Friday, November 28, 2014

චෙක්පත්-1 Cheques-1



අපිල කාටත් කවදා හරි දවසක ඔය උඩ රූපෙ තියෙන කඩදාසිය අතට ලැබිලා ඇති. මේක නිකංම නිකං කඩදාසියක් නෙමෙයි. බොහොම සරල ආකුර්තියක් උනාට බොහොම සංකීර්ණ නීතිමය පසුබිමක් තියෙන ලියවිල්ලක්. ඒ වගේම දවසකට මේ වගේ කඩදාසි ලක්ස ගානක් අපි අවට මේ සමාජයේ එහෙ මෙහෙ යනවා ලක්ස කෝටි ගානක ගණුදෙනු සිද්ද කරමින්. එහෙනං අද පටං මම මෙන්න මේ වැදගත් කඩදාසිය ගැන තරමක් ගැඹුරෙන් කතා කොරංටයි යන්නෙ. 

මේ කඩදාසිය එහෙම නැත්තං චැක්  එක ලංකාවේ පවත්නා නීතිය යටතේ විනිමය බිල්පත් ආඥා පණත (Bills of Exchange Act) කියලා එහෙකට තමා යටත් වෙන්නේ. ඒකෙ මේ චැක් එක මෙන්න මේම අර්ත දක්වනවා.

නිශ්චිත මුදලක් නියම කල දිනකදී අණකරු හෝ ආදායකයාට ගෙවන ලෙස බැංකුවක් වෙත කරනු ලබන කොන්දේසි රහිත ලිඛිත නියෝගයකි

අප්පට සිලි, පේනවනෙ කතංදරේ. මේක බැලුවාම වචනෙං වචනෙ පැටලිලි ටිකක් තියේ ලිහන්න. 

කවුද මේ අණකරු (Drawer)? 
උන්දැ තමයි මේ චැක් එක අස්සන් කොරන්නෙ. ඒ කියන්නේ මේ චැක්එක නිකුත්කරන ජංගම ගිණුමෙ (Current Account) අයිතිකාරයා. ජංගම ගිණුම් ගැන මම පස්සෙ දොහක කියා දෙන්නංකො. දැනට මතක තියාගංට චැක් එකක් නිකුත්කරන්ට නං එහෙම ගිණුමක් තියෙන්න ඕනි කියාල. 

කවුද එතකොට ආදායකයා (Payee) කියන්නේ?
ආදායකයා කියන්නේ චැක්පතේ ඉදිරිපිට නම සඳහන්කර ඇති පුද්ගලයා. 

එතකොට මෙහෙම තේරුම් ගංට. චැක්පත අස්සන් කොරන උන්නැහැ ඒකේ ඉදිරිපිට නම ලියා ඇති ඇත්තාට මෙහි සඳහන් මුදල ගෙවන්න තියෙනවා. ඒක ගෙවංට බැංකුවට නියෝග කරනවා, තමංගෙ ජංගම ගිණුමෙ තියෙන මුදල් වලින්. (මුදල් නැත්තං? පැහෙන්නැතුව ඉංටකො, හොඳ හොඳ සෙල්ලං ඉස්සරහට!)

හොඳයි, වැඩිදුර යංට කලිං අපි බලමු මේ චැක්පතේ ඇතුලත් වෙලා තියෙන කලහලමනා මොනවද කියලා.


ඔය උඩහ පිංතූරෙ තියෙන චැක් එකේ 1 ඉඳං 7 ට යනකං නං කොරලා තියෙන්නේ මේකෙ ඇතුලත් අංග ටික තමා. ඒ මෙහෙමයි,

  1. දිනය (Date)- චැක් එක ලියාපු දිනය හෝ වලංගු වන දිනය
  2. අණලාභී බැංකුව (Drawee Bank) - මේ චැක්එක නිකුත්කල බැංකුව
  3. ආදායකයාගේ නම (Payee's Name)- සල්ලි ගෙවංට ඕනි කාටද කියන එක
  4. මුදල අකුරින් (Amount in words)
  5. මුදල ඉලක්කමින් (Amount in figures)
  6. අණකරුගේ අත්සන (Drawer's Signature)- චැක්එක අයිති ගිණුම් හිමියාගේ අස්සන
  7. MICR තීරය - චුම්බක ක්‍රමයට කියවිය හැකි අංක
මම අගිං පටං ගන්නං. එතකොට වෙනසක් තියෙනවා. ඔය එම්අයිසීආර් තීරුව කියන්නෙ මක්කද?

MICR -Magnetic Ink Character Recognizer Code
නමින්ම කියවෙන විදිහට චුම්බකිත අක්ෂර හඳුනාගැනීමේ යන්තරේකින් කියවන්ට ඇහැකි කෝඩ් එකක් තමා ඔය. ඕකෙ බලන්ට මුලිංම තියෙනවා අංක 6 ක්. ඒ කියන්නේ චැක්පතේ අංකය.
ඊළඟට තීන ඉලක්කං 4 න් කියන්නෙ බැංකුවේ සංකේත අංකය. ලංකාවෙ ඕක මෙහෙමයි.


  • 8004 - ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank of Sri Lanka)
  • 7010 - ලංකා බැංකුව (Bank of Ceylon)
  • 7056 - කොමර්ෂල් බැංකුව (Commercial Bank)
  • 7083 - හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank)
  • 7135 - මහජන බැංකුව (Peoples Bank)
  • 7278 - සම්පත් බැංකුව (Sampath Bank)
  • 7287 - සෙලාන් බැංකුව (Seylan Bank)

ලංකාවෙ වාණිජ බැංකු (commercial banks) තියෙනවා 25 ක් (13 ක් දේශීය, 12 ක් විදේශීය- පස්සෙ...පස්සෙ...). ඒ හැම බැංකුවටම ඔහොම අංකයක් තීනවා. ඒක නැතත් ඉතිං චැක් එක මුදුනෙ වම් කෙලොරෙ ඔය තියෙන්නෙ දිලිසි දිලිසි බැංකුවෙයි සාකාවෙයි නම. ඔය මං දාපු චැක් එකේ තීන්නෙ බොරු නමක් ඈ. 

