Saturday, December 19, 2015

අම්මපා මොකටද මේ බැංකු?


ගියපාර දාපු ලිපියෙන් 2016 අය වැය බැංකු ක්ෂෙත්‍රයට බලපාන හැටි ගැන මධ්‍යස්ථ මතයකින් මම කරුණු දැක්වුවානොවැ. ආච්චිට හාල් ගරන්න ගරු කථානායකතුමනි, අර මාතලං කියන අපේ ලොකු අයියා මට කණ පැලෙන්න ගහලා තිබුණානොවැ සතියක් යන්න කලිං. ඉතිං ඒ අයියා ලියපු ටික දැකලා මට පැනපු මල, මේ ලිපියත් ලියලා ගේම ඉල්ලන්න තරමට දුර යයි කියලා මුලදි හිතුන්නෑ මටවත්.

පහුගිය 17 වෙනිදා හිරු ටී වී එකේ බලය වැඩසටහන මේ කතාවට ඈඳෙන්නෙ ඔන්න ඔය අතරෙ. ඒ වැඩසටහන ගැනත් යමක් කියනවානං, එතනට ආවා ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්, ගුරු සංගමයේ ලේකම්, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ලේකම් සහ අපි කෙරේ පතල මහා කරුණාවෙන් නිතරම පවතින රජයන්ට බලපෑම් කරන අර මහ පාරේ මැර ලේකම්. මේ අය ගැනත් තවත් යමක් කියනවානම්, ගුරු සංගමයේ ලේකම් ගැන මම වැඩිය දන්නෙ නෑ වුණාට උන්නැහේ මේ සාකච්ඡාවෙදි හැසිරුණු ආකාරය මහත්මයෙකුගේ ලක්ෂණ පෙන්නුවා. අර බැංකු සේවක සංගමයේ ලේකම්නම් මේ වැඩසටහනට එව්වේ ඇයි කියලා මට හිතුනේ, උන්නැහේ එහෙම සාකච්ඡාවකට පණ මදි නිසා. අනික එයා තමා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩි වැටුප් එපා කියලා 2012 දි පාරට බැහැපු වෘත්තීය සමිති නායකයා. අනික් ලේකම් දෙපොලනං දෙයියනේ කියලා සාකච්ඡාවට පණ වැඩි අය බව පෙනුනු අතර මහ පාරේ ලේකම් තමන්ගේ මැරකම් පෙන්නුවේ තමන් නියෝජනය කොරන කොට්ඨාශයේ ආවේනික ලක්ෂණ මනාව පෙන්නුම් කරමින්. අවාසනාවට, මේ හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම වෘත්තීය සමිති නායකයින් විදිහට ස්වාධීනව කම්කරු අයිතීන් වෙනුවෙන් කතාකරනවාට වඩා වැඩි බරක් යෙදුවේ තමන් පෙනී හිටින දේශපාලන පක්ෂය ආරක්ෂා කරන්න. ලංකා බැංකු සේවක සංගමයේ පොර ඒ කතාවට සම්බන්ධ නොවුනාට අපි උන්නැහේ ගැන දන්නවා.

ආයිත් එහෙනං දැං මාතලං එක්ක ගේම. මාතලං මේ ලිපියේ මුලින්ම දක්වන්නේ සමහර බැංකු සේවකයින් මේ දවසෙත් නිවාඩුවක් අරගෙන ආතල් එකක් ගන්න තිබුණු අවස්ථාව නොලැබීම ගැන දුක් වුණා කියලා. ඒක ඇත්ත. මොකද, ඔය කියන දවසේ වර්ජනයට සහභාගී නොවී, අත්සන් කරන තැනක් තිබුණොත් මගේ අත්සනත් ගහපල්ලා කියලා තමන්ගෙ සගයින්ට කියපු මන්ද මානසික බුවාලා, බුවීලා නොහිටියා නෙමේ. වගකීමක් දරණ එවුන් කියනා කතාවක්ද කියලා හිතෙනවා. හැබැයි, ඒ බොහොම සුළුතරයක් මිසක් සමස්ත බැංකු ප්‍රජාවේ කැඩපත නෙමේ.

රජයේ බැංකු දැන් පුද්ගලික බැංකු තරමටම හෝ ඊටත් වඩා ගණුදෙනුකරුවන්ට සමීප වෙලා තියෙනවා. හැබැයි, ඉඳ හිට හණ මිටි බැංකු කාරයෝ නැතිවා නෙමේ. ඒ වුණාට, බැංකු වගේ තමන් අනිවාර්යයෙන් යා යුතු නොවන විකල්ප තිබෙන තෝරාගැනීමකදි, මිනිස්සු පුරුදු වෙනවා, තමන්ට පෞද්ගලිකව යම් අසාධාරණයක් යම් බැංකු නිළධාරියෙක් අතින් සිදු වුණෙත් ඒ සමස්ත බැංකුවම ඒ වරදින් හංවඩු ගහන්න. අන්න ඒ නිසා, අපිට අහන්න ලැබෙනවා 'අපෝ .... බැංකුව ගැනනං කියලා වැඩක් නෑ. මට මෙහෙම කලා. මට අරහෙම කලා' කියලා. ඒ අතරෙ තව කෙනෙක් කියනවා 'මම ගණුදෙනු කරන්නෙ .... බැංකුවත් එක්ක. මට හොඳට සලකනවා' කියලා. මේක මාතලංගෙ පෝස්ට් එකට ලැබුණු ඇතැම් කමෙන්ට්ස් වල දකින්න තිබුණා. මේ විනිශ්චයන් දෙකම එල්ල වෙන්නේ සමස්ත බැංකුව වෙත. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ, මේ අසාධාරණය හෝ සැලකිල්ල ලැබුණෙ එක් නිළධාරියෙකුගෙන්/එක් ශාඛාවකින් කියන එක. ඒ මගින් සමස්ත බැංකුවම විනිශ්චය කරන්න බෑ.

රාජ්‍ය බැංකු සංකල්පය ලංකාවේ බිහිවුණේ යටත් විජිත සමයේ. ඒ ප්‍රමිතියක් සහිතව, සහන කොන්දේසි මත, විශ්වාසීව ගණුදෙනුකිරීම සඳහා. හැබැයි, ඒ බිහිවුණ බැංකු ක්‍රමයේ තිබුණේ යටත් විජිත ආධිපත්‍ය ලක්ෂණ. පරණ පාස්පොතක් අරං බලන්න. ‘මෙහි ශේෂයේ හෝ ගණුදෙනු වල වරදක් ඇතොත් ...... වෙත පැමිණිලි කරනු‘ වගේ අණ කිරීම් තිබුණා. මේවා සිංහලට වරනැගීමේ වැරදි වෙන්න පුළුවන්. ඒ වුනාට මේ පාඨ කියවන බැංකුවේ පියන් වුණත් හිතනවා, යකෝ අපිත් පොරවල්නෙ මුංට අණ කරන්න කියලා. මේක රාජ්‍ය ආයතන බර ගානක ලක්ෂණයක්. ඔය මානසිකත්වය රාජ්‍ය බැංකුවල තිබුණා, පුද්ගලික බැංකු එනතුරු. අදටත් ඇතැමුන් තුල තියෙනවා, බය වෙන්න එපා ඒ අය හෙට අනිද්දාම පෙන්ෂන් යනවා. මම කියන්නෑ රාජ්‍ය බැංකු තමා හොඳම කියලා. ටාගට් පස්සේ පිස්සු බල්ලෝ වගේ දුවන තත්ත්වෙට ඒවාත් දැන් පත්වෙලා. ගුණාත්මක සේවය එතනදි ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්.

කොයි ආණ්ඩුව ආවත් තමන්ගේ සපෝටර්ලාගේ හිතසුව පිණිස, බැංකුවලට කෙළවලා හරි ණය අරන්දෙන/නොගෙවන ණය කපාදමන බව මම බොහෝම වගකීමෙන් කියනවාය. ඒ නිසා, ඔය දේසපාලුවෝනම් කවදාවත් සාමාන්‍ය ගණුදෙනුකරුවාටවත් බැංකු වල යහපතටවත් කොරනා මගුලක් ඇත්තේම නැති තරම්ය. සාමාන්‍යයෙන් ණය යෝජනා යන්නේ පහල සිට උඩහට උනාට අරවා එන්නේ අනික් පැත්තටය. අන්තිමට ආණ්ඩු මාරු වුණාම කෙලින්නේ බැංකුවේ ඉන්නා නිළධාරීන්ට මිස අණ දීපු දේසපාලුවාට නොවේය. 

දිළිඳුකම දුරුකර රටේ ආර්ථිකය ඉහල නංවන්නට, විශේෂයෙන් කෘෂිකර්මය ඇතුළු බිම් මට්ටමේ කර්මාන්ත නගා සිටුවන්නට, නව ව්‍යවසායකයන්ට අත දෙන්නට බැංකු මූලිකත්වය ගතයුතු බවට තර්කයක් නැත. එහෙත් පුද්ගල ණය, දෙවන පෙළ ගණුදෙනුකරුවන් ඉලක්ක කරගත් බැංකු ක්‍රමය ඇතුලේ ඒ තරම්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්. උදාහරණයකට සබ් ප්‍රයිම් ක්‍රයිසිස් ඇවිල්ලා ඇමෙරිකාව කෙළවාගත්තෙත් මේ ක්‍රමයේ ණය නිසාය. ඒ හින්දා, පුද්ගල ණය හෙවත් ස්ථිර ආදායම් ලාභී රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට වැටුපෙන් නොවරදවාම අයවෙන නිසා පාරිභෝජන ණය දීලා මේ රටේ ආර්ථිකය නගාසිටුවන්නට බැරිය. කරුමෙට බැංකු ටික කොරන්නෙත් ඕකමය. ව්‍යාපාරික ණයක් අනුමත කරගන්නවා කියන්නේ එසේ මෙසේ කෙළියක් නෙමේය. ඒවාට තරම් බොට්ල්නෙක් කොහෙවත් නැත.

උදාහරණයකට අපි හිතමු මොණරාගල කොල්ලෙක් සෙරෙප්පු හදන කම්හලක් දාන්න ණයක් ඉල්ලනවා කියලා. මේකාට සෙරෙප්පු හැදීම ගැන අත්දැකීම්/පළපුරුද්දත් තියෙනවාය කියලා හිතමු. ඒ වගේම මේ ණය මුදල අනුමත කොරන්න කොළඹ මහ කන්තෝරුවටම යන්න ඕනෑය කියා හිතමු. දැං ඕක යැව්වාම, කොළඹ මහ කන්තෝරුවේ ඉන්නා පුටු රත්කොරන ලොක්කෝ මේක දිහා බලන්නේ බාටා එක දිහා වගේය. ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් දිහා වගේය. ඒවායේ තියෙන සේරම මේකෙත් තියෙංට ඕනෑය. මොනවා හරි නැත්තං ඒවා ගැන පුරස්න කොරනවාය. මෙන්න මෙහෙම ලිං මැඩි මානසිකත්වයක් තියෙන් ලොක්කෝ ඉද්දි කොහෙද අප්පා ආර්ථිකේ සංවර්ධනය කොරන්නෙ? සමහරක් බැංකුවල පොඩ්ඩෝ බැංකුව හදනවාය. ලොක්කෝ කනවාය. සමහරක් බැංකුවල ඕකෙ අනික් පැත්තය.

මගේනං ආකල්පය, කලිං ගත්තු ණය පොල්ල නොතියා ඇදි ඇදී හරි ගෙවලා තියෙනවානං, ඌට ඊට වැඩි ණයක් දෙන්න ආයි ඇඹරෙන්න ඕනි නැතිය. අද කාලේ බැංකුවලට තියෙන අළුත්ම ලෙඩේ තමා අවදානම් කළමණාකරණය. ඒක ලෝකෙ පුරාමත් යන රැල්ලක්. ඔය බාසල් වන්, ටූ, ත්‍රී කිය කියා මතුරන්නේ ඕක තමා. ඉතිං දෙයියනේ අවදානමටත් එක්ක නේන්නං පොලියක් ගන්නෙ. තව ඇපේකුත් ගන්නවානේ හදිස්සියෙ කෙළවිලා ගියොත් සින්නෙට ගංට. මමනං කියන්නේ, ණයකාරයාගේ වැදගත් වෙන්නෙ චරිතය. ඒ කියන්නේ කන්‍යාභාවය නෙමේ, විශ්වාසවන්ත භාවය. මුළු මහත් බැංකු ක්ෂේත්‍රයම රැඳිලා තියෙන්නේ ඔය විශ්වාසය උඩ. අවුරුදු ගාණක් ගණුදෙනු කරලා, ණය අරං ගෙවලා විශ්වාසය තියපු ගණුදෙනුකාරයාට ණයක් දෙන්න වෙනත් කිසිම ඇගයීමක් උවමනා නෑ, ඒ තියපු විශ්වාසයම ඇති.

පර්සනල් ලෝන් අයථා පරිභෝජනයක් වෙනවා කියන එකේ යම් ඇත්තක් නැතුවා නෙමේය. වත්කමක් අත්කරගැනීම හෝ ආයෝජනයක යෙදීම සිදු නොවනවානම් ඒ ණය මුදල් ඉතාම ලොකු අවදානමකට ලක් වෙනවා. මොකද? ණයට අරං කාලා බීලා නාස්ති කලාට ගෙවන්න ඕනි පොලියත් එක්ක. වත්කමක් අත්කරගෙන තිබුණොත් ඒක විකුණලා හරි නිදහස් වුණෑකි. ආයෝජනයක් කලොත් ඒකෙන් එන ආදායමෙන් ණය ගෙව්වැහැකි. බැංකොක් ගිහිං පතායා ගියොත්... ඒත් ඉතිං ගෙව ගෙවා හිටියැකි.

රන් භාණ්ඩ උකස් ණය ප්‍රමිතිගත වුණේ නැතිය. ගමේ ගිනි පොලී කාරයාත්, දැල් කඩේ (තැබෑරුම නොවේ) පොරත්, පුද්ගලික බැංකුත්, රාජ්‍ය බැංකුත් පවුමට වැඩි මුදලක් දෙන තරඟෙට පොර කෑවේ පිස්සු බල්ලෝ වගේය. ඒ අතරේ පොලියත් අඩුවුණාය. ගිනි පොලී කාරයා ඉස්සර රත්තරං තියාගෙන දුන්නෙත් මාසෙට 10%-20% ටය. ඒ කියන්නේ අවුරුද්දට 120%-240% ටය. දැල් කඩේ අවුරද්දට 60% කි. බැංකුවල අවුරුද්දට 18% වගේ තිබිලා, දැන් 12% ටත් බැහැලාය. ඉස්සර වෙන්දේසිවල ඒතරම් බඩු තිබුණේ නැතිය. ඒ බව මම අත්දැකීමෙන් දන්නවාය. මේ හුටපට අස්සේ 2013 රත්තරන් බැස්ස බැහිල්ලෙන් පස්සේ, වෙන්දේසිවලට රත්තරං ගලන්නට පටං ගත්තේය. ආයි කට උත්තරත් නැතිය. මිනිස්සු බැංකුවලට බම්බු ගහගන්නය කියා, ගත්තු ණයටත් අඩු මුදලකට රත්තරං බඩු ආයි හදෝගත්තෝය. රත්තරං උකස් තියලා අවුරුදු/නත්තල් කනවා තමාය. අප්‍රියෙල් මාසේ මුල උගේ අම්මගේ පෝනිං පාරක් යනවාය. ඒ වුණාට ඔය අතරේ ළමයාට බේත් ටිකක් ගන්න ආදි වශයෙන් වූ සානුකම්පිත අවශ්‍යතා ඉහේ කෙස් ගාණට තියෙනවාය. ඒ නිසා පෝන් කරලා මගුල් කනවා පමණක් නොව තව අත්‍යවශ්‍ය දේවලුත් මිනිස්සු ඉටු කොරගන්නවාය. දැං ඔය බැංකුවල පෝනිං මුළු ණය ප්‍රමාණයෙන් 5%ට බැස්සුවාම, අනික් රත්තරං ටික අනිවාර්යෙන් දැල් කඩේට හරි ගිනි පොලී කාරයාට හරි යනවාමය. මාසෙකට පොලිය කොච්චරද කියලා අහලා රත්තරං උකස් තියන මිනිස්සු මටනං මුණගැහිලා නැතිය. පවුමට දෙන්නේ කීයද කියලානං අහනවාය. එහෙම වෙන්නේ, මිනිස්සුන්ට ඒ වෙලාවේ වැඩිම මුදලක් අවශ්‍යවන අත්‍යවශ්‍ය කාරණයක් නිසාය. මේ රටේ රත්තරං උකස් තියනා අයගෙන් වැඩි පිරිසකගේ පිටුපස ඉතාම සංවේගජනක කතාවක් තියෙනා බව වගකීමෙන් කියනවාය. ගිනි පොලී කාරයාගෙන් වුණත් පොලිය කීයද අහලා හැරිලා යන ගණුදෙනුකාරයෝ නැත්තේ ඒ කතාව නිසාමය.

