..කවද්ද කෝපරේට් කල්චර් එක අපි දකින්නේ...කොහොමද අපි නැගිටින්නේ...හරියට බිස්නස් කරනවාට වඩා මුස්ලිම් මිනිහාට බනින එක ලේසි නිසාද අපි මෙහෙම වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය ගැනත් අද හෙටම දාන්න ඕනි චෙෆාකි. මතක් කල එක හොඳයි. යකඩෙ රත්වුණ වෙලේ ඕනි තලන්න. ඔය ඔක්කොගෙම 5 එස් කරලා දැන් ජපානෙටත් වඩා දියුණුයිනෙ අපි. අන්න එතනත් තියෙන්නෙ ආකල්පමය වර්ධනයක අවශ්‍යතාව.

      Delete
  3. අපේ හන්දියේ කඩ සේරම මුස්ලිම්. මේ ලඟදි එක සිංහල කඩයක් දැම්මා... මමත් ඉතින් අනේ අපේ එකානේ කියල පාඩුවට හරි බඩු ගන්න ගියා ඒ කඩේට. යකෝ මුන්ට ඒවා දෙන්න යන වෙලාව.. කඩේ මිනිහ කොම්පුටරෙකුත් තියගේන වැඩ. මම ගිහාම ගෑනි බොහොම අමාරුවෙන් නැගිටලා ඇවිත් ඇහුවේ මොනවද ඕන කියල. ගියපු පාඩුවට කියල බිස්කට් පැකට් එකක් ඉල්ලුව. ගෑනි අපු විදිහට මම අනිත් බඩු ගන්න අදහස ඇත ඇරිය. මෙකි බිස්කට් ඒක අරගෙන එකේ මිල චෙක් කරලා උන්ගේ පොතකුත් පෙරලලා ගාන හරිද බලල තමා දුන්නේ... විනාඩි 10ක් විතර ගියා වැඩේට. තම්බි කඩේට ගියානම් විනාඩියයි දෙකයි.

    තව දවසක් සිංහල කඩේකට ගියා මුරුක්කු පැකට් එකක් ගන්න. ගාන රුපියල් 20යි. මේ මිනිහ කියාපි 20 කොලයක් තියනවනම් දෙන්න නැත්නම් යන්න කියල. මම දික් කරේ 50 කොලයක්.!!

    ReplyDelete
    Replies
    1. ඔය මාරු සල්ලි ප්‍රශනෙ අනික. හොඳම උදාහරණෙ බස්. කොන්දොස්තරලට බැනල වැඩක් නෑ. බස්හිමියො (ගැමුණු ඇතුලුව) දැනගන්න ඕනි බැංකුවල ඕනි තරං මාරු සල්ලි තියෙනවා. පේ ෆෝන් කම්පැනි වල, පන්සල්වල, දේවාලවල ඇතිවෙන්න කාසි තියෙනවා. ඒවා ඇරං උදේම උන්ට දෙන්න ඕනි. කඩකාරයංට කියන්න තියෙන්නෙත් එච්චරයි. අපේ රටේ ව්‍යාපාර එකිනෙකට සම්බන්ධ ජාලයක් නොවී තනියෙං බුදුවෙන්නනෙ හැම එකාටම ඕනි. අන්තිමට පසේ බුදුන්ල විතරයි ඉතුරු වෙන්නෙ. මෙලෝ රහක් නෑ.

      Delete
  4. සර්විස් එක හරියට දෙනවා නම් මිනිස්සු තම්බියගේ කඩේට යන්නේ නෑ නේ.. ඌ අපිට දෙවියට වගේ සලකනවා නම්, ඩිස්කවුන්ට් දෙනවා නම්, නම ගම මතක නම් තව මොනවද කස්ටමර්ට ඕන..

    අපේ උන්ගේ ගොන් ආඩම්බරේ නැති කර ගන්න ඕන ඉස්සර වෙලා.. ආන්ඩුවේ නෙවේ ප්‍රයිවට් තැන්වලත් ඉන්නේ ඔළුව ඉදිමිච්ච උන්..

    ReplyDelete
    Replies
    1. ඔය සරල දේ තේරුම්ගන්න තරං මොලයක් නෑ එක්කො. නැත්තං තේරුම්ගන්නෑ අර මනෝෂ් කිව්වා වගේ තියෙන උද්ධච්ඡ කමට. කස්ටමර්ට ඕනි දේ මිස තමන්ට ඕනිදේ කරලා හරියන්නෑ කියන්නෙ මාකටිං වල අ යන්න.

      Delete
  5. අර අන්තිමට කියපු කතාවනම් මරු, නරකද උඹ මේ බ්ලොග් ලිවිල්ල නවත්තලා ආර්ථික විද්‍යා පන්තියක් දාගත්තනම්, බන්දුල සර්ට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නේ,

    අපේ එවුන් හිතන් ඉන්නේ සිංහල උන් තම්බි කඩ වර්ජනය කරලා සිංහල නිසාම උන් ලඟට ඇවිත් වැඳලා බදු ගන්න ඕන කියලා, හරියට අර රනිල් ලොක්කා එයාව ජනතාව එකතු වෙලා මහින්දව එළවලා ජනාධිපති කරලා දෙනකන් බලන් ඉන්නවා වගේ

    ReplyDelete
    Replies
    1. කොල්ලො කෙල්ලොන්ට නෙමෙයි ඉවාන්, මේ බිසිනොස්කාරයොන්ට තමා උගන්නන්ට ඕනි පංති දාලා. මොල සේරම හෝදංට ඕනි කොනක ඉඳං.
      මාතා කිව්වා වගේ ගැලපෙනම උදාහරණෙ.