එතකොට ඊළඟට තියෙන ඉලක්කං 3 න් කියන්නෙ බැංකුවේ ශාඛාවේ අංකය (branch code). ඕක ඉතිං වෙනස්වෙනවා, වැඩිය දැනගංට අවශ්‍යම දේකුත් නෙමෙයි. 

ඔය තීරුවෙ අන්තිමට තියෙන අංක කීපය තමා චැක්පත අයිති ජංගම ගිණුමේ අංකය (current account number). සමහර බැංකුවල ගිණුම් හිමියාගෙ නමත් කොටල තියෙනවා ඔය තීරුවට ටිකක් ඉහලින් හරි චැක්පත මුදුනෙම හරි. ඒවා ඉතිං ඒ ඒ බැංකුවල හැටියට වෙනස් වෙනවා.

මං හිතන්නෙ අදට ලිව්වා ඇති කියලා. තව දෙතුං දොහකිංම දාන්නංකො ඉතිරි කළහලමනා මක්කද කියලත්.

කමක් නෑනෙ? එහෙනං ආයිබොවන්ඩ, මං ගෙහුං එඤ්ඤං ඈ...

Saturday, November 22, 2014

Leasing & Seizing-2 (ලීසිං සහ සීසිං - 2)


කලිං දොහේ කතා දැම්මෙ ලීසිං කියන්නෙ මක්කද, පොලී අනුපාතෙ හොයාගන්නෙ කෝමද වගේ එව්වනෙ. අද කියංට යන්නෙ ලීසිං එක්කම කියවෙන අනික් වචනෙ වෙච්ච සීසිං ගැනයි, ලීසිං ගැන හිත් පොජ්ජට එන පුරස්න ගැනයි. ඊ ළඟ පෝස්ට් එකේ ඉඳං බැංකුවල බාවිතාවෙන චැක්පත් ගැන ටිකක් දීර්ඝ ලිපිමාලාවක් දාංට හිතා ඉන්නෙ. ඔය සාමාන්ය පෙළ උසස් පෙළ වාණිජ්‍ය විසය හදාරන නංගිල, මල්ලිල, දූල, පුතාල ඉන්න පාඨක වැඩිහිටියො ඒක තමංගෙ ඒ කියාපු පොඩිහිටියන්ට කියවංට සැලැස්සුවොත් වරදක් වෙනඑකක් නෑ මයෙ හිතේ. 

සීසිං (Seizing) කියන්නේ කාර් එකක් හරි ඒ වගේ මෙව්ව එකක් ලීසිං කොරල අරං තියෙද්දි මාසික වාරික හරියට නොගෙවීම නිසා කල්බදු ගිවිසුම ඒ ලීසිං කොම්පැනිය විසින් සමාප්ති (Termination) කොරලා වාහනේ ආපහු ගන්න එක. මේ ක්‍රියාවලිය වගේම ඒක කරන කෙනාත් සීසර් (Seizure) කියලා හඳුන්වනවා. (ජුලියස් සීසර්-Julius Caesar තමා ඉස්සෙල්ලම ඕක කොලේ). මේක තරමක් අප්‍රසන්න සිද්ධියක්. මොකද සීස් කොරනකොට ඒක කරන්නෙ බලහත්කාරෙන්. ගොඩක් වෙලාවට මහපාර මැද. ඉතිං විලිලැජ්ජාවෙ තන්තෝසෙ බෑ. ගෙදර තියෙන වාහනයක් වුනත් ගෙනියන්න පුලුවං එහෙම. යතුර දුන්නැත්තං කොම්පැනියෙ තියෙන් ඩුප්ලිකේට් යතුර (duplicate key) ගෙනල්ලා අරං යනවා. ඒත් බැරිනං ඉග්නීසොං (ignition) එක කඩලා හොට් වයර් කොරලා අරං යනවා. ඒත් බැරිනං අර උඩ පිංතූරෙ විදිහිට පටෝගෙන හරි ටෝ ටොයියෙක්ගෙන් (tow truck) ඇදගෙන හරි අරං යනවාමයි. අර අසරණයට බෑ පොලීසි යන්ට. ඇයි?

වාහනේ දීලා තියෙන්නෙ කුලියට. කුලිය ගෙව්වෙ නැත්තං ආපහු ගන්නවා. ඒක වලක්වන්ට බෑ. ඔය සීසර්ලා එන්නෙ ඩැයිවර් උන්නැහැව එළියට ඇදලා දාලා හරි වාහනේ අරං යන්ටම තමා. ඉතිං ඔය ඔක්කොම සිද්ද වෙන්නෙ හරියට කුලිය ගෙව්වෙ නැත්තංනෙ. සමහර කොම්පැනි වාරික දෙක ගිය ගමං උස්සනවා. බැංකු ඒ තරම්ම තද නෑ.

හොඳයි, දැං ලීසිං අැෆ් ඒ කිවු. 

ලීසිං වල පොලී අනුපාතය තීරණය වෙන්නේ මොන කරුණු උඩද?
පොලී අනුපාතය අඩු එකේ ඉඳල වැඩි එකට ඇසෙංඩිං ඕඩරේට ගියොත් මෙහෙමයි.
  1. අලුත්ම අලුත් කසාද නොබැඳපු කිරි ටොයියො-brand new 
  2. පරණ ඒත් කසාදු නොබැන්ද කිරි ටොපියො-reconditioned unregistered
  3. අලුත්ම අලුත් කසාද බැඳපු කිරි ටොයියො-brand new registered
  4. කසාද බැංද පරණ නිකං ටොයියො-reconditioned registered
  5. යන්තර සූත්තර-machinery & equipment

අනික් කාරණේ තමා වාහනය හදපු අවුරුද්ද (YOM-Year of manufacture)අනුවත් පොලී අනුපාත වෙනස් වෙංට ඇහැකි. ඒ කිව්වෙ පරණ වාහනයකට පොලියත් වැඩියි ආපහු ගෙවංට දෙන කාලෙත් අඩුයි.

හදිසියෙ සල්ලි ගොඩක් ආවොත් ගෙවලා අහවර කොරංට බැයිද?
අපෝ පුලුවං. ඒ ඒ කොම්පැනියෙ හැටියට, අර මම දවසක් ණය ගෙවන හැටි කිව්වෙ. ඒ වගේම තමා. සමහරු පොලියෙන් සෑහෙන කොටසක් අඩුකරලා දෙනවා. සමහරු ටිකක් අඩුකරලා දෙනවා. සමහරු වාරික සේරම එකපාර ගෙවංට කියනවා. සමහරු දඩේකුත් (surcharge) ගහනවා. ඕවා ඔහොම තමා.