ලීසිං ගැනනම් මාතේ දරණ මතයේ යම් දුරකට මාත් ඉන්නවාය. ඒ කියන්නේ හිටු කියලා ලීසිං දුන්නාම මිනිස්සු ජරා ඉන්දියන් කාර් ගන්නවා කියනා එකය. ඒක ඇත්තය. ඉන්දියන් කාරයාත්, චීනාත් ලෝකේ අනික් රටවලට මොනවා යැව්වත් අපිටනං එවන්නේ හත්ජරාවය. අවුරුදු පහක් යනකොට කෑලි ටික තියෙන්නේ වෙනත් ඉන්දියන් වාහන සීයකය. ඒ කෑලි වල පිහිටෙන් ඒ වාහනත් ආයි ආයි විමධ්‍යගත වෙනවාය. හැබැයි, බැංකුවල ඕක නැවැත්තුවාට පුද්ගලික ලීසිං හා ෆිනෑන්ස් සමාගම් ඕක ගජරාමෙට කොරගෙන යාවිය. ඒකත් වැඩි පොලියටය. ඒකත් අඩුම ඉක්විටි කොන්ට්‍රිබියුසන් නැත්නම් නෝ ඩවුන් පේමන්ට් ඇට් ඕල් ක්‍රමයටය. බැංකුවල නං 25%-30% ක් ඉල්ලනවාය. මොකද තමංගෙං කෑල්ලක් නැත්තං තමන්ට වගකීමක් නොදැනෙන නිසාය. ඒ නිසා, මේක බැංකුවලින් ඉවත් කලා කියලා ඉන්දියන් කාරයාට ඒ හැටි පාඩු නැත. අද මේ රටේ පඳුරකට පයිං ගැහුවත් බජාජ් මෝටර් සයිකල් හැට හැත්තෑවක් වීසි වෙන්නේ, බැංකු ලීසිං දීලා නෙමේය. 

යන්ත්‍රොපකරණ ගන්න ලීසිං දෙන්න ඕනෑය කීවාට, මොන බැංකුව ගත්තත්, මොන ලීසිං/ෆිනෑන්ස් කොම්පැනිය ගත්තත් ඔය වැඩේට අම්බ බයය. මොකද කියනවානං, වාහන වලට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක මැෂින් වලට නැති නිසාය. සමහරක් මැෂින් ගන්න ඉන්නේ ඒක මුලදී උවමනා වුණු කර්මාන්ත කරුවා පමණක්මය. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්ය. ඇත්තටම මේ රටේ කර්මාන්ත දියුණුවට තියෙන අන්තිම කාළකන්නි බාධාවක්ය.

හැබැයි, මෙන්න මෙහෙම කතාවක් කණිං කොණිං ඇහුනේය. ඒ කියන්නේ, ලීසිං වෙනුවට ණය ක්‍රමයක් බැංකු හරහා හඳුන්වා දෙන එකය. අන්න ඒකෙදිනං ගණුදෙනුකරුවාට වාසියක් වෙන්නේ, ලීසිං වගේ මුළුමනින් ආපහු ගෙවලා නිදහස් වෙන දවසක, ඉස්සරහටත් එක්ක පොලී ගෙවන්න උවමනාවක් නැති නිසාය. ඒ නිසා එහෙම දෙයක් වෙනවානං හොඳය.

බැංකුවල උපදේශකයින් පත්කිරීම ගැනත් නොකියාම බැරිය. දැන් කාලයක් තිස්සේ බැංකුවලට විදෙස් උපදේශක පිස්සුව ගහලා තියෙනවාය. උදාහරණයකට, ඕනි බැංකුවක අයි ටී එක ගත්තෝත් ඒවායේ එළ කොල්ලෝ අනන්තවත් අළුත් සැලසුම් ලොක්කන්ට දානා බව අපි දන්නවාය. ඒවා තුට්ටුවකට ගණන් නොගන්නා ඒ කෝ බී කෝ හොය හොයා කී බෝඩ් එකට කොටන ලොක්කෝ පිටරටින් එන අමු ගොබ්බ හරක් උපදේසකයෝ විදිහට පිළිගන්නේ සුමේධ තාපසයා වගේ වැඳ වැටිලාය. ඒ එන උන් කරන්නේ මෙහේ ඉන්නා කොල්ලන්ගේ අදහස් අරගෙන ඒවා උන්ගේ අදහස් විදිහට අර ගොබ්බ ලොක්කන්ට කෝටි ගාණකට විකුණන එකය. මේවා හොයා බලන්න කොමිසන් දාන්නේ නැත්තේ වෙනත් කොමිසන් ජාතියක් නිසාද කියලා හොයා බලන්න ඕනෑය. ඒ නිසා මාතලන් කිව්වා වගේ මේ රටේ උපන් උන්ගෙන් බැංකු උපදෙස් ගන්නා දවස එනකොට අපි දෙන්නාම අපේ ලෝකවලය. 

එක්සිම් බැංකුව එන්නේ රජයේ අයිතිය 50% ට වඩා අඩු ප්‍රතිශතයකින්ය. එහෙනම් ඉතිරිය කොටස් වෙළඳ පොලේ විකිනෙනවාය. එවිට මේක නිකම්ම පුද්ගලික බැංකුවක් වේවිය. අඩුම ගානේ මුල අවුරුදු කීපයවත් එයාලාට ආනයන, අපනයන වලට ණය දෙන්න වෙන්නේ දේශීය බැංකු පද්ධතියෙන් හෝ විදේශීය බැංකු වලින් අරමුදල් ණයට අරගෙනය. එතනදි මෙතෙක් මේ රටේ බැංකු ආනයන අපනයන වලට දීපු පොලී අනුපාත එයාලා දෙන්නේ කොහොමද? කොහොමත් ආනයන ණය සඳහා පොලී අනුපාතය වැඩියි. එහෙම කරන්නේ ආනයන අධෛර්යමත් කරන්න. ඒ වුණාට ඇත්තටම බැංකු පද්ධතියෙනුත් ආනයන වලට දෙන ණය ප්‍රමාණය එහෙමට අඩුවක් වෙලා නෑ. මේ ගැන මැදිහත් වීමක්, විදෙස් වෙළඳාම මූල්‍යකරණයේ යම් නියාමනයක් තමා අවශ්‍ය. එහෙම නැතිව විදෙස් වෙළඳාම මූල්‍යකරණය මොකෙකුට හරි දීම නෙමේ.

මේ රජය පිහිටුවන්නට මූලිකත්වය ගත්තු බහුතරයක් අද මේ උද්ඝෝෂන වල ඉන්නවා. ඔවුන් දැන හිටියා මේ රජය පුද්ගලීකරණය කියන මන්ත්‍රය මතුරාගෙන එන්නේ කියලා. ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලීකරණය කරපු රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදියේ සේවකයින් බර ගානක් වන්දි පවා නැතිව ගෙදර යවන එක. ඒ අපේ රටේ ජනතාව. පුද්ගලීකරණය අපේ රටට තාමත් මහා බිය ගෙන දෙන අත්දැකීමක්. එහෙම ටාගට් පස්සෙ දුවන්න, වෘත්තීය/සේවක අයිතිවාසිකම් කප්පාදු වෙන්න, විශ්‍රාමය අහිමි වෙන්න අපේ අයට පුරුදු නෑ. උදාහරණයක් විදිහට රජයේ රැකියාවක යෙදෙන්නෙකුට, පුද්ගලික අංශයේ රැකියා කීපයක යෙදුනු කෙනෙකුට තියෙන බහුවිධ දැනුම නෑ. විවිධ හැකියාවන් තිබුණත් එවා මොටවෙලා. ඒකීය රාමුවක් ඇතුලේ එපාවෙන බෝරිං රාජකාරි හැලියක ඔවුන් තැම්බිලා ඉන්නෙ. ඉතාම සුළුතරයක් විතරයි බිස්නස් කරන්නෙ. ඒ කරන්නෙත් හොරෙන්, තමන්ගේ නමින් කරන්න බැරි නිසා. තව කීප දෙනෙක් ඉඩං වවනවා. අනික් බහුතරයට තියෙන්නේ පඩිය විතරයි. 

ඉතිං මේ අය බයයි රැකියා නැතිවෙනවට, පුද්ගලීකරණය වෙලා ටාගට් පස්සෙ දුවන්න වෙනවට, විශ්‍රාමය අහිමි වෙනවාට. විශ්‍රාමය ගැන කීවාම මේකත් කියන්න ඕනි. දායකත්ව විශ්‍රාමය බොහෝ රටවල තියෙනවා. ඒ ක්‍රමයට අළුත් අය බඳවාගන්නවානම් ඔවුන්ට ඒ දායකත්වය ගෙවන්නත් ප්‍රමාණවත් වැටුපක් දෙන්න ඕනි. නැතිනම් ලොක්කා කිව්වා වගේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම නවත්තන්න ඕනි. ඕක කොළහැකිද? ඔය ඉන්නා සෙට් එක මැචුවර්ඩ් වෙනකොට, කාර්යක්ෂමතාවය බහිනකොට, පැන්සොන් යනකොට, අළුත් අය නොගෙන පුළුවන්ද? එතකොට කෝ රාජ්‍ය යාන්ත්‍රණය? පිස්සුනේ!

මේකත් බලලාම හිටිංට.

ඔන්න මාතේ මාත් ආයි ලිව්වා. හැබැයි මල පනිංට ඔට්ටු නෑ ඕං.


Thursday, December 10, 2015

අයවැය හා බැංකු




පහුගිය 09 වෙනිදා, ඒ කියන්නේ බදාදා ලංකාවේ ප්‍රධාන නගර ගණනාවක දවල් 12.30 - 01.30 අතර තරමක රථවාහන තදබදයක් තිබ්බා මතකද? ඕක ඉතිං අහංටත් දෙයක්යැ. හැබැයි මේ කියන දවසේ පොඩි වෙනසක් නිසා තමා ඔය තද බදේ. බැංකු සේවකයින් පාරට බස්සලා ලොකු උද්ඝෝෂණයක් කොලානොවැ පහුගිය 09 වෙනිදා. ආං ඒකයි ඔය තදබදේට මුල.

මෙයාලා එළියට බැස්සෙ, මේ රට පාලනය කරන අළුත් ආණ්ඩුවේ මංගල අයවැයට විරුද්ධව. ඒ අයවැයේ කියවෙන ප්‍රධාන යෝජනා ගණනාවක් ආපහු අකුලාගන්න කියලා තමා එදා මේ කස්ටිය කෑ ගැහුවෙ. දෙපැත්තෙන් එක පැත්තක්වත් නොගෙන, අපි බලමුද මේ අයවැය බැංකු පද්ධතියට කොහොමද බලපාන්නෙ කියලා.

රන් භාණ්ඩ උකස් ණය
අළුත් අයවැය යෝජනාවක් තියෙනවා, මේ රටේ බැංකු තමන්ගෙ ණය කළඹෙන් (ඒ කියන්නෙ ණය එකතුවෙන්) 5% ක සීමාවක රන් භාණ්ඩ උකස් ණය තබා ගත යුතුයි කියලා. මේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ තමා දැනට වැඩිම රන් භාණ්ඩ උකස් ණය තියෙන්නෙ. එයිනුත් මහජන බැංකුව ප්‍රධානයි. එයාලගේ ණය කළඹෙන් 14% ක් වගේ තියෙන්නෙ මේ කියන රන් භාණ්ඩ ණය. ඒ තරම්ම නොවුනත් ලංකා බැංකුවත් 6-7% ක රන් ණය ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. දැන් තේරෙනවා ඇති විශේෂයෙන් මහජන බැංකුවට මේ නිසා ඇතිවන බලපෑම.

විශේෂයෙන් මේ ජාතියේ ණය ලබාගන්නෙ ගම්බද ජනතාව සහ පහල/මධ්‍යම පාංතික ජනතාව. බැංකු විසින් 12%-15% ක පමණ පොලියක් අවුරුද්දකට අයකරගෙන මේ ණය ලබා දෙන්නෙ. ඔය අතරෙ අර ගම, මේ සේකර ආදී වසයෙන් තව කට්ටියක් ණය දෙනවා 30%-60% හෝ ඊටත් වඩා වාර්ෂික පොලී අනුපාතයකට. දැන් මේ අළුත් යෝජනාව නිසා උන්නැහැලාගෙනං කල්ල මරේ.

ඇමෙරිකානු මූල්‍ය වෙළඳපොලේ ප්‍රසාරණය එක්ක රන් මිලත් මේ අවුරුද්ද අගදි තව බහීවි. ඉතිං අවදානං ගැන අනික් සේරටම වඩා හිතංට පටං අරං ඉන්න බැංකු වලට මේක හොඳ දෙයක් වෙන්ටත් බැරි නෑ...හැක් හැක්.

රන් ආනයන බදු ඉවතට
මේක නිසා දේසීය වෙළඳපොලේ රත්තරං මිල තව තවත් පහල යනවාය. එතකොට බැංකුවල තියෙන සංචිත වල මිලත් බහිනවාය. ඒකට බැංකු කැමති නැතිය. බැංකුවලින් රත්තරං තියාගෙන දෙන ණය ගාණත් අඩුවෙනවාය. ඒකට ණය ගන්නෝ කැමති නැතිය. බැලුවාම හැමෝම අතෘප්තිමත්ය.

කල්බදු තහනම්
බය වුණාද? ඇත්ත. එහෙම තහනමක් ලබන අවුරුද්දෙ ජූනි ඉඳලා වැටෙනවා බැංකු වලට. දැනටමත් බැංකුවල ණය කළඹේ 5% ක විතර ඔය ජාතිය තියෙනවාය. ඉතිං මල පනිනවාය. මහජන බැංකුව අනුබද්ධ ලීසිං සමාගමක් පීපල්ස් ලීසිං නමින් තියෙනවා. ඒ හංදා එයාලට ඒක ප්‍රශ්නයක් නෑය. අනික් බැංකු වලටත් එහෙම සමාගම් පිහිටුවන්න වෙයි වගේය.

ලීසිං ගන්න ගිහාම ප්‍රයිවට් ලීසිං/ෆිනෑන්ස් සමාගම් ඉක්මනින් ලිහිල් කොන්දේසි උඩ ලීසිං දෙනවාය. හැබැයි පොලියත්, අයකරන විවිධ ගාස්තු බලුවමත්, කලින් එක පාර ගෙවලා ඉවර කරන්න ගිහාමත් බැංකු ඊට වඩා හොඳයි කියලා වෙලාවකට හිතෙනවාය.

කෘෂිකර්ම කටයුතු, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති, කාන්තා හා තරුණ ව්‍යවසායකයන්ට වැඩි වැඩියෙන් ණය
අළුත් යෝජනාවල් අනුව බැංකු තම ණය කළඹෙන් 10% ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදෙන්ට ඕනෑය. ඒක දැනටමත් තියෙන නීතියක්ය. ඒක කෙරෙනවාදැයි මං දන්නේ නැතිය. මේ රටේ පාලකයොත් බැංකුත් ඔය කවුරුත් අමතක කොලාට කෘෂිකර්මය කියන්නේ අපිට සේරම නැතිවෙච්ච දාට අන්තිමට තියෙන පිළිසරණය.

අනෙක් අතට 5% ක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙංට ඕනෑය. මටනං කියංට තියෙන්නේ ඕක හොඳටම මදිය. මොකද, මේ රටේ ආර්ථිකේ ඇදගෙන යන්නේ ඔය කියනා කස්ටිය නිසාය. සුළු හා මධ්‍යම කීවාට රුපියල් මිලියනයක ඉඳලා මිලියන 200 වගේ දක්වා ණය ඔය කාණ්ඩයට දෙංට ඇහැකිය. ඒ නිසා මං නං කියන්නේ, 25% ක් විතර දුන්නත් කමක් නැත. කාන්තා හා තරුණ අයට ණය සැපයීම වැඩි කරනවානං ඒකත් බොහෝම හොඳය. කාන්තාවන් ණය ගෙවීමේදී වඩා විශ්වාසනීය බව සාමාන්‍යයෙන් පිළිගන්නා දෙයක්ය. මහත්තයා නොගෙවන ණයක් වුණත් නෝනාට දැනුම්දුන්නාම පහුවදාම මහත්තයා සල්ලි දානවාය.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපර සඳහා ණය ඇප ආවරණ ක්‍රමයක් සහ අරමුදල් ක්‍රමයක්
මං කලිනුත් කිව්වා වගේ අපි සලකන්ටම ඕනි නඩයක් අමතකම කරලා ඉන්නෙ. මේ කියපු කට්ටියට ලබාදෙන බැංකු ණය වෙනුවෙන් 75% ක ණය ඇප ආවරණයක් බැංකු වලට දෙංට මේ අයවැයෙන් තීරණය කොරලාය. මේ ක්‍රමය නිසා බැංකු වලට ඒ ගොල්ලො දවස දෙවේලේ කියෝන අවදානම අඩු වෙනවාය. ණය ඇප ආවරණය කියන්නේ ණයක් දීම නිසා ඇතිවන අවදානම අඩු කරන්න මහ බැංකුව හරි වෙනත් පිළිගත් මූල්‍ය ආයතනයක්/අරමුදලක් වගකීමෙන් බැඳී සිටීමය.