      Delete
  6. උඔ කියලා තියන කතා ටික ඇත්ත..බඩ පැලෙන්න හිනාවුනා.
    එල ද බ්‍රා.
    කඩෙට නෝනා කෙනෙක් ඇවිත් ඇහැව්වලු සිනි තියනවද කියලා කොල්ලා කියපි නෑ කියලා
    නෝනා ගියාහම මුදලාලි කිව්වලු කොල්ලෝ සිනි නැත්නම් ඒ වෙනුවට හකුරැ හරි විකුනපිය කියලා..
    තව නෝනා කෙනෙක් ඇවිත් ඇහැව්වා
    ළමයෝ ටෝයිලට් පේපර් තියනවද?
    ටෝයිලට් පේපලර් ඉවරයි නෝනා නොම්බර 12 වැලි කඩදාසි තියනවා දෙන්නද?

    ReplyDelete
    Replies
    1. 1. ටොයිලට් පේපර් ඉවරයි නෝනා...හකුරුනං තියෙනවා
      2. ෆෙම්ස්නං ඉවරයි නෝනා...පාන් නං තියෙනවා
      ඔහොම කතා ගොඩයි.

      Delete
  7. අපිව තම්බියගෙ කඩෙට තල්ලු කරන්නෙ සින්හල වෙලෙන්දම තමයි.උන් හිතාන ඉන්නෙ අපි උන්ට බයෙ බඩු ගන්නව කියල.

    ReplyDelete
    Replies
    1. සමහරක් බෙහෙත් වර්ග එහෙම සිංහල ෆාමසිවලවල ඇත්තෙම නෑ. එහෙම වෙලාවට තියෙන මුස්ලිම් ෆාමසියකින් නොගෙන මැරෙන්නයැ.

      Delete
  8. වෙළඳාම කියන අංශය තුල මුස්ලිම් මිනිහා සිංහලයට වැඩිය සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා, දැකලා තියෙනවද එකම තැන තම්බි කඩ දෙකක් එකම බිස්නස් එක කරන, සිංහල එකෙක් රෙදි කඩයක් දැම්මොත් උඋට අරින්න තව එකෙක් දාන්නෙත් රෙදි කඩයක්මයි රෙදි වෙළඳාම ගැන මෙලෝ අවභෝදයකින් තොරව, එත් මුස්ලිම් මිනිස්සු උගේ කඩේට එන්නේ නැති බිස්නස් එක හරි වෙන උන්ගේම කඩේකට හරවලා යවනවා. අපේ මිනිස්සු ඉන්නේ ඒ අතින් හරිම පහලින්.

    ReplyDelete
    Replies
    1. තරඟය හොඳයි. ඒත්, විවිධ වර්ගයේ ව්‍යාපාර තව බොහොමයක් අලුතින් පටන්ගන්න අවස්ථාව තියෙනවා. නැත්තෙ නිර්මාණාශීලී චින්තනය සහ තමන්ගේකම.

      Delete
  9. මේ කතාවල් ඔක්කොම ඇත්ත. මටත් මේ වගේම අත්දැකිමක් තිබෙනවා. වහාම ලියන්න ඕනේ. මධු මදාවි තම මේ බ්ලොගයට පාර පෙන්නුවේ. @සිහින සිත්තම් - සම්පුර්න ඇත්ත .

    ReplyDelete
    Replies
    1. වහාම ලියනු මැන. මේවා තමා ලියන්න ඕනි.
      //මධු මදාවි තම මේ බ්ලොගයට පාර පෙන්නුවේ.// අම්මාපා?

      Delete
  10. නියම විස්තරේ මධු. මම මේක කලින් කියවල තිබ්බෙ නෑනෙ. ස්තූතියි ලින්ක් එක දැම්මට මගෙ පෝස්ට් එකේ. මේවා ප්‍රින්ට් කරලා අපේ කඩ කාරයොන්ට බෙදන්න වටිනවා :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නිකංම ‘එළ‘,‘නියමයි‘ කියලා දාන කමෙන්ට් එකකට වඩා වටිනවා නේද මේක? අදහස් අතින් අපි එක තැනක ඉඳීම කොච්චර වටිනවද?

      Delete
  11. කවුරුහරි වැඩමුළුවක් සුදානම් කරන්න සිංහල වෙලේන්දොන්ට. මම නොමිලේ සම්පත් දායකත්වය දෙන්නම්. අපි නිකන් කෑගහලා වැඩක් නෑ. කරන්න ඕනේ ඒ වගේ දේවල්. නමුත් කවුරුත් ඒවා කරන්න කම්මැලියි. මුණු පොතේ පෝස්ට් ශෙයා කරලා ජාතිය රකින්න හදනවා.

    ReplyDelete