ලීසිං වාහන වලට ඇයි ඉන්සුවරන්ස් වැඩියෙන් ගෙවංට වෙන්නෙ?
ලීසිං වාහන වලට ගංට ඕනෑ කරන්නෙ සර්වග්‍රාහී රක්සනේ (comprehensive insurance policy) කියන එක. ඒ කියන්නේ වාහනෙයි (the whole vehicle), ඒක අස්සෙ යන මගියොයි (passengers), පාරෙ වාහන එළෝන සහ පයිං යන අහිංසකයොයි (third parties) කියන තුංගොල්ලටම වන්දි ගෙවන රක්සනයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ ඉතිං අර තුනේ පංතියෙ (third party cover) රස්සනේටනෙ. මොකද මාර්ග නීති අනුව වාහනයක් පාරට දාන්ටනං බාහිර පාර්සවේකට සිද්ද වෙන අනතුරු ආවරණය වෙංටවත් රස්සනයක් ඕනි. කීයක් හරි ඉතුරු කොරගංට අපි ගන්නෙ ඕක. වාහනේ චකබ්ලාස් උණොත් මොකුත් නෑ. අස්සෙ ඉන්න උං දිවංගත උනොත් ඒත් මොකුත් නෑ. හැබැයි මේ සර්වග්‍රාහී කරමෙදි එහෙම නෑ. පූර්ණ රක්සන ආවරණෙ (full insurance). හැබැයි, රක්සන ඔප්පුව ලීසිං කොම්පැනියට නියද කරලා (assignment) තමා තියෙන්නෙ. ඉතිං පොල්ගෙඩියක් අතඇරල ක්ලේම් (accident claim) එක දැම්මම වන්දි චැක් එක යන්නෙ කෙලිංම අර කොම්පැනියට. උන්දැල එක්ක ඉතිරි හරිය බලාගන්න එකයි ඇත්තෙ.

වාහනේ මොන මොන ලියකියමංද කොම්පැනිය තියාගන්නෙ?
වාහනේ පොත ඒ කියන්නේ ලියාපදිංචි සහතිකේ (certificate of registration) සහ රක්සන ඔප්පුව (insurance policy) එක්ක ඩුප්ලිකේට් යතුරත් ඒ ඇත්තො තියාගන්නවා මතු පොරෝජන තකා. ලයිසොං කරදහිය (revenue license) අලුත් කොරංට හරි රක්සන සහතිකේ (insurance certificate) අලුත් කොරංට හරි ඕනි උනාම ඒ කොම්පැනියට කියල පොතේ සහතික කල පිටපතකුයි පොත ඒගොල්ලො ගාව තියෙන්නෙ කියලා ලියුමකුයි ගංට ඕනි. ලයිසොං කරදහියයි, රක්සන සහතිකෙයි (ඔප්පුව නෙමෙයි ඈ...) අපි ලඟ තියාගත්තෑකි. 

මොනවද මේ බැලූන් පේමන්ට් (balloon payment) කියන්නෙ?
ලීසිං එකක් ගන්න කොට වාහනේ මුලු වටිනාකම වුනත් ලීස් කොරලා දෙන කොම්පැනි ඉන්නවා. අපි වාරිකයක්, දෙකක් හෝ කීපයක් දාන්ට ඕනෑ මුලදි. එහෙම නැතිව අපි ගන්නෙ ලස්ස 40 ක වාහනයක් නං අපි අතේ ලස්ස 10 ක් තියේනං, ඒ ලස්ස 10 අර කොම්පැනියට දාලා වාහනේ ගංට ඇහැකි. එතකොට වාරිකය සෑහෙන්න අඩුවෙනවා (ඇයි අපි කාලක් දාලනෙ තියෙන්නෙ). හැබැයි, මේ මුදල වාහන සේල් එකට ගෙවන්ට හැකිනං පොඩි වාසියක් තියෙනවා. මෙහෙමයි,

අපි හිතමු වැට් (VAT) කතාව පැත්තකිං තියල ලස්ස 40 ක වාහනයක් ගැන. දැං අපි 12% ක වාර්සික පොලියකට අවුරුදු 5 කිං ගෙවංට ලස්ස 10 ක් බැලුං පේමන්ට් දැම්මම වාරිකය වෙන්නෙ රු. 67,561 ක් වගේ. 

අනික් අතට අපි සේල් එකට ඒ ලස්ස 10 දාලා ඉතිරි ලස්ස 30 ලීසිං දැම්මොත් වාරිකය වෙන්නෙ, 66,733 ක් වගේ. අවුරුදු 5 ඉවර වෙනකොට රුපියල් පනස්දාහක විතර වෙනසක් වෙනවා. දෙවනි ක්‍රමේදි වාරිකයක් දෙකක් දාල පටං ගත්තොත් 66,733 ට වඩා ගාන අඩුයි. 

හොඳම දේ වාහනයක් ගංට කලිං කොම්පැනි සේරටම බඩගාල ගනං මිනුං වගේම කොන්දෙසිත් අහල දැනගෙන ගේමට බහින එක තමා. 

මේ පහල තියෙන විස්තර ටික හොයාගංට. 
  1. වාහනයේ මිල - price
  2. තමන් අත ඇති මුදල - contribution
  3. ලීසිං ගෙවීමට ලැබෙන කාලසීමාව - contract period
  4. වාර්සික පොලී අනුපාතය - annual interest rate
  5. මුලදී දැමියයුතු වාරික ගණන - down payments
  6. කවදා හෝ එකවර ගෙවා අහවර කරනවානම් පොලිය කොපමණ ඉවත් කරනවාද යන්න- interest at termination
  7. ලියකියමං, සේවාගාස්තු ආදී වසයෙං කීයක් අයකරනවාද යන්න - documentation and service charges
ඉතිං ඔන්න ඔය ටික තමා කියංට දැනටනං මතක් වෙන්නෙ. තව පුරස්න ඇත්තං අහංට. ගණං හිලව් දුන්නොත් ලීසිං වාරිකේ හදල කියන්ටත් ඇහැකි. එහෙව් පොරක් මං...හුහ්...