හැබැයි මේ දෙවනියට කියන අර මුදලනං තවත් ණය දෙන ආයතනයක් වෙනවාමය. එතකොට බැංකුවලට පොඩි වැදිල්ලක් වදිනවාය.

අපනයන හා ආනයන බැංකුව (EXIM Bank-Export & Import Bank)
ආණ්ඩුවයි, ආනයන අපනයන ක්ෂෙත්‍රයයි එකතුවෙලා රුපියල් බිලියන 25 ක අරමුදල් යොදවලා 2016 අප්‍රියෙල් ඉඳලා පටං ගංට හදනා බැංකුවක්ය. මේ බැංකුව නිසා මේ රටේ වාණිජ බැංකු වලට අම්බානකට වදිනවාය. අපේ රටේ ගොඩක් බැංකු නියම ලාභයක් ලබන්නේ නැතිය. හේතුව අපේ රටේ දේශීය ණය ප්‍රමාණය තැන්පතු ප්‍රමාණයට වඩා අඩු නිසාය. ගොඩක් වාණිජ බැංකු මේ අවුලෙං ගොඩයන්නේ ජාත්‍යන්තර වෙළඳාමට පිං සිද්ද වෙංටය. ඒ කියන්නේ, ආනයන හා අපනයන කටයුතු වලට ණය දීලාය. කොටිංම කොටිංට අගේන්ස්ට් මේ රටේ ගිය යුද්දෙදි හමුදාවලට ආයුධ අනං මනං ගෙන්නංට ණය දුන්නේ වෙන කවුරුවත් නොව මේ රටේ රාජ්‍ය වාණිජ බැංකුවක්ය. ඛණිජ තෙල් ඇතුළු රජයේ ප්‍රධාන ආනයන සේරටම වාගේ ණය දෙන්නේ වාණිජ බැංකුය. මේ අළුත් බැංකුව නිසා ඒවාට වදිනවාය.

බැංකුවලින් මුදල් ආපසු ගැනීමේදී බද්දක්
මට අහංට ලැබුණු පැමිණිලි වල හැටියට මේක සමහරු පටලෝගෙන තිබුණාය. අපේ මිනිස්සුංට තාම ඔය මිලියන්, බිලියන් අරහංය. මේ අයියලා හිතලා තියෙන්නෙ ලස්සයක් ගත්තත් බදු කියලාය. එහෙම නෑය. රුපියල් ලස්ස දහය ඉඳලා කෝටියට අඩු මුදලක් ගත්තොත් 2% යි. ඊට වැඩිනං 3% යි. මේක මහා පරිමාණ මුදල් ගණුදෙනු කොරන අයට වදින බද්දක්ය. මුදලින් ආපහු නොගත්තට ගංට ක්‍රමද නැත්තෙ අප්පාය.

ආදායම් බදු
බදු නිදහස් සීමාව රුපියල් ලස්ස 24 දක්වා උස්සලා තියෙනවාය. ඒක නැගී එන ව්‍යාපාරිකයින්ටනං හොඳ දෙයක්ය. අනෙක් අතට මාස් පඩි කාරයිංගෙ පේයී ටැක්ස් හෙවත් උපයනවිට ගෙවීමේ බද්දත් මේ සීමාවේය. ඒක එක එක විදිහට නැතිව පොදුවේ 15% ක්ය. සේරම ආදායං ගණං ගන්නවාය. එක්සෙම්සොං නැතිය. හුටාය.

වැට් බද්ද 12.5% දක්වා ඉහලට
ඔය හත්තිලව්ව පටං ගත්තෙත් ඔය ගානටමය. ඒ කාලේ ඕකට කිව්වේ බාන්ඩ හා සේවා බද්ද හෙවත් ජී අැස් ටී කියලාය. පස්සේ බාණ්ඩ අතෑරලා සේවා වලට විතරක් 12% ක් ගහංට තබා ගත්තාය. අළුත් කස්ටිය ආපු ගමං ඕක 11% ට බැස්සුවාය. දැං ආයි තිබුණාටත් වඩා නග්ගලාය. විලි ලැජ්ජා හැත්තෑවය.

ඕක ගෙවන්නේ ඉතිං පාරිභෝගිකයා නිසා වෙළෙන්දාටවත් බැංකුවලටවත් ඇති රුදාව මක්කැයි කියා කෙනෙක් අහංට ඇහැකිය. එහෙම කියංට එපාය. කොයි බඩ්ඩට වුනත් බද්ද වැදිලා මිල වැඩි උනාම ඒක ගංට මිනිස්සු අදි මදි කොරනවාය.

ජාතිය ගොඩනැගීමේ බද්ද 4% දක්වා ඉහලට
ගොඩනගපු ජාතියක්නං මංදා, ඕක තිබුණේ 2% ක් විදිහටය. ඕකත් අර වැට් එකත් එක්කම අතේ එල්ලිලා යන කිරි දරුවෙක්ය. දැං ඉතිං ඒකත් කිරි මරුවෙක් වෙලාය. ප්‍රතිපලේ අර කලිං කියාපු එකමය.

පොලිය මත රඳවා ගැනීමේ බද්ද ඉවතට
මේං මේක නිසා තැන්පතු දාංට මිනිස්සු වැඩියෙං පෙළඹෙනවාය. රට ගිය/අට ඉන්න ඇත්තංගෙ තැන්පතු පොලියට ගහන 20% බද්දත් 15% දක්වා බස්සලාය. මේ දෙකම හොඳ වැඩය.

බැංකු හා මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම
මෙතනින් බැංකුවලට වදින්නේ දිවිනැගුම, සමෘද්ධි වගේ අරමුදල් සම්බන්ධවය. ඒ කියන්නේ එයාලාගේ දැන් තියෙන තැන්පතු, ජංගම ගිණුම්, භාණ්ඩාගාර බිල්පත් වගේ එව්වා බැංකුවලට නැති වෙනවාය. ඒ වෙනුවට ඒවා ඒ අරමුදල් සම්බන්ධවන එක බැංකුවකට විතරක් ගලා ගලා යනවාය. ඔන්න ඉතිං තද වෙනවාය.

දුර පළාත් බැංකු ශාඛා ගණන 15% කින් වැඩිකිරීම
මේකනං ඇත්තටම හොඳ දෙයක්ය. මේ නිසා බැංකු ගමට යනවාය. 6 දෙනෙක්ගේවත් කාර්ය මණ්ඩලයක් ඒ ඒ පළාත් වලෙින් යොදවන්ටත් කියා තියෙනවාය. ඒ නිසා රැකියා අවස්ථා සැලකියයුතු තරම් වැඩිවෙනවාය. ඒ වුණාට අයියලා කරන්නේ 6 ක් ඕනි තැනට 3 ක් දාන එක නිසා ඔව්වා ඔය විදිහටම වේවිද මංදාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පතු
ජ්‍යෙෂ්ඨ පුරවැසියංට ආණ්ඩුවත් බැංකුත් කොහොමත් බොහොම ආදරේය. උන්නැහේලා නිතර සල්ලි ආපහු නොගන්නා නිසාත් සමහර විට කවදාවත් ආයි නොගන්නා නිසාත් වෙංට ඇහැකිය. කොහොමවුණත් පහුගිය කාලේ ඔය 15% ක පොලියක් ගෙවන කතාව ආවාම රටේම ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කෙරේ පතල මහා කරුණාවෙන් කණිෂ්ඨ පුරවැසියෝ උන්නැහේලාව දක්කාගෙන බැංකුවලට ආපු ඒම දැකලා බයවෙච්ච ආණ්ඩුව එක්කෙනෙකුගේ තැන්පතු සීමාව රුපියල් ලක්ෂ දහය කොරලා දැම්මෝය. ඕං දැං ඒක ලක්ෂ 15 කොරලාය. ඒ මදිවාට ජ්‍යෙෂ්ඨ පුරවැසියා කියන්නේ අවුරුදු 60 කිංය කියනා නීතිය අවුරුදු 5 කිං ඩිස්කවුන්ට් කොරලාය. ඉතිං අපිත් ඉක්මනටම ජ්‍යෙෂ්ඨ වෙනවාය.

අක්‍රිය ගිණුම් වල තැන්පතු ඒකාබද්ධ අරමුදලකට
කවුරුත් වැඩිය නොදන්නවට ඕක දැනටත් තියෙන නීතියක්ය. හැබැයි ක්‍රියාත්මක නෑ වෙන්න පුළුවන්ය. ඇත්තටම බැංකු ගිණුමක් අවුරුද්දක් ගණුදෙනු නොකර හිටියොත් ඒක අක්‍රිය වෙනවාය. ඒක අවුරුදු 2 යනකොට සදා සොත්ති වෙනවාය. හරිනං මේ සදා සොත්ති තැන්පතු මහා භාණ්ඩාගාරයට යවන්න නීති තිබුණේය. ඉස්සර එහෙම කලාය. හිමිකම් නොපෑ ශේෂ ගියලා තියාගෙන ඉඳලා ආණ්ඩුවට දුන්නාය. එහෙම කලාම බැංකුවල තැන්පතු ප්‍රමාණය අඩුවෙන නිසා පස්සෙ පස්සෙ ඕක නොකලා කියලා කාටවත් කචල් ඇදුනේ නං නෑය.

පුද්ගලික මූල්‍ය සමාගම් වල තැන්පතු සඳහා 100% ක මහ බැංකු ආවරණය
මේකට ගණුදෙනුකාර භවතුන් හැමෝම කැමතියි. ඒ වගේම පුද්ගලික මූල්‍ය සමාගම් බැංකු වලට වඩා පැහැදිලි ඉහල පොලියකුත් ගෙවනවාය. ඉතිං මෙච්චරකල් තිබුණු පුරස්නේ ඔය කොම්පැනි කාරයෝ බංකොලොත් උනොත් හරි රට පැන්නොත් හරි අපිට බූමිතෙල් හොයාගෙන රට වටේ දුවංට උනු එකය. දැං ඒකත් හරිය. හැබැයි මේ විදිහට සමාගම් ගණනාවක් එකපාර දියාරු වුණොත් වැඩේ හබක් වෙනවාය.
තව පුරස්නයක් තියෙනවාය. මහ බැංකුව මේ රටේ බැංකු ගැන විතර මූල්‍ය සමාගම් ගැන ඇඟිලි ගහලා බලන්නේ නැතිය. ඒ හින්දා එයාලා මක්කා කොරනවාදැයි දැනගංට ලැබෙන්නේ ලමයා හම්බු උනාටත් පස්සේය. ඒකත් පොඩ්ඩක් අවුල් වගේය.

රැකියා කරන්නන් සැමට බැංකු ගිණුමක් /පාසල් සිසුන්ට අවුරුද්දකට රු.250 බැගින් දමා ගිණුමක්
මේකට බැංකු බෝම කැමතිය. තැන්පතු වැඩි වෙනවාය. මිනිස්සුත් රුපියලක් හරි ඉතිරි කොරනවාය.
ළමයිංගෙ කේස් එකේදි කියන්ට තියෙන්නේ වැඩේ පටං ගන්න ඉස්කෝලෙට යනවා වගේ දිගටම ඒ පැත්තේ යනවානං නරක නැත කියාය.

චෙක්පත් අගරු වීම අපරාධ නීතිය යටතට
චෙක්පත් සම්බන්ධ නඩු කාලෙන් කාලෙට දිස්ත්‍රික් උසාවි වල වගේම පොලිස් උසාවි වලත් අහනවාය. පොලිස් උසාවියේදිනං චෙක් එක ලියපු එකාට බලු කූඩුවේ ලැගීමේ වරප්‍රසාදයත් හිමිවෙන තැං තියෙනවාය. ඒ කෙසේ වෙතත් මේක නිසා කොල්ලයි බල්ලයි සේරම කරන්ට් එකවුන්ට් ඇරිල්ලයි පලා ලියනවා වගේ චෙක් ලිවිල්ලයිනං අඩුවෙනවා ඇතිය.


*********************************************************************************


මේ කියාපුවා ඇර තව එකක් දෙකක් තිබ්බත් ඒවා ඒ තරම් බරපතල නැතිය. මෙහෙම බැලුවාම අයවැය ගෙනල්ලා තියෙන්නේ හොඳ නරක දෙකම එක්කය. ඒ වුණාට අපෙං අරං අපිටම දෙන අයවැයේ මේ පාර අපෙං ගන්න ඒවා රිදෙංටම ගන්නා බවත් පේනවාය. අන්න ඒ තාලෙටම බැංකු වලටත් ඇවරේජ් රිදිලාය.

මේන්න මේකත් කියංට ඕනෑය. මේ රටේ බැංකු පටං ගන්න කාලේ තිබණේ එකයි දෙකයිය. ඒ නිසා එයාලාට හැම රෙද්දම කොරංට වුණාය. ඒ කියන්නේ බැංකු කටයුතු වගේම බැංකු කටයුතු නොවන වෙනත් ඒවාය. එයාලා තාම ඒවා කොරනවාය. ඕවා එකපාර ගැලෙව්වාම පෝසෙප් ඇබෝසන් කෙරුවා වගේය. කොරංට ඕනිම දේවල් මේ අතරේ තියෙංට ඇහැකිය. ඒ උනාට එකපාරම කොලාම ආණ්ඩු ගෙදරම යනවාය. එයාලා පව්ය. මේ රටේ මිනිස්සු වෙනසට ඇලජික්ය. වෙනස කබරයා පොලවේ ගැහුවා වගේ කොරන්නේ නැට්ටටම ඇණුනාමය. එතකං දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවාය. ඒ හින්දා වෙනසක් උවමණා වුණත් ඒක කොරංට ඕනෑ සතෙං සතේ රුපියලෙන් රුපියල මිසක් මිලියන්, බිලියන් වලින් නොවේය.

නම වෙනිදා කළබලයෙන් පේන්නේත් ඒකමය. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටය. ඒ වගත් එසේය.

(ඉට්ටැයිලිය මාතලං බොසා අනුව යමිනි)


Saturday, September 19, 2015

මට පෙනෙන හැටි - 02




මෙතෙක් කතාව...

ඒත් එක්කම මං ඇහැරෙනවා.

**********************

“ලොකුස් මං හරි අමුතු හීනයක් දැක්කා“
මම එයාව ස්කූල් වෑන් එකට නග්ගන්න යද්දි කිව්වා. එයා කොහොමත් මං කියන ඕනිම දේකට කන්දෙන්නෙ හරි ආසාවෙන්. ඕනිම දේකට කිව්වට ඕනිම දේකටමත් නෙමෙයි. පාඩම් කරන්න, අම්මට උදව් කරන්න, නංගිල එක්ක රණ්ඩු වෙන්න එපා, කොරියන් ෆිල්ම් බලන්න එපා, ෆෝන් එකේ පදිංචිවෙලා ඉන්න එපා යනාදී ඇතැම් නාදවල තරංග ආයාමයේ හෝ විස්තාරයේ යම් වෙනසක් නිසා ඇයගේ ශ්‍රව්‍ය තරංග පරාසයට ඒවා ග්‍රහණය වෙන්නෙ නෑ. ඒත් මේ හීන කතාව මොකක්ද කියලා එයා ඇහුවා. 

“බ්ලා...බ්ලා...බ්ලා...“ මම හීනය විස්තර කලා. ඒ අවසානයේ මයික්‍රෝ ටොනාඩෝවක් ඇගේ මුවින් පිටවුණා “හ්ම්“ සද්දයක් එක්ක. 


**********************

“ඇයි තාත්තෙ කොල්ලො කෙල්ලන්ට උඹ, මචං, අඩෝ කියලා කතා කරන්නෙ?“ 

“උන්ට කෙලින්ම කෙල්ලන්ගෙ හිතට කතා කරන්න බෑ. පිවිසීමක් ඕනි. ඒකයි මචං පාට් එකෙන් පටන්ගන්නෙ. අනික එතකොට සම්මත විදිහට හිතන කාට වුණත් හිතෙන්නෙ මේ කොල්ලාගෙ කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ මේ කෙල්ල ගැන. නැත්නම් උඹ කියයි යැ වගේ සිතිවිල්ලක්. දැන් කවුද ඔයාට උඹ කියලා කතා කරන්නෙ?“

“නෑ...එහෙම කතා කරනවට නෙමේ. ඒ වුණාට ඒක ටිකක් ඔඩ් වගේ නේද?“ 

මයික්‍රෝ ටොනාඩෝවක් මගේ මුවින් පිටවුණා “හ්ම්“ සද්දයක් එක්ක. 


**********************

කෙල්ලො ඇයි අපිට වඩා වෙනස්? අවුරුදු 10 ක් විතර වෙනකං කෙල්ලො අපිත් එක්ක හරි යාළුයි. පොඩි කාලෙ කොහොමත් මං කොල්ලන්ට වඩා කෙල්ලන්ට එකතුයි (දැන් කියලත් වෙනසක් නෑ). හයේ හතේ පන්තිවලදි අපිට කෙල්ලන්ගෙ පැහැදිලි මේරිල්ලක් පේනවා. ඒක හරි අමුතුයි. උනුත් කලින් හිටිය උන් නෙමේ. ටිකක් උඩින් යනවා වගේ දැනෙනවා. කාලෙකින් මුණ ගැහුණොත් ඒ වෙනස දිහා අපේ ඇස් යොමුවෙනවා. එතකොට උන්ගේ ඇස් බිමට යොමුවෙනවා. අපේ කම්මුල් දිගේ සීතල දියඇල්ලක් ඉහලට ගලාගෙන ගිහින් කන් පෙති ඇතුලෙන් ඔළුව පුරාම යනවා. එතනින් පපුවට කඩාගෙන වැටෙනවා. කම්මුල්වල පේශි නටනවා දැනෙනවා. කතාකරන්න වචන නෑ. වචන සේරම මෙගා ටොනාඩෝවට අහුවෙලා. අපි අසරණව ඒ වචන අල්ලගන්න හදනවා. 

ඒ දකින සෑම රූපයටම අපි ආදරය කරනවා. අපිට නැති ඒ සියළු දේට අපි ආදරය කරනවා. ඒ අතරෙ, හිත ඇතුලෙ විශාල ඉදිකිරීමක් අපිත් නොදැනී සිද්ධවෙනවා. එදා ඉඳන් පත්තර, පොත්පත්, චිත්‍රකතා, රිදී තිරය, පුංචි තිර දෙකම ආදී මේ හැම දේකම දකින මේ අමුතු රූපවල වඩාත් සිත්ගන්නා අවයව එකතු කරලා වසර ගාණක් තිස්සේ අපි ඉදිකරනවා පිළිමයක්. 

ඔව්! සියළු සිත්ගන්නා අංගෝපාංග ඇති දර්ශීය කාන්තාවක් අනාගත සහකාරිය ලෙස...

ඇය සොයාගෙන යනවා මං මාවත් දිගේ පවා. සෑම බස් එකකම, පාසැලේ සෑම අස්සක් මුල්ලක් නෑරු, ගමේ ගෙයක් ගානෙ, පන්සලට එන අය අතරෙ පවා සොයනවා. ඒත්....

ඇය කිසිදාක නෙත ගැටෙන්නේ නෑ. 

අර්ධ අවසන් වටය එනවා නොදැනිම. මේ ලක්ෂණ වලින් කීපයක්වත් තියෙන කෙනෙක්? ඔව්. එහෙම අයනම් අපි දකින අය අතර ඉන්නවා ගොඩක්. හැමෝගෙන්ම අහන්නත් බෑනෙ. යාළුවො විදිහට දැනටමත් කිට්ටුවෙන් ඉන්න අය හරියන්නෑ. එයාලගෙ අඩුපාඩු අපි දන්නවනෙ කාලයක් ආශ්‍රය කරලම. වෙනස් කීප දෙනෙක්ගෙන් අහලා බලනවා. කොහොමද ඒත් අහන්නෙ? අහ්... යාළු කෙල්ලන්ගෙ යාළුවො තමා හොඳම ව්‍යාපෘතිය. විකල්ප සැලැස්මකුත් ඒකෙම තියෙනවා. යාළුවා ලවා අස්සනවා මුලින්. බැරි වුණොත් කෙලින්ම අහනවා. 

අවාසනාවකට වගේ, අපි පරමාදර්ශී කාන්තාවට වඩාත් ආසන්න කාන්තාව අමතලා බලන කොට ඇය නෑ. ඇය ගිහින් ඇගේ පරමාදර්ශී පුරුෂයා සොයන්න. කොහෙත්ම ඒ මමනම් නෙමේලු. මෙහෙම ගියොත් මොකුත් කරගන්න බැරිවෙනවා. දෙයියෝ සාක්කි. අවුරුදු කීයද තව තියෙන්නෙ. අවුරුදු කීයක් නාස්ති වෙලාද? (මේ අවුරුද්දක් කියන්නෙ නිකං පැයක් වගේ කාලයක්. නොඉවසිල්ල කාලය පරදවන්න පුළුවන් එක් උපායක්.)

පළමු හා දෙවන කවචයේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැති තැන ඊ ළඟ කවචයට යනවා. යාළුවන්ගෙත් යාළුවන්ගෙත් යාළුවෙක්! කොහොමත් බාහිර කවච වල මුක්ත වියහැකි ඉලෙක්ට්‍රෝන වැඩියි. 

යාළු නෙට්වර්ක් එක හරහා මුලින්ම අදහසක් දාලා බලන කෙනා අපි හිතේ ඇඳගත්තු දර්ශීය කාන්තාවට හාත්පසින් වෙනස්. මෙයා පොඩියි. මගේ කෙනා මං තරම්ම උසයි. නෑ...නෑ...මටත් වඩා උසයි. මෙයාගෙ දත් චූටියි. එයාගෙ දත් සාමාන්‍ය විදිහට මීට වඩා ලස්සනට තියෙනවා. මෙයාගෙ තොල් හීනියි. එයාගෙ යටි තොල ටිකක් පිරිලා. රතු පාටයි. ලිප් බාම් එකක් ගාන නිසා දිලිසෙනවා ආසාවෙ බෑ. මෙයා කොණ්ඩෙ බෙල්ලටම කපලා බොබ් කට්. එයාගෙ කොණ්ඩෙ පිට මැද විසිරිලා. තව............ මොනා වුණත් හැම දේම වෙනස් වගේ. ඒ වුණාට එයා ගැන බලා හිටියොත් මට හුලං. වෙන දෙයකට නෙමේ මොකුත් නැතිකමට මේකවත් බලනවා. ඒ නිසා යාළුවො හරහා අදහස දානවා ඕනි එකක් කියලා. කාලය පරදවන නොඉවසිල්ල! ඉර බහින්නෙ නෑ. කුරුල්ලො සින්දු කියන්නෑ. මල් පිපෙන්නෙ නෑ. කොටින්ම මේ ලෝකෙ කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ. 

අපොයි දෙයියනේ! එයා කැමති වෙලා. දෙයි හාමුදුරුවනේ මට කෙල්ලෙක් සෙට් වෙලා....! මම තරම් වාසනාවන්තයෙක් ඉන්නවද තවත්? ලස්සනට ඉර පායනවා. කුරුල්ලො සින්දු කියනවා. මල් පිපිලා හැම තැනම. හැබෑටම මේවා මේ ලෝකෙ කවද තිබුණ දේවල්ද?

දෑස රිදෙනකම් පාර බලාගෙන ඉඳලා අන්තිමේ ඇය එනවා ප්‍රාර්ථනාවේ මල් පොකුරු අරන්! වෙනදා දැක්කට වඩා පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ. කම්මුල් දිගේ සීතල දියඇල්ලක් ඉහලට ගලාගෙන ගිහින් කන් පෙති ඇතුලෙන් ඔළුව පුරාම යනවා. එතනින් පපුවට කඩාගෙන වැටෙනවා. කම්මුල්වල පේශි නටනවා දැනෙනවා. කතාකරන්න වචන නෑ. වචන සේරම මෙගා ටොනාඩෝවට අහුවෙලා. මම අසරණව ඒ වචන අල්ලගන්න හදනවා. 

වචන අල්ලනවට වඩා මේ අසිරිය විඳින එක හොඳයි වගේ. ඒත් එයා දිහා කන්න වගේ බලා හිටියොත් එයා වැරදියට හිතයි. ඒත්... දෙයියනේ! මේකි කොහේද මෙච්චර කල් හිටියෙ. ඇයි මම මේ ලස්සන දැක්කෙ නැත්තෙ? 

අන්තිමේ වචනෙ දෙක අල්ලගන්න පුළුවන් වුණා. කෙල්ලො අපිට වඩා හෙන නිර්භීතයිනෙ. උන් ලැජ්ජාවෙන් වගේ වුණත් අපි වගේ වචන පටලෝගන්නෙ නෑනෙ බැලුවම. 

**********************

“ම‍ොකද බං පහේ ශිෂ්‍යත්වෙ කරන සයිස් එකක් අල්ලගත්තෙ? උඔ ලොරි ටෝක්නෙ දුන්නෙ ඒ දවස් වල හොඳ සයිස් කඳක් නැත්නම් වැඩක් නෑ කියලා“

“නෑ බං...මේකිගෙ තියෙනවා පොඩි ගතියක්. උඹ දන්නෑ. මං කෙල්ලෙක්ගෙ දකින්න ආස ගොඩක් දේවල් මේකිට තියෙනවා. හුස්ම සුවඳයි. නියපොතු නරක් වෙලා නෑ. දත් නරක් වෙලා නෑ.“

“උඹ ඔය නරක් නොවිච්චා හොය හොයාද ගියේ? එහෙම උන්නං ඉන්නවා බං ඕසෙට. මටනං ඒකිගෙ කිසි ගතියක් නෑ.“

“අනේ තෝ හැඳිගෑවිලාම පල. වෙන මොකක්ද? ඉරිසියාව...පැහැදිලි ඊරිසියාව. උඹේ උලමි ඒ වගේ ලස්සන නැති හින්දා..“ ඇත්තටම හිත රිදුනා. 

“හරි හරි... උඹ දිණුම්. කොහොමත් උඹ දිණුම්නෙ. දැන් ඉතිං අඩ කොටයක් තියෙනවනෙ.“

ඒ අන්තිමට කියපු දේ මොකක් වුණත්, මගේ මූණ පිම්බිලා යනවා සතුටින්. මම ඇවිදින්නේ අඟල් දෙක තුනක් උඩින්. ඒත් එයාගෙත් මගෙත් යාළුවො පොඩ්ඩ පොඩ්ඩ ඈත්වීම තමා දෙවනි සිත් රිදීම. ආදරයට කොහෙදෝ බාධා නැත්තේ. ඔය අතරෙ සමහර ලස්සන කෙල්ලො වෙනදාට වඩා උවමණාවෙන් මගෙත් එක්ක හිනාවෙනවා වගේ මට දැනෙනවා. ඇත්තටම ඉතිං...උන් මේකිට වඩා ලස්සනයි නම් තමා. අනේ මන්දා... කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙකුට තනියම ඉන්න කොල්ලෙකුට වඩා කෙල්ලන්ගෙන් ඉල්ලුමක් තියෙනවා කියලා අපේ පංතියෙ මා මිත්‍ර මහාචාර්යතුමා මට කියපු දෙයක් හැබෑවෙමින් තිබුණා මටත් හොරා. 

**********************

කෑලි කෑලි වලට බිඳුණු බිරිඳගේ ජංගම දුරකථනය ගල් රෝලකට යට කරන්න මට ඕනි වුණා. ඒ කෑලි අතරෙ කල් ඇතිව මකාදමන්නට නොහැකිවූ නිසා මම අන්තිමට දැක්ක කෙටි පණිවිඩයේ කෑලි තවමත් පෙන්න තිබුණා. 


“අඩෝ, උඹ නිදිද? මොකද කරන්නෙ?“



෴෴෴෴෴ මතු සම්බන්ධයි ෴෴෴෴෴


Saturday, September 12, 2015

මට පෙනෙන හැටි - 01



මගේ පිස්සු පීකුදු වල පළමුවැන්න මේන්න.

බැංකු කටයුතු ගැන විතරක් ලියවෙන බ්ලොග් එකක් විදිහට තමයි මගේ මෙව්වා එක දන්නෝ දන්නෙ. ඒ වුණාට ඉතාම කලාතුරකින් (දෙපාරක්ද කොහෙද) බයිස්කෝප් ගැනයි එක පාරක් සිංහල වෙළෙන්දන්ට පාඩමක් උගන්නන්නයි තව වෙන මගුල් දෙකතුනකුයි දාන්න ගිහිං අන්තිමේ ෂෙෆාකි කිව්වා උඹ බැංකු ගැන විතරක් ලියහං මගෙං මැරැං නොකා කියලා. ඒ වුනාට අද මට මැරුං කන්න හිතුනා. 

මම කොහොමත් මැරෙන්න ආසයි. මොකද මගේ මාර ආසාවක් තියෙනවා ආෆ්ටර් ලයිෆ් කොහොමද කියලා බලන්න. අපිට ඔය පුංචි තිරවල දකින ලෝක ගොඩක් ඒවට යන්න ආසාව හිතේ තිබුණට ආර්ථිකය ඒ හැම ලෝකෙමමත් අපිවත් වෙන්කරන අදෘශ්‍යමාන තිරයක් වෙලා. නොවැරදීම යන්න පුළුවන් ලෝකය දකින්න ඒ නිසා මම ආසයි. ඒත් ඒ ලෝකෙයි මායි අතර බොහොම දෘශ්‍යමාන තිරයක් තියෙනවා. ඒ මගේ ගෑනියි කෙළි පැටික්කියෝ තුන්දෙනයි. මේක කියවන බොහෝ දෙනා මම දැනටමත් සමීප මිතුරන් විදිහට පිළිඇරං තියෙන නිසා (අපේ වෘත්තීය සගයො අතරින් කීප දෙනෙක් ඇර ගොඩක් අය මට දිරවන්නෙ නෑ. නිකං පොඩ්ඩක් වෙල් ෆ්‍රොග් වගේ) පෞද්ගලික දේවල් මෙහෙම විවෘතව කතාකරන එකේ වරදක් නෑ මං හිතන්නෙ. මිනිස්සු විවෘත වෙන්න ඕනි...යම් ප්‍රමාණයකට ඒ ඒ තැනට සුදුසු විදිහට. 

මට කියන්න
1. මේ කියපු විවෘත වීමේ කතාවට උඹලා එකඟද? නැතිනම් හේතු පහදපියව්.

දැන් ඔය තිරය ගැන මට මෙහෙමත් හිතෙනවා. සමහර විට මම නැතිදාක තිරය අදට වඩා හොඳින් තියේවි. ඒ තිරේට මත්පැන් බිඳක්වත් නොවැටේවි. ඒ තිරය ආඥාදායකත්වයෙන් මිදේවි. මම වෙලාවකට අපේ මද්දුම දෝනිගෙන් (උන්දෑ තමා මගේ බොක්ක. අනික් උන්ටත් ඒකිට සමානව මං ආදරෙයි. ඒත් මේකිගෙ තියෙනවා මොකක්ද අමුතු මෙව්වා එකක්. මට හිතෙනවා ඒකි මමමද කියලා) අහනවා, “පුතේ තාත්තා සැර වැඩියි නේද, හරි නීති නේද? මම නැති දවසක ඔයාලා සතුටින් නිදහසේ ඉඳියි නේද?“ කියලා. මේකි මූණ බෙරි කරගෙන “අපිට ඕනිඇති නිදහසක් නෑ. තාත්ත ඉන්නයි ඕනි“ කියන තේරුම සහිත වෙන වෙන වචර බර ගානක් ඇතුලත් ඡේදයකින් පිළිතුරු දෙනවා. ඔය ජාතියෙ හැටිනෙ ඉතිං ඒක. (මිත්‍රවරුනි ඔමා, බස්සි, උපේක්ෂා, හංසමාලී, දිලිනි, තුශානි, සුසී යන සප්ත කන්‍යා කඳුකරයේ මාගේ ඩී.සී. අට හැපුණු බව කළු පෙට්ටිය සොයාගත් පසුව තහවුරු කර ගන්න) මොනා වුණත් කෙල්ල ඔහොම කිව්වට පස්සෙ මං ආයි නැවත නැවත එක් අහන්න ගියේ නෑ. ඒ වුණාට මලේ හොඳ එක පැන්නම මා අතින් කියවෙන වැරදි වාක්‍යයක් තමා, “මම මල දාට හිටපල්ලකො ඕනි හැටියට“. අම්මපා මට කේන්ති ගිහාම පොඩ්ඩක් ඕවර් කියලා හිතෙනවා. දැන් තව හොඳයි. 

මෙහි එන නම් ගම් මන..(කො යකෝ මේ බිංදු දෙක? හරි හරි පැරිස් කොලෝන් එකෙං දෙන්නං) මන:කල්පිතයි. 

දැන් අහන්න එපා ඇයි බිරින්දෑ ගැන ඉස්සෙල්ලා නොලියන්නෙ කියලා. මම සම්මතය කඩන එකෙක්. මේ දැන් වෙනකං මා එක්ක රොට්න් ටුමැටෝ එකට පෝස්ට් හතලිහක් ලියන්න පුළුවන් දේවල් කතාකරලා දවල් පොත් රාක්කෙක දැවාරක්ෂිත ගාලා කැක්කුම හැදුණු දකුණු අත මං ලව්වා මසාජ් කරවගෙන නින්දට ගිය එකා ගැන ලියලා පටං ගන්නවා කියලා හිතුවා. 