එහෙනං අනාගත පරපුරට ගැන හිතල චැක්පත් ගැන කතාව පටාං ගමු ලබන සතියෙ ඉඳං...

යඤ්ඤං ඈ....

Friday, November 14, 2014

Leasing & Seizing-1 (ලීසිං සහ සීසිං - 1)


අපේ අර කාපිරි තොල් පිරුණු රැස්ටෝරන්ට් එක කොරන මා මිත්‍ර මහේෂයා ආයිත් මට තර්ජනේ කොලානේ බොලල්ලා ෆන් එකක් දෙන්නෑ, ෆෙඩප් වෙනවා කියලා. ඒ අතරෙ මා මිත්‍ර තිසර පටබැඳිගේ මෙන්ඩා අහල තිබ්බ ලීසිං ගැනත් ලියනවාද කියලා. ඉතිං උං දෙන්නටම බම්බු ගහගන්ඩ කියල මම සුපුරුදු ඒකාකාරි රටවේම ඉඳං ආයි හවුසිං ලෝං ගැන ලියංටයි යන්නෙ. (බලාපල්ල අරුං දෙන්න ගඟේ පනිංඩ ගියාද කියලා.) නෑ...නෑ... ඕං බොලා දෙන්නටම වගේම අපේ වලේ ඔක්කොටම පනිංඩ මං කපනවා, ලීසිං වල.

හැබෑටම ලීසිං කියන්නෙ මක්කැයි?
ලීසිං (Leasing) කියන්නෙ ලමයෝ, අපි හිතමු දැං බොට ඕනි වෙනවා හයිබිරිඩ් කාර් එකක් ගංට. (හීනෙං තමා). අපි කියමුකො රුපියල් ලක්ෂ 40 ක විතර ටොයොටා ඇක්වා (Toyota Aqua) එකක් කියලා. දැං අපි මේකට ලීසිං එකක් දැම්මම වෙන්නෙ, ලීසිං කොම්පැනිය/බැංකුව වාහනේ සල්ලි දීලා ගන්නවා. අරං, අර අපි විදුලි බල මණ්ඩලේට අරකට මේකට කාර් එක කුලියට දෙනවා වගේ අපිට කුලියට දෙනවා. අපි මාස්පතා කුලියක් ගෙවාල වාහනේ පාවිච්චි කොරනවා. වාහනයේ ක්ෂයවීම (Depreciation) හා ගණුදෙනුවේ ලාභය වෙනුවෙන් පොලියක් කොම්පැනිය ගන්නවා. නීතිය අනුව අපිට වාහනයේ අයිතියක් තිබුණත් පරම අයිතිය (absolute ownership) තියෙන්නේ අර ලීසිං කොම්පැනියට. ඒ කියන්නේ ලීසිම ගෙවලා අහවර උනත් අපිට වාහනේ ඉල්ලංට බෑ. (එහෙම උණොත් කුලියට ගෙවල්වල ඉන්න අයත් අන්තිමේ ගෙට අයිතිවාසිකම් කියාවි. එහෙම කියනවා!) හැබැයි, කිසිම ලීසිං කොම්පැනියක්/බැංකුවක් එහෙම වාහනේ තියාගන්නෑ, අපිටම ආපහු ලියලා දෙනවා.

එතකොට මක්කැයි ෆිනෑන්ස් කරනවා කියන්නෙ?
ඒකත් හරියට ලෝන් එකක් වගේ තමා. භාණ්ඩයේ (වාහනයක් කියමු) අයිතිය ෆිනෑන්ස් කොම්පැනියට තිබුණත් අපි ගෙවංට ගෙවංට අපේ පැත්තට භාණ්ඩයේ අයිතිය වැඩි වෙනවා. අර ලීසිං වල වගේ ගෙවල අහවර වුනත් අපිට අයිති නෑ කියන අදහස මෙතන නෑ. සාමාන්‍යෙයන් ෆිනෑන්ස් වල පොලිය තරමක් වැඩියි. නැත්තං හොඳටම වැඩියි. ෆිනෑන්ස් වලට කුලී සින්නක්කර (Hire Purchase) කියලාත් කියනවා.

ලීසිං දෙන්නෙ වාහන වලට විතරද?
අපොයි නෑ. අරුත් නිර්වචනය අනුව නම් රජයෙන් කර්මාන්තශාලවක් ඉදිකරන්න බදු දෙන ඉඩමක් ගත්තොත් ඒකත් ලීසිං එකක්. හැබැයි වැඩිපුරම ලීසිං කියන සංකල්පය යෙදෙන්නෙ වාහන, යන්තර සූත්තර වගේ දේවල් ගන්නකොට තමා.

ලීසිං වල පොලිය කොහොමද?
ඔය පොලිය ගැන නම් සමහර ෆිනෑන්ස් කොම්පැනි විනිවිද බාවයෙන් කටයුතු කොරන්නෙ නෑ. හැබැයි තමුන්නැහැලට පුලුවං ලීසිං වාරිකය (Lease Rental) දන්නවනං ඒ පොලිය හොයාගංට. ඔය කොයි කොම්පැනියත් කියන්නෙ අපි ගන්නේ ලස්සෙට අච්චරයි, මෙච්චරයි, වනචරයි කියලා. ඉතිං පොලිය ගනං බලන්නේ මෙන්න මෙහෙමයි.

අපි හිතමු, එක වාරිකයක් (down payment) මුලිංම දාලා ගත්තොත් රුපියල් 100,000 (ලක්සෙකට) අවුරුදු 4 කින් ගෙවංට මාසික ලීසිං වාරිකය වැට් (VAT-Value Added Tax) එකත් එක්කම රු.2,894/- යි කියලා. මේක කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනිය. අපි ගෙහුං අහගංට ඕනෑ.

දැන් ඕකෙන් අඩුකරංට වැට් එක. ඒ කියන්නේ 11% ක් (ඉස්සර 12% යි), මෙන්න මේම... ඒ කියන්නේ 2,894 හැදෙන්නේ 11% ක වැට් එකත් එක්ක නම්, ඒක 111 න් බෙදලා 100 න් වැඩිකරමු, මේම...