ලොකුස්
වයස අවුරුදු - 19 යි
අධ්‍යාපනය - උසස් පෙළ ජීව විද්‍යා (2015)
නිල වර්ණය - රෝස
කැමතිම ඇඳුම - බැගී ටොප් සහ ටයිට් බොටම්
කැමතිම පාවහන් - ඕපන් ටොස් ඕනි මගුලක්
කැමතිම කෑම - සොසේජස්, කුකුල් මස්, බිත්තර (බුල්ස් අයිස්), තෙල් දාපු පරිප්පු, ෆ්‍රයිඩ් රයිස්
අකමැතිම කෑම - ඉතිරි සියල්ල
කැමතිම බීම - කිරි පාට යන්න කහට දාපු තේ, ඕනි පළතුරු බීමක් (ශීත කල), වයින් (වසරකට දෙවරක් පමණ)
අකමැතිම බීම - කොළ කැඳ, ඔසු පැන් (මේකනං සමහර බුකි පොරවල් එක හෙලාම හෙලා දකියි)
යහළුවන් - සීමිතයි. කොල බොක්කෙන් ඇසුර. 
සංගීතය - එනි කන්ට්‍රි නිව් ඒජ් ඕ සෙන්ටිමෙන්ටල් මියුසික්, සිංහල සරල ගී
විනෝදාංශ - කොරියන් ප්‍රමුඛ සියළුම ෆැන්ටසි ෆිල්ම් බැලීම, ෆෝන් එක තුල පදිංචි වී සිටීම, ලොකු නංගී සමග මෝටල් කොම්බැට් කිරීම, නාන කාමරයේ පදිංචි වී සිටීම, මගේ එක බ්ලොග් එකක් හොරෙන් බැලීම, අනික් බ්ලොග් සියල්ල එළිපිට බැලීම, මගේ ෆේස්බුක් එකවුන්ට් එක උගේ වගේ පාවිච්චි කිරීම

මෙයාට ගෙදරට කියන නම අහලා අපේ මාතලං අයියා එහෙම හිතා ඉන්නෙ ඇති නිකං එයා වගේ කියලා. තාම කෙල්ලව දැකලා නෑ. දැක්ක දාට තමා කෙලිය. මේකිත් මං වගේම...නෑ නෑ අපේ මෙන්ඩා වගේම කට්ට කළුයි. (තොපි පද හදන්න ආවොත් ත්‍රෛතල තිලක නැතිව තමා යන්න වෙන්නෙ...දැනගනියව්) මේකි පට්ට සිරා කෙල්ලෙක්. ඉගෙනගන්නත් මට වඩා දක්ෂයි. (නෑ...නෑ... මම මෙතනදි අර අම්මලා ජොකියන් වශයෙන් පිටේ නැගගෙන රේස් එළවන කිරි අස්ප පැටව් ටික අයිං කරලා ඉතිරි උන්ට සාපේක්ෂව දක්ෂයි කියලා කියන්නෙ. ඒක ඊ ළඟට වරද්දගන්න එපා මගේ පිටේ අපේ අම්මා එහෙම රේස් පැද්දා කියලා. අපි කැලෑ අස්සයෝ). මේ කෙල්ල සිරා වගේම ටිකක් පොඩි සෑඩ් මූඩ් ගතියක් තියෙනවා. හැබැයි මේ ලෝකෙ සෑහෙන දුරට විවෘතව මා එක්ක කතාකරන පොරක් නෙමෙයි පොරියක්. මමත් දූලා සේරටම කතාකරන්නෙ පොරි කියලා නෙමේ පුතේ කියලා. වෙන අයගෙ දූලට දුව කියනවා. (2. ඒක වැරදිද? ඇයි?). මේකිත් මගේ ජාතියෙම චිත්‍රපටි පිස්සෙක්. ටීන් ෆිල්ම්, සයි ෆයි, කොමඩි ඇන්ඩ් ෆැන්ටසි තමා ෆේවරිට්. හැරී පොටර් කිව්වොත් ඩැනියෙල් රැඩ්ක්ලිෆගෙ ආච්චිගෙ ඉඳං එමා වොට්සන්ගෙ තාමත් නූපන් ළමයාට දාන්න ඉන්න නම දක්වා සියල්ල දන්නවා. දැන් හැදෙන කෙල්ලන්ගෙ හැටි වෙන්න ඇති නේද? අපිත් ඔයකාලෙ ටොම් ඇන්ඩ් ජෙරී, වුඩී වුඩ් පෙකර්, රෝඩ් රනර් ෂෝ එහෙම බලලා ගත්තු ආතල් එක අපේ පොඩි උන් හැරී පොටර්, ටින්කර්බෙල් (අා... මතක්වුණා නේද කෙනෙක්ව), බාබි ෂෝ බලලා ගන්නවාට අපි දොස් කියන්න හොඳ නෑ. ඇලී ගැලී ඉන්නකොට තමා මං ටිකක් මගේ අවම බලය පාවිච්චි කරලා දෙකක් කියන්නෙ. 

මුන්දැට තියෙන තව පිස්සුවක් තමා මොබයිල් ෆෝන් පිස්සුව. ඕක කොඩිවිනයක් කියලා ඒකිගෙ ආච්චි කියද්දිත් මං එක් පිළිගන්නෙ නැත්තෙ, මෙයාට මට හොරෙන් දෙයක් කරන්න බෑ කියලා ලොකු විශ්වාසයක් මගේ තියෙන නිසා. උඹලා මේ කතාව විශ්වාස කරයිද මන්දා. මගේ එකෙකුට වෙන්න ඉඩ තියෙන මොකක් හරි දෙයක් තියේනං, සමහර වෙලාවට ඒක මට කල් ඇතිව හීනෙන් පේනවා. වෙච්චි හැම නරක දේම (අපේ තාත්තාත් අම්මාත් මියයාම) එහෙම නොපෙනෙනුනත් සමහර සාමාන්‍ය දේවල් පවා කල් ඇතිව මට හීනෙන් පේනවා. සමහර වෙලාවට මම ඒක කියනවා එයාට. 

*************************************

ලොක්කට කොල්ලෙක් ලයින් පාරක් දානවා, සෙට් වේගෙන එනවා වගේ ආරංචියක් එනවා. මම ගියා ඌ හම්බුවෙන්න. ගිහිං බැලුවම ඌ කැරපොත්තෙක්!
ඕ ලෙවල් දෙසැම්බර්. මාස හයක් ඇති විභාගෙට. කවදා හරි කොල්ලෙක් විදිහට ඉඳලා තියෙන නිසා මම දන්නවා කොල්ලො ලව් කලා කියලා එග්සෑම් ෆේල් වෙන්නෙ නෑ. නියම කොල්ලො සිරා ලව් කරන්නෙ නෑ. කොල්ලො මතකයට වඩා තර්ක හැකියාව මත වැඩකරන ජාතියක්. වැඩිමනක්ම කෙල්ලො විභාග ගොඩයන්නෙ පාඩම් කරලා. ඒකයි ඉස්කෝලවල වුනත් මැත්ස් කරන්න කොල්ලො වැඩිත් බයෝ කරන්න කෙල්ලො වැඩිත්. කෙල්ලො ලව් කරන්න ගත්තම පාඩම් කරපුවා වැඩිහරිය හාඩ් එක ෆෝමැට් කලා වගේ කෙළවෙලාම යන්නෙ. මේකිට ඒක වෙන්න දෙන්න බෑ!!!. (3. මම වැරදිද? වැරදිනම් ඇයි ඒ?) මං තැලුව කැරපොත්තව චප්ප වෙනකං. පොල්ලෙල්ලක දාලා අපේ මහගෙදර ඉඩමෙ මායිමේ තිබුණු මං පුංචිකාලෙ කඩදාසි බෝට්ටු ඇරපු ඇල දිගේ පා කලා. ඇල මහපාරෙ බෝක්කුව අයිනෙන් පාර යන අතටම ගලාගෙන ගිහින් බෝක්කු කට ළඟදි හැරෙන කොටම එතනට නැමිලා තිබුණු වැටකෙයියා පඳුරු වල දිගෙ කොළ අතරෙ ඒ පොල්ලෙල්ල නවතිනවා. කැරපොත්තා මා දිහා ඇස් ඇරලා බලනවා කෝචොක් එකට වගේ. මේ පාර අල්ලගෙන සුන්නද්දූලි කරනවා කියලා හිතං මං යනවා බෝක්කුව ළඟට.

*************************************




------------------------- මතු සම්බන්ධන් -------------------------



Thursday, July 23, 2015

මුදල් මවන මන්තරේ How do commercial banks create money?



අනේ මේ මෙන්ඩ එක්ක බෑ අප්පා. මුගෙ වැඩේ රිමයින්ඩර් ගහනවා “දැං ඇති බලා හිටියා. ලියපං තව එකක්.... දැන් මාසයකුත් උනා (හරියට බබෙක් හම්බු වෙංට වගේ)“ ඔයාදී වසයෙන්. මොනා උනත් (බඩු කිං උනත්) ඌ හිත හොඳ එකානෙ. බ්ලොග් ටික ඇදං යන්න මාර සපෝට් එකක් සහ එපෝට් එකක් උෟ දෙන්නෙ. එහෙනං මෙන්ඩො, ඕං ආයි ලියනව ඈ...

*******************************

එක පුංචි නගරෙක තිබුනා විසාල ආර්ථික අර්බුදයක්. ගොඩක් අය හතර අතේ ණය වෙලා. සල්ලි දකින්නත් අමාරුයි. දවසක් මේ නගරෙ තිබුණ් එකම තානායමකට ආවා සංචාරක ටුවරිස් පොරක්. මේ මනුස්සයා කාමරයක් ඉල්ලුවා. මිනිහ කාමරේ බුක් කොරංට ඇඩ්වාන්ස් විදිහට ඩොලර් සීයක් තානායමට ගෙව්වා. ගෙවලා තමං කාමරේ නවතින්න එන්නෙ හවසට බව කියලා බෑග් ටිකත් තියලා ගියා ටිකක් ඇවිදින්න. ඉන් පස්සෙ මරු වැඩ ටිකක් වුණා.

තානායම්පල්ලා, ණයට මස් අරං මස්කඩ කාරයට ඩොලර් සීයක් ණය තිබුණා. පොර කලේ ටුවර්ස් පොර එළයට ගිය හැටියෙම පස්ස දොරෙං දූ....වල ගිහිං මස්කඩේට අර ඩොලර් සීය දීපු එක. නැත්තං පහුවදාට තානායම්පලු මස් නගරෙටම බෙදන්න ලෑස්ති තරමට මස් කඩකාරයත් මල පැනල හිටියෙ. 

දැන් මස්කඩකාරය කියලත් අපේ ඇමැටි ගොල්ල වගේ පූර්ණ නිර්මල අකලංක පරිසුද්ද පොරක් නෙමේ, අමු ණය කාරයෙක්. මිනිහා මස් ගන්න ගොවිපොලට ඩොලර් සීයක් ණය තිබුණා. පොරත් කලේ පස්ස දොරෙං දූ.....වල දූ....වල ගිහිං අර ණය වෙච්ච ඩොලර් සීය ගොවිපොලට ගෙවපු එක. 

ගොවිපොල කිව්වට ඕක සත්ව ගොවිපොලක්. ඒකෙ ගොවියා ඉතිං හැමදාම සත්තු කකා ඉංටයැ සත්ව ගොවිපොලේ හිටියා කියලා. මිනිහ අල්ලපු ගොවිපොලේ එළවළු වවන ගොවියට ඩොලර් සීයක් ණය තිබුණා. මිනිහට සල්ලි හම්බුන ගමන් පොර මොකද කලේ දූ...වල දූ...වල, නෑ...නෑ... අල්ලපු ගොවිපොලනෙ. එළවලු ගොවියව වැට ළඟට අඬගහල ගෙව්වා ණය!

එළවලු ගොවියට ඔන්න දැන් ඩොලර් සීයක් හම්බුනා. මේකා...එළවලු ගොවියෙක් වගේම එළ වල් ගොයියෙක්. ඒ කියන්නෙ මේකා ණයට සැප ගන්න පොරක්. නගරයේ ඉන්න ලස්සනම වැඩිම මිලක් අයකරන ගණිකාව එක්ක ඉඳල මේකා ඩොලර් සීයක් ණයවෙලා තිබුණෙ. (ඔව්...ඔව්... මෙහේ වගේ තමා. ණයටත් .......). දැන් ඉතිං ඔය කස්ටියගෙ අනික්වා වගේමනෙ කටවලුත්. ගොවියාට හොඳට දෙහි, දොඩම්, ජම්බෝල ඔක්කොම කප කප හිටියෙ ගෑණිත්, ණය ගෙවන්නෑ කියලා. 

එළ වල් ගොයියා දූ...වල ගියා ගණිකාව ළඟට. “මේ අර ණය... ආයිනං ණයට ........ නැතෝ“ කියල සල්ලි දීලා ආපහු ආවා. දැන් ඩොලර් සීය කා ළඟද? හරි... ඔ..ඔව්... එයා ළඟ තමා. මෙයාත් නරක නෑ. මෙයා ගමේ තිබුණු එකම තානායමේ කාමරවල ඉඳල...ඉඳල...ඉඳල...ඉඳල, තානායමට ඩොලර් සීයක් ණය වෙලා තිබුණෙ. මෙයා දූ...වල ගිහිං තානායමට ණය ගෙව්වා.

ගමේ එකම තානායමේ නවතින්න ආපු ටුවරිස් පොර ඉන් පොඩ්ඩකට පස්සෙ ඇවිත් තානායම්පල්ලට කිව්වා, “මේ ගමේ බලන්න දෙයක්වත් විනෝදවෙන්න තැනක්වත් නෑ. මම යනවා අල්ලපු ගමට. මගේ බුකිං කැංසොල් කොරංට. ඇඩ්වාන්ස් එක ආපහු දෙන්න“ කියලා. තානායම්පල්ලා ඔන් ඩිමාන්ඩ් ඇඩ්වාන්ස් එක ආපහු ගෙව්වා!

***************************************

නෝ පේන්... නෝ ගේන්... කතාව දික්වුණාද මන්දා. මොනා උනත් දැන් පේනවා නේද, කවුරුවත් අන්තිමේ කාටවත් ණය නෑ. හරි පුදුමයි නේද? රොල්න්ඩ් ඩාල් හරි දේශකයා හරි දන්නවානං කෙටි කතාවක් ලියනවා අගේට.

මෙච්චර මේ හෑල්ලක් කිව්වේ අපි මහා ලොකු ආර්ථිකයක් කියලා හිතා ඉන්න අපේ පෞද්ගලික ආර්ථිකයත් රටේ ආර්ථිකයත් දුවන්නෙ මේන් මේ වගේ සිස්ටම් එකක. මේ සිස්ටම් එකට කියන්නේ මුදල් මැවීම කියලා. ඉස්සර සෙවන ලොතරැයියෙ මොටෝ එකක් දානවා “මුදල් මවන මන්තරේ. ගෙවල් හදන යන්තරේ“ කියලා. මේකත් ඒ වගේ. රටක ආර්ථිකයෙ තියෙනවා විශාල වශයෙන් මැවුණු මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ අද දවසේ රටේ සියළුම මිනිසුන්, ආයතන, බැංකු ආදියෙ තියෙන සියළුම නෝට්ටු, කාසි, රත්රන් ප්‍රමුඛව අනෙකුත් ධනය ලෙස හැඳින්වෙන වත්කම්, හෙට වෙනකොට වැඩිවෙනවා. ඕක වැඩිහරිය කරන්නෙ වාණිජ බැංකු. අපි බලමු එ්ක වෙන්නෙ කොහොමැයි කියලා.

ඔන්න අපේ මෙන්ඩාට හම්බවෙනවා බෝනස් එකක් රුපියල් ලක්ෂෙක. (ඕකට හම්බ වෙන්නෙ මිලියන් ගණන්. මම මේ ගාණ ලේසිවෙන්න ලක්ෂයක් ගත්තෙ). ඉතිං මේ ලක්ෂෙ, මෙන්ඩා ගිහිං දානවා බෑන්ක් ඔෆ් කුරුටු වෝල් එකේ ඉස්තීර තැන්පතුවක් (හරි මොකක් හරි). දැන් මෙන්ඩා නමින් කුරුටු බැංකුවේ තියෙනවා රු.100,000 ක තැන්පතුවක්. 