2894 x  100 / 111 = 2607


මේ රු.2,607 තමා වැට් නැති ශුද්ධ වාරිකය. දැන් අවුරුදු 4 (මාස 48) ක්ම ඔය ගාන ගෙවන්ට එපෑ. එතකොට ගෙවිලා ඉවර වෙන ගාන මේං... 

2607 x 48 = 125136

ඔතනිං ලක්සයක් අයිං කොලාම මුල් මුදලට, පොලිය විතරක් රු.25,136 ක් වෙනබව ඔය ඇත්තංට තේරෙනවනෙ. හැබැයි, ඔය පොලිය අවුරුදු 4 ටමනෙ. ඉතිං අවුරුද්දකට බලංට ඕක බෙදංට 4 න්.

25136 / 4 = 6284

මේ එක අවුරුද්දක පොලිය. හැබැයි පුතෝ, ඔය ලස්සෙම මුලු අවුරුදු 4 ම තියෙන්නෙ නෑනේ. ගෙවිලා අඩුවෙනවානෙ. පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා බිංදුව වුනාමනෙ අපි ණයෙං නිදහස් වෙන්නෙ. එහෙනං, අවුරුදු 4 ම තිබුණු සාමාන්‍ය සේසය රු.50,000 යි කියලා කිව්වොත් මං වැරදිද? හරි, එහෙනං, රු.50,000 කට අපි අවුරුද්දකදි ගෙවනවා රු.6,284 ක්. දැන් බලන්න ප්‍රතිශතය මේම...පනස් දාහට 6284 නම් සීයට කීයද?

6284 / 50000 x 100 = 12.56%

ඒ වගේම කියංට ඕනි, මුලිං දාන වාරික ගාන වෙනස් වෙනකොට ඔය පොලී අනුපාතෙත් වෙනස් වෙලා වාරිකෙත් වෙනස් වෙනවා. උදාහරණෙකට ගත්තොත්, වාරික 5 ක් එකපාර මුලිංම දැම්මම, අර උඩහ කියපු රු.2,894 වෙනුවට රු.2,788 ක් වගේ මුදලක් ගෙවංට ඕනැන්නෙ. එතකොට පොලී අනුපාතය වෙන්නෙ 10.29% ක්. හදල බලංටකො. එහෙම වෙන්නෙ අපිත් යම් දායකත්වයක් දාලා ණය වන ප්‍රමාණය අඩුවන නිසා.

මං ලියනවා දිග වැඩි හිංද, හිතුවා කොට කොරංට. අදට පාඩම ඔච්චරයි. බලාසිටි ඔබ සැමට ඉස්කෝතුයි. පුරස්න ඇත්තං අහංට ඈ...

මහේෂයෝ, අනේ බයිංටනං එපා ඈ... 

ප/ලි: ඒ පාර ලැච්චර බයිනවා, සරලව පැහැදිලි කොරංටලු. 



Friday, November 7, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-3



තමංගෙ ආකාස මංදිරේ අටෝගංට ණයක් කාරිය ගංට ඕනෑ උනාම කොරංට ඕනෑ කෙරුවාව මම දැං මේ සුහුඹුලංට උගංනමිං ඉංනෙ. අදම ආපු ඇත්තො ඔය පහල තියෙන එව්වට කොටල ගිහිං බලලම ආවනං අහකයිනෙ.
  1. පළමු පාඩම
  2. දෙවන පාඩම
ඉතිං ළමයිනේ, තමංගෙ සිහින මංදිරේ ඉදිකොරාගන්න ණය වෙන ගමනෙදි තමං ගේ හදන ඉඩම තක්සේරු කොරල (Valuation) තමා අපි අන්තිමට නතර උණේ. තක්සේරු කොරනකොට තව බලන කියන කාරණා කීපයක් අපි දැනගම්මු.
  1. ඉඩමට පිවිසීම (Access) - ඒ කියන්නෙ ප්‍රධාන පාරකිං ගිහිං තව
    පාරකිං හෝ කීපෙකිං ඉඩමට ලඟාවෙනවානං (අර කියන්නෙ, කොළඹට විනාඩි පහයි, ප්‍රධාන පාරට විනාඩියයි කියලා) මෝටර් රථයකින් යන්න හැකි (Motorable Access) වෙන්න ඕනි. (අඩි 10 පළල පාරක් වගේ)
  2. මායිම් වෙන්වීම (Boundaries Demarcation) - පැලෑනෙ විදිහට
    හඳුනාගත හැකි පරිදි ඉඩමෙ මායිම් වෙන්ව තියෙංට ඕනි. ඒ කියන්නෙ මායිම් කණුවක්/ගලක්, දොළපාරක්, මහපාරක්, තාප්පයක්, ඉනිවැටක් වගේ වෙනස් නොවෙන දේකින් මායිම් ලකුණු වෙලා තියෙංට ඕනි.
  3. කුලී නිවැසියන් (Tenants) -ගෙයක්නං ඒක කුලියට දීලා තියෙනවද? එතකොට ඒ සැට් එක පන්න ගන්නෙ කොහොමද වගේ එව්වා.
  4. පළාත් පාලන සීමා (Local Authority Clearances) - එතකොට මහ නගර සබා, නගර සෝබිනී...නෑ...නෑ...නගර සබා, පුරාදේසීය සබා වගේ එව්ව තමංගෙ පවරා නොගැනීමෙ සහතිකෙං කියනවා මාර්ග පළල් කොරංට හරි පොදු වැඩකට හරි මේ ඉඩම පවරගංට එහෙම බලාපොරොත්තු වෙනවද/නැද්ද? ඒ වගේම වීථි රේඛා සහතිකෙන් කියනවා මාර්ග දෙපස කොටස විදිහට හෝ ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ නොදෙන කොටස විදිහට ඉඩමෙ කොච්චරක් වෙං කොරංට ඕනිද? අන්න ඒවාත් තක්සේරුවෙදි සලකා බලනවා. එහෙම වෙන්කිරීම් තියෙනවානං එව්වට අඩු කරලා ඉතිරිය තමා තක්සේරු කොරන්නෙ.
  5. යටිතල පහසුකම් (Infra-structure Facilities)- මාර්ග, විදුලිය, නළ ජලය, දුරකථන ජාල (ලයිට් අතලඟ, වතුර කට ළඟ, ටොයිලට් එක .... නෑ ඕන්නෑ) වගේ එව්ව තියෙනවනං ඉඩමේ වටිනාකම ඉහල යනවා.
  6. උපද්‍රව හා වටපිටාව (Disasters & Surrounding) - අනෙක් අතරට
    ගංවතුර, නායයෑම්, මුහුදු ඛාදනය වැනි සොබාවික උපද්‍රව වගේම අහල පහල පාසලක්/සතිපොලක්/මස්කඩයක්/මාලුකඩයක්/පිට්ටනියක්/හෝං පිට්ටනියක් වගේ එව්ව එහෙම තියෙනවානං ඉඩං මිල පහල යනවා.
  7. පවත්නා මිල (Prevailing Price) - ඉඩමෙ මිලනං තීරණය කොරන්නෙ ඊට ටික දොහකට කලිං කරපු ඉඩං වෙන්දේසි, පුද්ගලික විකිණීම් ආදියේදී විකුණුනු මිල ගනං අනුව
මේ තක්සේරුවේ බලකර විකිණීමේ වටිනාකමේ යම් පොරතිසතයක් තමා ණය විදිහට දෙන්නෙ කියලාත් මං කිව්වනෙ. 

ඉඩමෙ මිල තක්සේරු වටිනාකමට අඩුනං?
හැබැයි, නිවාස ණය වලදි සමහර බැංකු විවෘත වෙළඳපොල වටිනාකම අනුව ණය තීරණය කරනවා. උදාහරණයක් විදිහට ඉඩමක්/ගෙයක් (ඉඩං නැතිව ගෙවල් හදන්නෙ අහසෙයැ නේද?) සල්ලි දීලා ගංට තනනකොට, ඒ ඉඩම/ගෙය විකුණන මිල (selling price) හෝ එ්කෙ විවෘත වෙළඳපොල වටිනාකම (open market value) කියන දෙකෙං අඩු එක අරං යම්කිසි නියමිත පොරතිසතයක් තමා ණය දෙන්නෙ. ඔව්ව ඉතිං දර්ශීය සැලැස්මක් වගේ කියංට බෑ, බැංකුවෙන් බැංකුවට පොරතිපත්ති වෙනස් නොවැ.

ඉඩං අයිති බුවාත් ණයනං?
හොඳයි, අපි හිතමු ඉඩම අපිට විකුණන බුවාත් දැනටම ඒ ඉඩමට ණයක් අරං තියෙනවා කියලා. අන්න එතෙංදි වැඩපිළිවෙල පොඩ්ඩක් රුයිතෙට යනවා. ඒ කියන්නෙ, අපිට ඔරිමජිනල් ලියකියමං (ඔප්පුව වගේ) ටික අතට ගන්ට බෑ ඒ ණය පියවෙනකංම. ඉතිං සහතික කොරාපු පිටපත් තමා දෙන්නෙ. අන්තිමට අපිට ණය දෙන වෙලාවෙ කලිං අයිතිකාරයා ගත්තු ණය මුදලේ බැලන්ස් එකට (මෙතනදි පොලිය ගෙවංට ඕනි ණය ගත්තු බුවාමයි) බැංකුවෙ නිළධාරියෙක් චෙක්එකක් අරං ගිහිං ඒක ඒ බැංකුවට දීලා කැන්සල් කොරපු උගස් ඔප්පුවයි (discharged mortgage bond), අනෙක් ඔරිමජිනල් ලියකියවිලි ටිකයි මේ බැංකුවට අරං එනවා, හරියට ගෙදෙට්ටම ගිහිං නෝනා ඇරං එනවා වගේ.

ණය අනුමත කොරන්නෙ කොහොමැයි?
ඒවා මේ පොඩි ළමයිංට දැනගංට ඕනි කාරණා නෙමෙයි. එව්ව ඇවිල්ල අබ්යංතර කටයුතු, හුහ්! ණය අනුමත කරංටනං අනෙක් අවශ්‍යතා සේරම හරිනං, ඒ කියන්නෙ ඉඩමෙ අයිතිය නිරවුල්නං, තක්සේරුවෙදි අවුලක් නැතිව සියල්ල සිද්ද වෙනවානං, කලිං ගත්තු ණය නොගෙවාපු අනං මනං කචල් නැත්තං, ණය ගෙවංට තරමෙ හැකියාවකුත් තියෙනවානං බැංකුව ණය සංදේශයක් හදලා අනුමත කරගන්නවා. එතෙංදි යම් යම් කොන්දේසි දාංට පුලුවං ණය අනුමත කොරන උත්තමයො. මෙන්න මේ වගේ,
  1. නිවසක් ඉදිකිරීම හෝ ඉඩමේ ඉදිකල නිවසක් ඇත්නම් එහි වටිනාකමට අකුණු/ගිනි/සොරබිය/ගංවතුර වැනි ආවරණ සහිත රක්ෂණයක් (Fire & lightening, theft, flood...Insurance Cover) ලබාගැනීම.
  2. මාසික වැටුපෙන් ණය මුදල කැපීයාමට ප්‍රමාණවත් මුදලක් බැංකුව වෙත හැරවීම (Deduction from pay).
  3. නිවසක් හදනවානං, කොටස් වශයෙන් (උදා. අත්තිවාරම, බිත්ති
    බැඳීම, ජනෙල් දොරවල් සවිකිරීම, වහලය ගැසීම, අනෙකුත් වැඩ ආදී වශයෙන්) ඒ ඒ වැඩ කොටස අවසන් කරන ආකාරයට ණය නිදහස් කිරීම (stage-wise disbursement).
ඉතිං ඊට පස්සේ....
හිතුවෙ සරත් මධු වගේ මාත් චිත්‍ර අඳියි කියලද? නෑ...නෑ...මට එව්ව බෑ. ඉතිං ළමයිනේ ණය අනුමත උනා කියන්නෙ බබා හම්බවුනා වගේ තමා. ඉතිරිටික හරි පහසුයි. සරලයි.