බොලා මෙන්න මේක දන්නවද දන්නෑ. කිසිම බැංකුවකට බෑ තමන් ළඟ තියෙන් තැන්පතු වලින් 100% ක් ණයට දෙන්න. උන්දැලා එයින් නිශ්චිත ප්‍රතිශතයක් සිරි ලංකා මහ බැංකුවෙ තැන්පත් කොරංට ඕනි. ඕක 6% - 8% වගේ ඇවරේජ් එකක්. වෙනස් වෙනවා කාලෙං කාලෙට. මේ තැන්පතුවට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිතය (Statutory Reserve) කියලත්, අර ප්‍රතිශතයට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio - SRR) කියලත්. කුරුටු බැංකුවටත් ඒ ආනිසංසෙ එහෙමමයි. අපි මෙතෙනද ගාණ හදන්න ලේසිවෙන්න 10% ක් කියලා ගම්මු (නැත්තං ඔය මහේෂ් රත්නායක වගේ පොරවල් ඇණගන්නවා).

දැන් ඔන්න අපේ අටම්ස්ට අහුවෙනවා පරණ මැසිං කබල් ටිකක් කසුට්ටගෙ ගෙදර දවසක් සැට් වෙංට ගිය වෙලාවක. මේකාට ඕවා පේන්ට බෑනේ. ගෙදර ගෙනත් තියාගන්නවනෙ කොට්ටෙට තියංට. හැබැයි අපි දැනට හිතමු පොරට ඔයටික ගංට රුපියල් අනූදාහක් ඕනි කියලා. පොර යනවා ළඟම තියෙන කුරුටු බැංකුවට ණයක් ගංට. ගිහිං අහනවා අනූදාහක විතර මැසිං ගංට ණයක් දෙංට කියලා. ඔය ලංකාවෙ අනික් බැංකු වගේ නෙමේ කුරුටු බැංකුව බෑ නොකියා වද නොදී ණය දෙනවා ඔන් ඩිමාන්ඩ්. ඉතිං කුරුටු කැමති වෙනවා රු.90,000 ක ණයක් අටම්ස්ට දෙංට. එහෙම වෙලා කුරුටු බැංකුව අර මෙන්ඩගෙ රු.100,000 න් 10% ක් හෙවත් රු.10,000 ක් මහ බැංකුවෙ අර මොකක්ද සංචිතේට තියලා ඉතිරි රු.90,000 ණයට දෙනවා අටම්ස්ට. (දැං අහයි.. මෙන්ඩගෙ ලක්සෙ විතරද ඔය බැංකුවෙ තියෙන්නෙ කියලා. හරි...හරි...යකුනේ. මේක පැහැදිලි වෙංටයි මං ඒ ලස්සෙම ගත්තෙ. ඊ ළඟට අහංට එපා කොහොමද සංචිතේ තිබ්බම ඉතුරුවෙන ගානම මැසිං ප්‍රයිස් එක උනේ කියලා)

අටම්ස් ණය රු.90,000 අරං ගිහිං කසුට්ටට දීලා මැසිං ටික ගෙදර ගෙනත් කොට්ටෙට තියාගන්නවා (අටමා, තරහා වෙංට එපා ඈ...). කසුට්ට මොකද කරන්නෙ, මේ සල්ලි ටික ගෙදර තියාගත්තොත් හොර හතුරු ආංතරාවක් වෙයි කියලා ගිහිං දානවා තමගේ එකවුන්ට් එක තියෙන බෑන්ක් ඔෆ් සජ්ජා ඩි පඩංගුව ට (දැං ඉතිං නම නොකියවුනු එවුන් හිටපියව් සංතෝසෙං... තව ලිපියක් දෙකක් වැටෙනකං). දැන් මොකද වුනේ? සජ්ජා බෑන්ක් එකේ කසුට්ටා නමින් තියෙනවා රු.90,000 ක තැන්පතුවක්. ඒ බැංකුවටත් අර ආනිසංසෙම හිංදා ඒ ගොල්ලොත් 10% ක් සංචිත තියංටෝනෑ මහ බැංකුවෙ. ඔන්න දැන් මුලින්ම රු.9,000 ක් ඒ විදිහට තිබ්බා කියමුකො. 

දවසක් අපේ ෂෙෆාකි ට හිතෙනවා එයාගෙ සප්තපාදි හෝටලේ පබ් එකක් ඇරලා ගල් බලකාය තීම් ඩ්‍රින්ක් එකක් ඉන්ට්‍රොඩියුස් කොරලා දියුණු කරංට. දැං ගල් අරක්කු ගංට එපෑ එකට. අපි හිතමු පළවෙනි ඉස්ටොක් එක විදිහට රු.75,000 ක් ඕනි වෙනවා කියලා. පොර බොහොම අමාරුවෙං සජ්ජා බෑන්ක් එකේ මැනේජර්ගෙ දොරෙන් ඇතුල් වෙලා ඊට වඩා අමාරුවෙන් එතන තියෙන පුටුවක වාඩි වෙනවා (ඔය කිව්වට මටත් ඔහොම වෙයිද දන්නෑ... නෑ නෑ ඒ පරිමාව අල්ලන්ට බෑ මලාට). එතන හිටං අර බර කටහඬෙං මැනේජර්ගෙං ඉල්ලනවා රු.75,000 ක ණයක් (ෂෙෆාකිට ණය ඕන්නෑ. සමහර රජවරුන්ටත් වඩා සල්ලි තියෙනව උන්නැහැට. අපි නිකමට හිතමු). බෑන්ක් ඔෆ් සජ්ජා ඩි පඩංගුවත් ඇවිල්ලා මේ රටේ සාමාන්‍ය බැංකුවලට වඩා අපගමණය වුනු එකක්. ඒ කියන්නේ ණය දෙනවා. 

සජ්ජා බැංකුව ක්ෂණිකව ණයක් දෙනවා ෂෙෆාකිට. ෂෙෆාකි යනවා ගස්ලබ්බා සහ පුත්‍රයෝ (පිරිසිදු රට බීම තොගමිලට සපයන්නෝ) කියන ඩිස්ට්‍රිබියුසොං ඒජන්සියට, ගල් බෝතල් හැත්තෑ පහක් විතර ගංට. ගිහිං ණයට ගත්ත රු.75,000 ගස් ලබ්බා සහ පුත්‍රයංට දීලා බොටල්ස් ටික ගෙනත් ඒවට අන්නාසියි, ඇපලුයි කපලා දාලා බ්ලෙන්ඩර් කර කර දෙනවා (නෑ...නෑ... මාතලංට නෙමේ. ඌ බොයි ගල් මේං කියලා) පාරිබෝගිකයංට. 

දැං, ගස්ලබ්බා සහ පුත්තරයෝ තමංට ලැබුණු රු.75,000 දානවා ගෙනිහිං...කොහේද? (මං දන්නවා දැන් සමහරුන්ගෙ ලබ් ඩබ්) මනා ඩි පිංටාරු බෑන්ක් එකට. දැං අර රටබීම නියෝජිතයා නමිං මනා බෑන්ක් එකේ තැන්පතුවක් තියෙනවා රු.75,000 ක. ඒ බැංකුව අර සංචිතය විදිහට රු.7,500 ක් මහ බැංකුවෙ තියලා බලා ඉන්නවා ඉතිරි රු.67,500 ගංට පුණ්‍යවංත ණය අයදුම්කරුවෙක් එනකං.

දැන් මදෑ නේද? ඕක ඔහොම වැල වගේ ඇදි ඇදී යනවා. නියායාත්මකව ඔය මුදල ඉවර වෙන්නෙත් නෑ මුදල් ඒකක මිනුම් නොසලකා හිටියොත්. අපි බලමුද මෙච්චර වෙලා සිද්ද වෙච්ච සංගෙඩියෙ පොරතිපලේ....?



ඕං බලාපල්ලකො ඉතිං... මුදල් මැවිල නැද්ද කියලා. මෙන්ඩා, කසුට්ටා සහ ගස්ලබ්බා නමින් තැන්පතු තියෙනවා බැංකු තුනක එකතුව රු.265,000 ක්. බැංකු තුනේ සංචිත තියෙනවා එකතුව රු.26,500 ක්. ණය තියෙනවා දෙන්නෙක්ගෙන් විතරක් රු.165,000 ක්. තව ණයට දෙන්ට බලාගෙන ඉන්නවා රු.73,500 ක්. ඒ පැත්තත් එකතුව රු.265,000 හිංදා ට්‍රයල් බලන්ස් බැලන්ස් ඈ... මොනා වුණත් රු. 530,000 ක වත්කම් හා වගකීම් දැනටම කීප පොලක බැලන්ස් ෂීට් වල තියෙනවා. 

මේ සේරම වුනේ මොකෙංද? මෙන්ඩගෙ අර රු. ලක්සෙං. ඒකනෙ මං කියන්නෙ ඕකා හිත හොඳ එකා කියලා. (මෙන්ඩෝ........... උඹ ඔහේ ඉන්නව නේද?)

මං මේ විස්තර කලේ මුදල් මැවීමේ වඩාත් ප්‍රචලිත සහ ප්‍රමුඛතම ඉට්ටැයිල් එක වන වාණිජ බැංකු විසින් මුදල් මැවීම ගැන. මේකෙ අවුල් තැන් තියෙනවනං කියංට මං ලෙහල දෙඤ්ඤං.

නොදැනිම හෙන ගොඩක් ලියවිලානෙ.... හති බොලව්... පස්සෙ උත්තර දෙංට එඤ්ඤංකො ඈ...

ඔබ සැමට වැඩි වැඩියෙන් මුදල් මැවේවා!



Wednesday, May 20, 2015

ලංකාවට බැංකු ආව හැටි Banking History in Sri Lanka

monte dei paschi di siena - Italy (Since 1472)
අදටත් පවතින ලොව පැරණිතම බැංකුව

කොහොමද මචංස්ලා? කාලයක් වළහා වගේ හයිබර්නේට් වෙලා හිටපු මාව බ්‍රා මෙන්ඩා විසින් අවදිකරවීමෙන් පසු ගිය මෙව්ව එකේදි අපි එක එක කාඩ් ජාති ගැන කතා දැම්මනෙ. ඒකේ අපේ ළමයි ඉල්ලලා තිබ්බා විවිධ ඉල්ලීම්. එව්වට උත්තර බඳින්ට මේ කළබලේ බැරි නිසා මට හිතුනා අද වෙන දෙයක් කතා කරන්ට.

අපිලා ඔය එක එක ගනුදෙනු කාරනාවලට බැංකුවලට යනවනෙ. ඒ ගියාට ලංකාවෙ මේ බැංකු පටාං ගත්තෙ කොහොමද? අද තියෙන තත්ත්වෙට දියුණු උනේ කොහොමද? මේ වගේ දේවල් හිතුනෙ නෑ නේද කවදාවත්? මගුලක් කතා කරනවා. වෙන වැඩ නැතුවට...නැද්ද මං අහන්නෙ? හරි. කමක් නෑ. අපි නිකමට ඔය අතීතය පොඩ්ඩක් හාරාවුස්සාලා බලමු ඈ...

ලංකාවෙ බැංකු ඉතිහාසෙ දුවනවා ආපස්සට ක්‍රිස්තු පූරුව 4  වන සතවරුසෙ වගේ අවුරුදු දක්වා. බොලා අහලා ඇති ආනමඩුවෙ තෝනිගල සෙල්ලිපිය ගැන. ඕකෙ තියෙනවැයි කියනවා නොවැ ක්‍රිස්තු පූරුව 4 වන සත වරුසෙ ලංකාවෙ බැංකු කරමයක් තිබ්බා කියලා. ඕං දැම්මා කියවහල්ලකො පුලුවංනං.


හැබැයි මචංස්ලා, ඔය බැංකු කරමෙට වඩා අපිට වැදගත් වෙන්නෙ මේ අද අපි දකින් බැංකු කරමය කවද්ද ඇතිවුනේ කියන එක. මේක ඉස්සෙල්ලම එන්නෙ අර රතුවංසලා කියන බටහිර අදිරාජ්ජවාදී යටත් විජිත කාලෙ. ඔය සුද්දො අපේ රටේ තේ වැව්වනෙ. ඉතිං තේ වවල බිව්ව නෙමෙයිනෙ. ඒවා රට පිට ඇරියා. ඒ ඇරියෙ කොළඹ වරාය හරහානෙ. ඉතිං කොළඹ වරාය ආසන්නෙ අද ඔය යෝක් වීදිය කියන හරිය ඒ කාලෙත් හොඳ වෙළඳපොලක්. තේ විතරක් නෙමේ රට පිට අරින ඕනි මගුලක් ඔතෙංට එංට එපෑ. ඉතිං මේ හරියෙ ඉන්න වෙළෙන්දංට නිතරම ඕනි වෙනවා ණය ගංට. සල්ලි තැම්පත් කරලා තියංට. 

ඕං ඔතෙංදි ඔය කාලෙ තමිල්නාඩුවෙ ගිනිකොණ පැත්තට වෙංට තිබ්බ චෙට්ටිනාඩුව කියන පළාතෙ ඉඳල ලංකාවට ඉතරක් නෙමේ ජාවා, සුමාත්‍රා, බුරුමෙ (දැන් මියන්මාරෙ), මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමෙ විතරක් නෙමේ අපේ මේ සිලෝන් එකටත් ආවා ඔය මුදල් ගණුදෙනු වලට කප් ගහපු කට්ටියක්. මෙයාලට කිව්වෙ නාට්ටුකොට්ටෙයි චෙට්ටියාර් කියලා. ඒ අය මුල් බැහැගෙන හිටපු පැත්ත තමා අදත් අපි හෙට්ටි වීදිය කියලා කියන්නෙ. රත්තරං බිසිනොස් එකත් ඒ කාලෙ ඉඳංම තිබිලා තියෙනවානෙ. අපේ මිනිස්සු මේ අයට කියලා තියෙන්නෙ හෙට්ටි කියලා. මේ මිනිස්සු තමා ඒ කාලෙ මුදල් සහ රත්තරං ගණුදෙනුවල යෙදිලා තියෙන්නෙ. මේ ඉන්නවා එයිං ඩබලක්...


පේනවද මල්ලකුත් එල්ලං ඉන්නෙ. ඕකෙ තමා ඉතිං සල්ලි කාරිය දාං උන්නෙ.

එතකොට බැංකු තිබ්බෙම නැද්ද? තිබ්බා. 1888 හැටන් බැංකුව (HNB-Hatton National Bank) පටං ගත්තා සුද්දො. වතු වවන සුද්දංට අවශ්‍ය මුදල් කටයුතු වලට තමා මේක පටං ගත්තෙ. ඒ කාලෙ කිව්වෙ හැටන් බැංකුව කියලා 1970 රීනේම් කොරනකං. 

1920 දි එංගලංතුවෙ ඊස්ටර්න් බැංකුව කොළඹ ශාඛාවක් පටං ගන්නවා. පසුව මෙය ලංකා වාණිජ බැංකුව (Commercial Bank) ලෙස නම් කරනවා. ඒ සැනිං අපේ අල්ලපු රටෙං මෙහේට එනවා 1921 දි ඉම්පීරියල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා කියලා බැංකුවක්. 

මේ ඔක්කොම සුලු මට්ටමෙන් තමා කිරියාත්මක වෙන්නෙ. ඒ වගේම මිනිස්සුන්ට වඩාත් විස්වාසවන්තව ගණුදෙනුකරන්න පරිසරයක් තිබුණෙ නෑ. විශේෂයෙන් හෙට්ටිලා මිනිස්සුන්ට දුන්නා නියම ගේම්. ණය වලට ගිනි පොලී ගන්න අතරෙ තැන්පතුවලට ගෙව්වෙ සොච්චමයි. මේ ගැන ඒ කාලෙ තිබ්බ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ කතාවුනා. අද වගේ විල මැද පච බංගලාවක් නෙමේනෙ තිබ්බෙ.

1934 දි එතකොට හිටපු ආණ්ඩුකාරයා වෙච්ච ඇන්ඩෘෘ කැල්ඩිකෝට් කිව්වා, රජයේ මැදිහත්වීමෙන් වෙන ජාතික බැංකුවක් ඕනෑ කරනවා කියලා. ඉතිං ඕකට ගිය මන්ත්‍රණ සබා විවාදෙට අපි දන්න කියන දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තයයි ජී.ජී. පොන්නම්බලම් මහත්තයයි. පොන්නම්බලම් මහත්තය තමා යෝජනාකරලා තියෙන්නෙ රජයේ මැදිහත්වීමෙන් නෙමේ රජයට අයිති රාජ්‍ය බැංකුවක් තමා පිහිටුවංට ඕනි කියලා.



ඉතිං එව්වා මෙව්වා සම්මත කරගෙන තමා ලංකාවෙ පළවෙනි රාජ්‍ය බැංකුව විදිහට 1939 අගෝස්තු පළවෙනිදා කොළඹ යෝක් වීදියෙදි ආණ්ඩුකාරයා අතින් ලංකා බැංකුව විවෘත වෙන්නෙ. අද ලංකා බැංකුවෙ නගර ශාඛාව තියෙන්නෙ මේ ගොඩනැගිල්ලෙ තමා.