ඔන්න බැංකුව හරි බැංකුවෙ ලියාපදිංචි නීතිඥ මහත්තයෙක් හරි උගස් ඔප්පුව (mortgage bond) හදනවා. ඉඩමක් සල්ලිවලට ගන්නවනං විකුණුම්කරය (deed of transfer) කියන ඔප්පුවත් හදනවා. මුලිංම හදන්නෙ ඒකෙ කෙටුම්පත (draft). අපි ඒක තහවුරු කලාම තමා මුල් පිටපත් (fair copies) හදන්නෙ.

ඊට පස්සෙ උවමණා පමණට මුද්දර කාරිය ගහල සාක්කි කාරයො (witnesses) දෙන්නෙක් සහ අර නීතිඥ මහත්තැං ඉස්සරාපිට අපි උගස් ඔප්පුව අස්සං කොරනවා. ඒක නීතිඥ මහත්තැං සහතික කොරල ඉඩං කච්චේරියට යවනවා. ඒක ලියාපදිංචි උනාම (දැංනං දවස් 3 න් වගේ වෙනවා) ඒ ලියවිච්ච පත් ඉරුව (extract of registered folio) අරං බැංකුවට ගෙනත් දුන්නු ගමං බඩු අතේ.

මතක තියාගංට, ඉඩමෙ කලිං අයිතිකාර බුවා ණයක් අරං තිබෙුණොත් ඒ ඉඩමටම, ඒ උගස කැන්සල් කලබවට ඉඩං කච්චේරියෙ ලියවෙංට ඕනෑ. 

ඒ වගේම මම කලිං දවසෙ කිවුව වගේ හිමිකම් රක්සනයක් එහෙම දාලානං ඒ කොම්පැනියට තව පත් ඉරුවක් එක්ක උගස් ඔප්පුවෙ 3 වෙනි පිටපත (counter-part original) දීලා ඒකට පිටසනක් (endorsement to title insurance) ගංටත් ඕනි. එතකොට තමා වැඩේ සම්පූරණ වෙලා දෙයියාගෙ මල්ලි අතට වඩින්නෙ (කුපාඩි කොල්ලො වරදවා තේරුං ගන්නවා හෙම නෙමෙයි!).

හප්පා... කොටාගෙන කොටාගෙන ගියා මාංසිත් එක්ක. එහෙනං විසිටරයා මාංසි නිවාගෙන ආයි එන්නංකො මේ පැත්තෙ, ඔහෙලගෙ පුරස්නවලට උත්තර බඳිංට හෙම ඈ....

Sunday, November 2, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-2



අනේ මෙහෙම ගේකිං එළියට වෙලා තුරුල්වෙලා හිටියත් මදෑ නේද? “සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං“. දැං අපේ ළමයි ටික හවුසිං ලෝං එකට ඕනි අඩුම කුඩුම ලෑස්ති කරගත්තනෙ. (ඒ මොකක්ද ඇහුවා? ඇයි බොලව් ගිහිං බලාපල්ලකො කලිං එක)

හරි...හරි... දැං ඔය ටිකත් අරං ගිහිං බැංකුවට දුන්නය කියමුකො. ඊට පස්සෙ ඉතිං හැමදාම උදේ හවස ගිහිං මැනේජර් උත්තමයට රිමයින්ඩර් දාන එකයි තියෙන්නෙ සල්ලි දෙනකං කවද හරි. මේ ලියකියමං ටික අරගෙන බැංකුව මක්කැයි කොරාන්නෙ කියල දැන් පොඩ්ඩක් හොයල බලමු.

ඉස්සෙල්ලම බැංකුව හොයා බලනව මේ ගණුදෙනුකාර උත්තමය කොහේට හරි පොලු එහෙම තියල තියෙනවද කියලා. ඒ ගැන අපි දවසක් කතා කලා මතකද? ශ්‍රී ලංකා ණය තොරතුරු කාරියාංසෙ (Credit Information Bureau- CRIB) තමා ඔය පැටිකිරිය ලියවිලා තියෙන්නෙ. ඒකෙ තියෙනවා බැංකු හරි වෙනත් ෆිනෑන්ස් කොම්පැනි වලිං හරි අරගත්තු ණය, ඒ වගේම බෑ කියන්ට බැරිකමට ඇප අස්සන් කොරපු ණය, ජංගම ගිණුමක් තියේනං ඒකෙ වැදිල ආපහු ගිය සිංහලෙන් කියනවානං රිටර්න් වෙච්චි චෙක් ගැන එහෙම. ණය ගත්තු ආයතනය, ණය මුදල, දැන් තියෙන ශේෂය, හිඟ මුදල් විතරක් නෙමෙයි හිඟ හිටපු දින ගානත් තියෙනවා. තමංට බැංකු ගිණුමක් තියේනං ඒ බැංකුව හරහා ඔය CRIB Report එක ඇරං බැලුවෑකි අමතක වෙච්ච ණය/ඇප වෙච්ච එහෙම තියේද කියලා. තමං ණයක් ගංටම ඕනි නෑ ඕක බලාගංට. මෙන්න මේ රිපෝට් එක අප්සැට්නං යූ-රිපෝට් එක පොසිටිව් ආව වගේ වැඩේ ටිකක් අප්සැට්. මං කියන්නෑ ණයක් ගන්ට බෑ මේ සම්ම කපේදි කියල. ඒ ඒ බැංකුව තමා තීරණය කරන්නෙ මූට ආයි දෙනවද, නැද්ද කියලා. එහෙම අප්සැට් තියේනං ඒ තැංවලට ගිහිං හිඟ පියෝල දාල ලියුං කරදහියක් ගන්න එක තමා පොදු කරමෙ. මතක තියාගංට, ණය කාඩ්පත් (credit cards) එහෙමත් ඕකෙ සටහන් වෙන බව. මේක ඔන්ලයිං රිපෝට් එකක් ඈ...

ඔය රිපෝට් එකේ හැටියට මිනිහගෙ පැටිකිරිය හොඳයි නං බැංකුව පටං ගන්නවා තමුන්නාන්සෙල ගෙනාපු ඉඩමෙ පැටිකිරිය හොයන්ට. ඒකට මුලිංම කොරන්නෙ හිමිකම් වාර්තාවක් (Title Report) ඒ බැංකුවට පත් කොරල ඉන්න නීතිඥ මහත්තයෙක් මාර්ගයෙන් ලබා ගන්න එක. මේ රිපෝට් එක හොඳයි නං ඔන්න ලේ එකක් චැක් කොරල සැටිස් උනා වගේ තමා. ඉස්සරහට යංට ඇහැකි. හැබැයි වැඩේ කචල් වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි? නෑ...නෑ... අයිනෝ අයිනෝ පිහියෙං. ඔහොම වෙන්නෙ පුතේ මෙහෙමයි.
  1. ඉස්සර මේ කියන ඉඩම බෙදලා වෙන් නොකර අයිතිය පැවරි පැවරි ඇවිත් ඇත්නං (නොබෙදූ 1/5 ආදී වසයෙන්)
  2. ඉඩමේ නියම වටිනාකමෙන් 1/2 ක් වත් නොදා ඔප්පුව ලිව්වම
  3. වෙනත් යම්කිසි කහටක් මේ ඉඩමේ පිරිසිදු අයිතියට වැටුනොත්
අන්න එතෙංදි ගංට ඕනි හිමිකම් රක්ෂණයක් (Title Insurance Policy). මේක ඇවිල්ල පිළිගත් රක්ෂණ සමාගමකිං ගංට ඕනි. එයාලා ඉඩමේ තක්සේරු වාර්තාවකුත් ඉල්ලනවා. ඒ ගැන මං කියන්නං පහල. හොඳට දැනුවත් වෙලා ඉංට, බැංකුවෙන් අහලම ඔය රක්ෂණ සමාගම තෝරගංට. මොකද සමහර බැංකු සමහර රක්ෂණ සමාගම් වලින් නිකුත් කරන හිමිකම් රක්ෂණ ඔප්පුවල වටිනාකම් එකතුවට සීමා දාලා තියෙනවා. ඒවා නොදැන ඔක්කොම කොරල බැංකුව ඒ රක්ෂණ ඔප්පුව භාර නොගත්තොත් ජලා..හුටා...සල්ලි ජලේ. මොකද, ඔය කියන රක්ෂණයට තරමක විශාල මුදලක් වාරිකය විදිහට ගෙවන්ට ඕනෑ. එහෙම ගෙවන්නෙ එක පාරයි (Once & For All). 


හොඳයි, මේ හිමිකම් වාර්තාවත් හරිනං ඔන්න තක්සේරු වාර්තාව ගංට ඕනි. ඒකට ඒ ඒ බැංකුවට පත් කොරපු තක්සේරු මහත්තුරු (Panel Valuers) ඉන්නවා. උන්නැහේට බැංකුවෙන් දන්නාපු ගමං එයා ඉඩමටම ඇවිත්, විස්තර හොයල, මැනල කාරිය තක්සේරු වාර්තාවක් දෙනවා. මේ වාර්තාවෙ ඇතුලත් වෙනවා වටිනාකම් 3 ක්.
  1. හොඳ මාකටිං පාරකට පස්සෙ ඉඩම ගැන හොඳ දැනුමක් ඇති ගැණුම් කාරයෙක් ඉන්නවානං කිසි අවුලක් නැතිව අයිතිකාරය ඉඩම විකුණන්නත් කැමතිනං හැම දෙයක්ම ඕ.කේ. නං, කිසිම බලපෑමක් නැත්තං ඉඩම විකිණෙන මිලට කියනවා Open Market Value හෙවත් විවෘත වෙළඳපොල වටිනාකම කියලා. ඕක හදන්නෙ ඉඩමෙ පර්චස් ගානට වගේම ගොඩනැගිලි තියේනං ඒවයෙ වර්ග අඩි ගාණ ආදියට වටිනාකම් ගණනය කරල හෝ නිවසක්/ගොඩනැගිල්ලක් කුලියට දෙනව වගේ ආයෝජනයකින් ලැබෙන වටිනාකම අනුව.

  1. අනෙක් වටිනාකම පුනස්ථාපන රක්ෂණ අගය හෙවත් Reinstated Insurance Value. ඒ කියන්නෙ ගොඩනැගිලි තියෙනවානං ඒවට ගින්නෙන් හෝ වෙනත් ආකාරයකිං හානි වෙලා විනාශ වුනොත් නැවත ඉදිකිරීමට යන වියදම. මේක ඉඩමට අදාල වෙන්නෙ නෑ. මේ වටිනාකමට ගිණි හා අකුණු බිය රක්ෂණයක් ලබාගන්න ඕනි බැංකුව නමට නියද (Assign) කිරීමක් එක්ක. නියද කලාම යම් විදිහකින් රක්ෂණ වන්දිය ගෙවන්න රක්ෂණ සමාගමට සිදුවුනොත් සල්ලි එන්නෙ බැංකුවට.

  1. තව ඉතාම වැදගත් අගයක් තමා බලකර විකිණීමේ වටිනාකම හෙවත් Forced Sale Value. මෙතනදි අර වෙළඳපොල කියන සංකල්පෙන් මිදිල උපකල්පනය කරනවා සාධාරණ කාලසීමාවකුත් නැතිව, අනපේක්ෂිත හේතුවක් මත ඉඩම හදිසියේ විකුණන්න උනා කියලා. එතෙංදි අර වෙළඳපොල වටිනාකමට වඩා තරමක් අඩු අගයක් තමා ලැබෙන්නෙ. ඉඩම බලෙංම ඇඟේ ගැහුවොත් බෑ නොකියා ගන්න හැකි ලංසුව තමා මේ. මේ වටිනාකම වැදගත් වෙන්නෙ බැංකු විසින් තමන් ලබාදෙන ණය මුදල තීරණය කරන්නෙ මේ බලකර විකිණිමේ වටිනාකමෙන් නිශ්චිත ප්‍රතිශතයකට. ඒක බැංකුවෙන් බැංකුවට වගේම ණය ගන්න කාරණය වගේම ගණුදෙනුකාරයගෙ තත්ත්වය අනුවත් වෙනස් වෙනවා.
හිතුවට වඩා දික්වුනා මේක. මේ කාරණ එහෙම දිග හෑලි විදිහට ලිව්වොත් මෙලෝ රහක් නෑ. ඒ හිංදා මං දැං ගොහිල්ලා බොලාගෙ පුරස්න වලට උත්තර බඳිංට ආයි එන්නංකො ඈ............ ටටා......