දැන් මේ විදිහට බැංකු කරමෙට රජයේ මැදිහත්වීම පටං ගත්තට මේක විධිමත් කොරගංටත් එපැයි. ඔන්න ඊට අවුරුදු 10 කට පස්සෙ පණතක් ගේනවා 1949 අංක 58 දරණ මුදල් නීති පණත ඕක විදිමත් කොරංට. එහෙම කොරංටනං ලංකාවටත් ඔය එංගලංතෙ තියෙන බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ්, එතකොට 

ඇමෙරිකාවෙ තියෙන ෆෙඩරල් රිසර්ව් වගේ මධ්‍යම බැංකුවක් ඕනි වෙනවා. ඕං 1950 අගෝස්තු 28 වෙනදා පටංගන්නවා මහ බැංකුව. ඔන්න ළමයි මතක් තියාගංට අද අපි ශ්‍රී ලංකා මහ බැංකුව කියන ඕකෙ ඉස්ඉස්සෙල්ලම අධිපති උනේ ජෝන් එක්ස්ටර් කියන මහත්තයා. මේ ඉන්නෙ... නිකං බ්ලේක් කැරිංටං වගේ.

ඉතිං ඔය ඔක්කෝම පිහිටෝගෙන ටිකක් කල් යනකොට තව පුරස්නයක් ආවා. මේ කාලෙ වෙනකොට මිනිස්සු බැංකු ගණුදෙනුවලට ටික ටික සැට්වේගෙන එන කාලෙ. පොඩි පොඩි වෙළෙන්දන්ට වගේම ගමේ මිනිස්සුන්ටත් මේ කටයුතු වැදගත් උනානෙ. හැබැයි රජය යටතේ පිහිටවපු ලංකා බැංකුව ඒ තරම් මේ මිනිස්සුන්ට සමීප වෙලා තිබුනෙ නෑ. එයාලා වැඩිපුර හිටියෙ නාගරික තරමක දෙයක් කරගංට පුලුවං වියාපාරික පොරජාවත් එක්ක තමා. 

ඔන්න ඉතිං ගමේ මිනිස්සුංටත් සුලු ව්‍යාපාරිකයංටත් සලකන්න බලාගෙන 1961 ජූලි පළවෙනිදා කොළඹ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටුවනවා මොකක්ද, මහජන බැංකුව. මේක ගම් දනවු සිසාරා යනවා සමූපාකාර ක්‍රමයත් එක්ක පසුකාලීනව.

ඔය 1977 ද අටේද මංදා ලංකාවට විවෘත ආර්තිකේ අඳුන්නල දීලා අවුරුදු නමයකට දහයකට පස්සෙ ලංකාවෙ පුද්ගලික බැංකු එක දෙක වැඩි වෙන්න ගන්නවා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ 1986 දි Investment & Credit Bank විදිහට පටං ගත්තු සම්පත් බැංකුව සහ අපේ ලලිත් අයියා 1987 දි දාපු සෙලාන් බැංකුව Seylan Bank. තව බැංකු බොහොමයි දැන්නම්. ලංකාවෙ වාණිජ බැංකු (වාණිජ බැංකු කියන්නෙ චෙක්පත් ගණුදෙනු කළහැකි ජංගම ගිණුම් පවත්වාගෙන යන ඒවගේම විදේශ මුදල් ගණුදෙනු කළ හැකි බැංකු වලට... ඕවා හැමෝටම බෑ) 25 ක් තියෙනවා.

එයින් 13 ක් දේශීය බැංකු.
  1. ලංකා බැංකුව
  2. මහජන බැංකුව
  3. කොමර්ෂල් බැංකුව
  4. හැටන් නැෂනල් බැංකුව
  5. සම්පත් බැංකුව
  6. සෙලාන් බැංකුව
  7. National Development Bank - NDB
  8. Pan Asia Banking Corporation - PABC
  9. Nations Trust Bank
  10. DFCC වර්ධන බැංකුව (DFCC බැංකුව නොවේ)
  11. Amana Bank
  12. Union Bank
  13. Cargills Bank
විදේශීය රටවල් පවත්වාගෙන යන වාණිජ බැංකු තියෙනවා 12 ක්
  1. State Bank of India - ඉන්දියාව
  2. Indian Bank - ඉන්දියාව
  3. Indian Overseas Bank - ඉන්දියාව
  4. Industrial Credit & Investment Corporation of India - ICICI - ඉන්දියාව
  5. Axis Bank - ඉන්දියාව
  6. Standard Chartered Bank - බ්‍රිතාන්‍යය
  7. Hongkong & Shanghai Banking Corporation - HSBC - බ්‍රිතාන්‍යය
  8. Citibank - අමෙරිකා එක්සත් ජනපදය
  9. Deutsche Bank - ජර්මනිය
  10. Public Bank - මැලේසියාව
  11. Habib Bank AG Zurich - ස්විට්සර්ලන්තය
  12. Muslim Commercial Bank - MCB - පාකිස්ථානය
ඔය කිව්වෙ වාණිජ බැංකුනෙ. වාණිජ නොවන ඒ කියන්නෙ විශේෂ බලපත්‍රලාභී බැංකු තියෙනවා කීපයක්.
  1. ජාතික ඉතිරිකිරීමේ බැංකුව - National Savings Bank - NSB
  2. MBSL Savings Bank
  3. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව - SLSB
  4. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - RDB
  5. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව 
  6. DFCC Bank
  7. සණස සංවර්ධන බැංකුව  - SDBL
  8. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව - HDFC
  9. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - SMIB
  10. ශ්‍රී ලංකා වාණිජ බැංකුව - Merchant Bank of Sri Lanka - MBSL
  11. මහජන ව්‍යාපාරික බැංකුව - People's Merchant Bank
  12. Seylan Merchant Bank
  13. Mercantile Merchant Bank
  14. Sterling Investment Management Corporation

ඔව්වා තමා ශ්‍රී ලංකා මහ බැංකුවෙ විශේෂ බලපත්‍ර යටතේ ලියාපදිංචි බැංකු. ඔය 10 ඉඳලා අවසානය දක්වා එව්වට කියන්නේ වණික් බැංකු කියලා. ඒවා ව්‍යාපාරවලට දීර්ඝකාලීන පහසුකං දෙංට තමා පිහිටෝලා තියෙන්නෙ.

සෑහෙන විස්තරයක් ලීවනෙ. දැං ඇති..මාංසියි අප්පා. ආයි දොහක ලියන්නංකො තව ටිකක් ඈ....

එහෙනං විසිටරයා ගෙහුං එඤ්ඤංකො ඈ....


Monday, May 11, 2015

ප්ලාස්ටික් මුදල් Plastic Money



බොහොම කාලෙකිං මේකට ගොඩ වුනේ විශේෂයෙන් අපේ මෙන්ඩා මේක ලියන්න කියලා තර්ජනය කල නිසාමයි. අනේ ඉතිං මේ වගේ මෙලෝ රහක් නැති සබ්ජැට් එකක් කුරුටු ගානවට වඩා නරකයැ කුණුහබ්බ කයියක් ලියාගෙන ඉන්න එක. ඈ... ඒ මොකක්ද කිව්වෙ? හරි... ඉස්සරෝම ඒක කියලා ඉන්නංකො. කියන්න දෙයක් නෑ. දැනටම තේරිලා ඇති.

මේ බොග දාගෙන දාගෙන දාගෙන එද්දි ඒ කාලෙ රටේ තිබුණ තත්ත්වයයි තව ඔය අපේ ඇත්තො හිටි අඩියෙ කුරුටුගාන නිසඳැස් කෑලියි දැක්කම හිතුනා මේ මගුලට වඩා කයි බොගක් දැම්මනං හොඳා කියලා. ඉතිං ඒ කාලෙ තිබ්බ අහලපහල වටපිටාවෙ හිට්ට අපේ සමහර හිතවතුන්ගෙ (බ්ලොග් හිතවතුන් නෙමේ) ලබැඳිබව හින්දම ඒ සමහර ලිපි දාන්නෙ අපි කියලා දැනෙන්ට අරින්ටත් බැරිවුනා පහුවදාට ඇඩ්‍රසුත් නැතිවෙයි කියලා නෙමේ ලබැඳිබව නැතිවේවි කියලා. හැබැයි මේ කෙලිය ලේසි වුනේ නෑ. හරියට අනියම් සම්බන්ධයක් පවත්වනවා වගේ ගෙදරට හොරා. ඔක්කොටම හපන් කෙලිය කමෙන්ට්ස් දාන්න ගිහාම අනෙක් අයගෙ එව්වයෙ. හිටි ගමං වී වැටෙනවා අනිකෙ. අනික වැටෙනවා වී එකේ. ඒ විතරක්යැ. අපේ සහෝදර බොගා මල්ලිලගෙ නංගිලගෙ එව්වයේ නම් දෙකෙන්ම කොමෙන්ට් දාන්ටත් එපෑ (ඒකත් කලා වෙලාවකට). හපෝ වින්ද දුකක්. ඒ හින්ද වී ටිකකට පැත්තකින් තියල පුරුදු කුණුහරුප විශුද්ධීකරණයේ යෙදුනා. ඒ හිතපු තරං දෙයක් අර කියපු තත්ත්වෙ ගැන ලියන්ට බැරිවුන නිසාත් දැන් තත්ත්වය යහපලනවත් නිසාත් ඔන්නොහෙ මේකත් කියලා දාන්ට ඕනි කියලා හිතුනා. බැංකු ගැන මුදල් ගැන ලියලා ලියලා එක පාරටම මම කයි පදබඳින්ට ගත්තා. ඒ කයි වල මුලද එක එක මාත්තුරුකා තිබ්බත් පස්සෙ හුදී ජන පහන් සංවේගය පිනිස ටිකක් විතර අවලං කයි දාන්ට ගත්ත. ඒක තමා නැගල ගියේ. ඉතිං දැං මේ කවුද මොනවද මේ කරන්නෙ කියලා දන්නවනෙ. ඔන්න මීට පස්සෙ වී හරි මදාවිය හරි දෙන්නගෙං එකෙක් කමෙන්ට්ස් දැම්මොත් ඒ දෙන්නම එකයි ඈ... හරී... අපි එමු අද කතාවට. (මෙන්ඩා, බොහොම ස්තුතියි සැරින් සැරේ කූරු ගෑවට)

ප්ලාස්ටික් මුදල්
රයිට්, නංගිලා මල්ලිලා දන්නවනේ දැන් දැන් කඩදාසි මුදල් භාවිතය ටික ටික දූරිංබූත වෙලා යන්ට පටාං අරං කියලා. ඒ වෙනුවට දැන් තියෙන්නේ කාඩ්. අනික ඉන්ටර්නෙට් බෑංකිං.

හරි ඔය කාඩ් තමා ප්ලාස්ටික් කාඩ්. කාඩ් කිව්වම ඉතිං නානප්‍රකාරයි. ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ්, මාස්ටර් කාඩ්, ක්ලැසික් කාඩ්, ගෝල්ඩ් කාඩ්, අයිඩින්ටි කාඩ් (හෑ...) ඉන්ටර්නැසනොල් වීසා කාඩ්, බුජු අම්මේ එලෝ කෝටියයි. අපි මේ එක එක ලෙහාගම්මු නේද මචංස්ලා.

ක්‍රෙඩිට් කාඩ්
මයෙ අප්පල හොඳටම දන්න එකක්නෙ ඔය. ඕක ඇවිල්ලා ණයක්. ඒ කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් බැංකුවෙන් ඉල්ලන්ට ඇහැකි තමන්ගෙ ආදායම පෙන්නලා. තරමක ඉල්ලුපත්තරයක් පුරවංට ඕනෑ. ඔන්න ඉතිං කාඩ් එකයි පිං එකයි (රහස්‍ය අංකය = PIN= Personal Identification Number) හම්බු වෙනවා. පින් එක තමන්ට හොඳට මතක හිටින තැනක ගබඩා කොරගෙන ඒක ගහපු කොලේ පුච්චංට කියලා තමා උපදෙස් දෙන්නෙ. ඊට පස්සෙ කාඩ් එක පරිස්සං කොරල තියාගංට. ඔය පිං එක ඕනිවෙන්නෙ ඕක ඔබල අර ගොලුවගෙ කටට මේ ආවෙ මංම තමා කියලා කියංට තමා.

හරි, අපි හිතම දැන් බොලාට ලැබිලා තියෙනවා ලස්සෙක ණය සීමාවක් එක්ක ක්‍රෙඩිට් කාඩ් එකක්. දැං ඉතිං කෙළපං අප්ප ෆුඩ් සිටියෙයි, පීසා හට් එකෙයි, හමීඩියා එකෙයි, ස්වර්ණමහල් (නෑ...උඹලට කරාබු ගන්ට නෙමේ, බඩු කෑල්ලට යමක් කමක් අරං දෙංට) එකෙයි, ඔක්කොටමව වඩා පැස්ටෝල් ෂෙඩ් එකෙයි හැම තැනම අර ලස්සෙ ඉවර වෙනකං. ඔය වීසා (VISA) ලකුණ හරි අනෙක් කාඩ් ලකුණක් (මාස්ටර්කාඩ්, ඇමෙක්ස්) දොරේ ගහගෙන ඉන්න තැංඔල ඔය කාඩ් වලිං සෙල්ලං දැම්මැකි.

ඔතනදි වෙන්නෙ මෙහෙමයි. අපි කාඩ් එක දික් කොරලා ඔය අපි ගත්තු කාපු බීපු ගහපු (පැස්ටෝල් බං..) ඒවට බිල ගෙවනවා. ඒ ඇත්තො කාඩ් එක මෙව්ව එකක් (store reader) මැදින් අතුල්ලලා වැඩේ තහවුරු කරගෙන ඒ ගොල්ලංගෙ බිලට අපේ අස්සනකුත් ගන්නවා. මුලිං කියන්ට බැරිවුනා, බැංකුවෙදිම ඕකෙ පස්ස පැත්තෙ ගහංට ඕනි...අස්සන, අස්සන. ඉතිං අර ෆුඩ්සිටියෙ අහිංසක ලාබාල කෙල්ලො ඔය බිලේ ගහපු අස්සන අරකෙ පස්ස පැත්තෙ ගහපු එකමද කියල බලලා කාඩ් එකයි බිලයි ආපහු දීලා තැන්කියු කියනවා.

කෙලිය තියෙන්නෙ ඊට පස්සෙ. අපි හිතමු අපි රුපියල් 5000 ක බඩු ගත්තා කියලා ජනවාරි පළවෙනිදා. ඔන්න  පුතාලට හම්බුවෙනවා ඔය 5000 ණය ගෙවන්න පොඩි කොමර්ෂල් බෙරෙක් එකක්. ඒක දින 45ක්, 51 ක් වගේ වෙන්ට ඇහැකි. ඒ දින ගාන ඇතුලත බැංකුවට ගිහිං හරි, ඊ-බෑංකිං කෙරමෙට හරි ඕක ගෙවලා දැම්මොත් නෝ පොලී හරි ජොලී. හැබැයි දිනේ පැන්න ගමං වදිනවා... උගෙ අම්මගෙ පොලියක් (නෑ...නෑ... එච්චර සැර නෑ. සමහර ඒවයේ අවුරුද්දටම 24%යි, නැත්තං 36%යි, සමහර ඒව්වයෙ...නෑ එක්කො ඕන්නෑ). දැන් ඉතිං පහු උනු දින ගානට හැදෙනවා පොලිය අර වාර්සික අනුපාතෙ අනුව.

කියන්න ඕනිම දෙයක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ්වල ණයව ඇති ශේෂයෙන් නිශ්චිත ප්‍රතිශතයක් (5% ක් බොහෝවිට) සෑම මාසයකම ගෙවිය යුතුමයි. නැත්නම් දඩයක් වදිනවා ලේට් පේමන්ට් කියලා. ඊ ළඟට පොලිය හැම මාසෙම අගදි අර ණය වෙච්ච බැලන්ස් එකට එකතු වෙනවා. පමා උනොත් ඒකටත් තව පොලී වදියි.

ඔය කාඩ් එක අර ගොලුවගෙ කටට ඔබලා සල්ලි ගංටත් ඇහැකි. එතනදි ණය සීමාවෙන් එක්තරා ප්‍රතිශතයක් (50% ක් වගේ) තමා උපරිම අදිංට ඇහැකි. හැබැයි සමහර බැංකුවල ඔය ගොලුවගෙං (දැං බලයි මොකාද මේ ගොලුව කියලා. මං මේ කියන්නෙ ඒටීඑම් එක ගැන ඈ... ) සල්ලි ගත්තම කෑෂ් ඇඩ්වාන්ස් ෆී කියලා එකකුත් වදිනවා. අපේ සිකුරිටි පොරක් අපි හවහට සැට් වෙනකොට කොන්ට්‍රිබියුසොං දාද්දි ලෝබකමට එවලෙට කාඩ් එකෙන් තුංසීය තුංසීය අරං දුන්නා. අප්පට සිලි දවස් පහක් අරං බලනකොට ගත්තෙ එක්දාස් පංසීයයි. කෑෂ් ඇඩ්වාන්ස් ෆී... ඒත් එක්දාස්ම පංසීයයි. අපි සද්ද නැතිව හිටියා ගනුකො කියලා.

ක්‍රෙඩිට් කාඩ් ණය සීමාව පුලුවං හැම වෙලේම බිංදුවට බස්සල තියංට. හදිසියකට පාවිච්චි කරන්න හරි මාසෙ පඩිය එනකං බඩුගන්ට හරි යොදාගන්ට. ඔය ණය සීමාව දිගින් දිගට (බිංදුවට නොබස්සා) පාවිච්චි කරන එක පාඩුයි ලමයිනේ. ඕක හරි වටිනවා ප්‍රයිවට් හොස්සපිටල් එහෙකට එහෙම ඇතුලු වෙද්දි වගේම බිල් ගෙවද්දි.

එතකොට ඔය කාඩ් වල පිං එක නැතිඋනොත් හරි අමතක උනොත් හරි ඒ බැංකුවෙ මහ ඉස්පිරිතාලෙට කතාකරල අලුත් කාඩ් එකකුයි පිං එහෙකුයි ගංට පරණ එක තොපිම තියාගනිව් කියලා ආපහු දීලා දාලා.

තව එකක්. ඔය කාඩ්වල තියෙනවා ලෝකල් සහ ඉංටනැසනොල් කියලා දෙජාතියක්. තේරෙනවනෙ ඉතිං. ලෝකල් ඒවා මේ රටේදී විතරයි. අනික්වා ඕනි තූත්තුකුඩියක බාර ගන්නවා.

මොනවද මේ ක්ලැසික් (සිල්වර්), ගෝල්ඩ්, බ්ලැක්, ප්ලැටිනම් කාඩ් කියන්නෙ? ඒ තමා තමංට දීලා තියෙන ණය සීමාවෙ විසාල කම අනුව කාඩ් වර්ගීකොරනය කොරලා තියෙන විදිහ. ක්ලැසික් එක පොඩියි. ප්ලැටිනම්/බ්ලැක් වගේ ඒවා හෙන ලොකුයි.





තව දැකල ඇති ඔය කාඩ් එකේ ලෝගෝවක් තියෙනවා වීසා, මාස්ටර්කාඩ්, අැමෙක්ස් (වැඩිය නෑ) වගේ. ඒ තමා ඒ කාඩ් අයිති සමාගම්. ඔයිං වීසා තමා වැඩිම. මාස්ටර්කාඩ් නිකුත්කිරීම සමහර බැංකු නවත්තලාම දැම්මා ටික දොහකට කලිං.

වීසා මාස්ටර් වගේ එව්වයෙ සීරියල් නොම්බරයක් තියෙනවා ඉලක්කං දාසයක. ඒ වගේම ඔය කොයි කාඩ් එකෙත් අයිතිකාරයගෙ නම තියෙනවා. කාඩ් එක අවලංගු වෙන දිනය තියෙනවා. ඔය සේරම උඩට පුම්බලා (embossed) හරි යටට ඔබලා (engraved) හරි තමා තියෙන්නෙ අතට දැනෙංට. තව සමහර එව්වයෙ පස්ස පැත්තෙ තියෙනවා CV (Card Verification Number) නොම්මරේ කියලා එකක් ඉලක්කං 3 ක වගේ. ඒක තියෙන කාඩ් වලිං ඔය ඊ බේ, ඇමසෝං වගේ අඩවියකිං බඩු ඕඩර් කරලා ගෙන්නන කොට ගෙවීම් කලෑකි.

ඩෙබිට් කාඩ්
ඔය කාඩ් එක ඩෙබිට්ද ක්‍රෙඩිට්ද කියලා වෙංකොරලා අඳුනගංට පැහැදිලි ක්‍රමයක් නෑ. සමහර කාඩ් වලනං ගහලා තියෙනවා ඩෙබිට් කාඩ් කියලා... ඒත් ඒ කලාතුරකිං. තමංම තමා දැනගංට ඕනි මගේ එක මේ දෙකෙං කෝකද කියලා.

රයිට්! ඩෙබිට් කාඩ් එක මතුපිටිං අඳුනංට බැරුවට ඒවායේ කටයුතු වෙනස්. ඩෙබිට් කාඩ් එක කියන්නෙ තමංගෙ ජංගම හරි ඉතිරිකිරීමේ හරි ගිණුම. අපි මේ කාඩ් එකෙං බඩුගත්තත්, ගොලුවට දීල සල්ලි ගත්තත් අපේ ගිණුමෙ තියෙන මුදල් තමා අඩුවෙන්නෙ. (ඒ ඇර අර අනික්වයෙ වගේ පොලී, නානාප්‍රකාර ගාස්තු මොකුත් නෑ). ගිණුමෙ සල්ලි නැත්තං මේ කාඩ් එක වැඩක් නෑ. මැසිමෙං ගත්තොත් රුපියල් පහක් දහයක් කැපෙංට ඇහැකි. මොකද ඔය ගොලුව හෙන ගණං වගේම නඩත්තු කෙරුවාවත් සෙල්ලං නෑ. මේං පහල තියෙනවා ඔය ගොලු මල්ලි වැඩකොරන විදිහ.



එතකොට කොහොමෙයි කාඩ් එක මැසිමෙ පාවිච්චි කරන්නෙ. මේ කාඩ් එක දාන පැත්තක් තියෙනවා. ඒක මැසිමෙ ගහලම තියෙනවා. ඒ කියන්නෙ මුහුණත උඩට, වීසා වගේ ලකුණ තමන්ගෙ පැත්තට කොට පැත්ත තමා ඇතුලට දාන්නෙ. එතකොට එයා ඕක ඇදලා ගන්නවා. ඊට පස්සෙ (වෙලාවකට බාසාව තෝරංට ඕනි) අපෙං ඉල්ලනවා පිං. ඔය මැසිමෙ තිරේ දෙපැත්තෙ තියෙනවා බොත්තං. ඒ ඒ බොත්තම ඒ ඒ වෙලාවට මොනවද කරන්නෙ කියලා තිරේ වැටෙනවා. සමහර එව්වයෙ ඕවා නෑ තිරේම තමා ඇඟිල්ලෙං ඇනලා ටච් සිස්ටොම් එකට කොරගංට තියෙන්නෙ. ඉතිං තව තිරේට පහලිං තියෙනවා කී පෑඩ් එකක්. ඒකෙං තමා පිං අංකය ඇතුලු කොරන්නෙ. ඔය මැසිං වල කඩදාසි රෝල (රිසිට් එක මුද්‍රණය කරන) ඉවර උනාම එයා කියනවා රිසිට්නං දෙන්න විදිහක් නෑ ගනුදෙනුව දිගටම කොරනවද කියලා. ඕකට නෑ කියලා ගහනකං කාඩ් එක එලියට දානවා. තොගේ රිසිට් තෝම තියාගං මට සල්ලි දීහං කියලා ඔව් කියලා ගැහුවම ඉදිරියටම යන්ට ඇහැකි. සමහරු ඔය මැසිම අස්සෙ පදිංචි වෙනවා. අන්න එහෙම එකෙක් දැක්කොත් කියංට අන්න අර වී කියලා එකෙක් ඕක කොරන හැටි ලියලා තියෙනවා ගිහිං බලාපිය කියලා.

ඔය කී පෑඩ් එක පාවිච්චි කරලා තමංගෙ පිං එක වගේම තමංට ඕනි මුදලත් සඳහන් කලෑකි. බොලාට මාරු සල්ලි ඕංනං 5000 වගේ ගහන්නැතිව 4900 වගේ ගහපල්ලා සීයෙ කොල එනවා. ලංකාවෙ මැෂින්වල 100 ට අඩු ගණන් ගංට බෑ. 100, 1000 ගොඩක් මැසින්වල නිකුත් කොරනවා. 500, 2000 සහ 5000 සමහර මැසිං ඔල නිකුත් කරනවා. ඒක ගහලම තියෙනවා සමහර සත් ගුණවත් කට්ටිය. ඔය මැසිමෙං දවසකට ගංට පුලුවං උපරිම මුදලකුත් තියෙනවා. ඒක 40000, 100000 වගේ වෙංට ඇහැකි. ඔය මැසිමට සෙට් කරලා තියෙනවා කැමරාවක්. ඉතිං කවුරුහරි එකෙක් අනුංගෙ කාඩ් එකක් බකයා ගහගෙන ඇවිත් පිං එක දන්නැති හිංද දන්න පිං දෙනවා...වරදිනවා...දෙනවා...වරදිනවා...දෙනවා...ඇදල ගන්නව කාඩ් එක ගොලුවගෙ බඩටම. පොටෝ තුනකුත් ගහනවා. ඉතිං පොටෝ තුන තුන තියෙන අයගැන සහ එදා මැසිමට ඇදලාගත්තු කාඩ් අනුව යමක් කමක් කොරංට ඇහැකි බැංකුවලට.

සමහර විට ඔය මැසිම තියෙන කූඩුව ලොක් කොරලා තියෙන්නෙ ඇතුලෙන් මැසිමට සල්ලි දාන වෙලාවට තමා. ඒ වෙලාවට පොඩ්ඩක් ඉතිං ඉවසලා ඉංට ඕනි. තව එකක්! අපි හිතමු රුපියල් සීයෙ කොල මැසිමෙ ඉවරයි දාහෙ කොල විතරයි තියෙන්නෙ කියලා. ඉතිං එහෙම වෙලාවක අපි 2500 ක් ගැහුවට උන්දැට දෙංට බෑ. ඉතිං 1000 දෙකට ඉරල දෙංටයැ. එයා කියනවා මේක කරංට බෑ කොල්ලො කියලා. එහෙම වෙලාවට ඉල්ලන්න 3000 ක් වගේ. හරියයි.

තව මක්ක හරි දැනගංට ඕංනං අහංට ඕනැ හොඳේ! මං ඉතිං යංට තමා තනන්නෙ. අවසානෙට තව දෙයක්...

මේ ප්ලාස්ටික් කාඩ් කෙරමෙ හරිම පහසුවක්. මොකද සල්ලි පර්ස් එකේ දාගෙන ඇතිවන අවහිරේ වගේම පික්පොකට් කාරයොංගෙං බේරගංටත් ඇහැකි. මොකද 0001-9999 අතර ඉලක්කමක් ගෙස් කිරිල්ල ලේසි නෑ හොරෙකුට උනත් තුං පාරකිං.



Tuesday, February 3, 2015

Cheques-4-චෙක්පත්




අද අපි කතාකරමු චැක්පතක් අගරු වෙන්න (Return) එහෙම නැත්තං රිටං වෙන්න බලපාන හේතු. චැක් එක අැවිල්ලා අපිට ලැබෙන්නෙ ඒක ලියා අස්සන් කොරපු අයගෙන් හරි චැක් එක අපිට දුන්නු අයගෙන් හරි යම් මුදලක් අයවෙන්න තියෙනවංනෙ. ඉතිං බැංකුව එයාගෙ අණ නොතකා මේ පාත දාන සටහන් (Remarks) එක්ක හරවා එව්වොත් අපිට සිද්ධ වෙනවා නඩු කියලා හරි අර මුදල අපිට චැක්එක දීපු කෙනාගෙන් අයකරගන්න. අන්න එතෙන්දි චැක් එක බැංකුව නොගෙව්වෙ ඇයි කියලා දැනගන්න මේ පාඩම උදව් වෙයි. 

  • Signature Differs from our Specimen / අත්සන ආදර්ශයෙන් වෙනස්ය
මේකෙන් කියවෙන්නෙ චැක්එක ලියාපු උන්දෑ බැංකුවට දීලා තියෙන ආදර්ශ අත්සන ට වඩා මේ චැක් එකේ තියෙන අත්සන වෙනස් බව. හැමෝටම තම අත්සන හැම වෙලේම එකම විදිහට ගහංට බෑනෙ ආයිබොවංඩ. ඒක නෙමෙයි මෙතන කියන්නෙ. අත්සනේ කැපී පෙනෙන වෙනසක් දකිනවා කියන එක. හොර අස්සොනක් ගහලා වෙංට පුලුවං.
  • Drawer's Signature Required / අණකරු අත්සන අවශ්‍යයි
මේකෙං කියන්නෙ චැක් එක අස්සන් කොරලාම නෑ කියන එක තමා. ඒක ඉතිං අනික් ඇඳුං කැඩුං ඔක්කොම ඇඳලත් අත්යාවස්ය කොටසට ඇඳුමක් නෑ වගේ. තේරෙනවනෙ. චැක් එක කියන්නෙ ලිඛිත නියෝගයක් (Written Order) කියනවනෙ. ඉතිං අස්සනක් නැති එහෙම නියෝග තියෙංට බෑ.
  • Post Dated Cheque / මතු දාතම චෙක්පතකි
චැක් එකේ සඳහන් දිනේ තාම උදාවෙලා නෑ කියලා තමා ඔය කියන්නේ. ඒ කියන්නේ ඒ දිනේට කලිං මේක බැංකුවට ඉදිරිපත් කොරලා තියෙනවා. එහෙම මතු දාතම චැක්පත් බැංකුවට දාන්න බැරි වුණාට එළිමහනෙ ගනුදෙනු කොරංට කිසි පුරස්නයක් නෑ. 
  • Stale Cheque / යල් පිණූ චෙක්පතකි
අර කලිං කියපු එකේ අනික් පැත්ත. ඒ කියන්නේ චැක් එක කල් පැනලා. චැක් එකක් ඒකෙ සඳහන් දිනේ ඉඳලා මාස 6 ක් පමණයි වලංගු. එයින් පස්සෙ බැංකුවට දාන්න බෑ. හැබැයි මේ කියන මාස 6 ඇතුලත බැංකුවට දාලා වෙනයම් හේතුවක් උඩ රිටං වුනොත් නඩු කියංට ගිහාම ඒ මාස 6 පැනලා කියලා පුරස්නයක් නෑ. 
  • Alteration Requires Drawer's Signature in Full / සිදුකල වෙනසට අණකරු අත්සන අවශ්‍යයි
චැක් එක කපලා කොටලා වෙනසක් (Alteration) කොරලා තිබ්බොත් ඒ හැම කැප්ලිලටම/වෙනසටම චැක් එක අස්සන් කොරන එක්කෙනා නැවත නැවත අස්සන් කොරන්ට ඕනි. එහෙම තහවුරු කොරංට ඕනි.
  • Payee's Endorsement Requires / ආදායකගේ පිටසන අවශ්‍යයි
ඔය චැක්වල හෝ රැගෙන එන්නාට (Or Bearer) කියලා කෑල්ලක් තියෙනවානෙ. සමහර එව්වයෙ ඔතන හෝ අණට (Or Order) කියලා තියෙනවා. එහෙම නැත්තං හෝ රැගෙන එන්නාට කියන එක ඉරකින් කපලා තිබ්බොත් (මේ කැපිල්ලටනං අත්සන ඕන්නෑ හොඳේ...) ඒ චැක් එකේ මුල පැත්තෙ තියෙන නම පිටිපස්සෙත් ඒ විදිහටම ලියංට ඕනෑ. ඒකට කියන්නේ පිටසන් කොරනවා (Endorse) කියලයි. එහෙම පිටසන් නොකලොත් අර උඩ තියෙන වගන්තිය ගහලා ආපහු එවනවා. 
  • Mutilated Cheque / විකල චෙක්පතකි
චැක් එක කොතන හරි ඉරිලා, කැපිලා (කතුරකින් වගේ), පිච්චිලා, මඩ ගැවිලා වගේ මොනයම්ම හෝ විකෘතියක් වුණාම ඕක තමා ගහලා එවන්නේ. බොහොම වෙලාවට ඔය චැක්වල පසුබිමේ වර්ණයක් තියෙනවනෙ (බැංකුවෙ නම පූංචියට ගහලා තියෙනවා වෙන්නට පුලුවං). ඔය වර්ණය ගහපු තීන්ත වර්ගය බොහොම සංවේදියි. ඒ කියන්නේ වතුර බින්දුවක් වැටුනත් දියවෙලා පැල්ලම් ගැහෙනවා. අන්න එහෙම පසුබිමේ තින්ත බොඳවුනොත් ඒකත් විකල චැක්පතක්.
  • Date Irregular / දිනය අවිධිමත්ය
දිනය දමන පිළිවෙලක් තියෙනවනෙ. ආං ඒ පිළිවෙල අදාල කොටු ඇතුලෙදි වෙනස් වෙලා තිබුණොත් මේ රිමාක් එක ගහලා ආපහු එවංට ඉඩතියෙනවා. ඕකෙ දිනේ DD/MM/YYYY කියන පෝමැට් එකෙං තමා ඉල්ලන්නෙ. දෙපැත්ත මාරු කරලා ලිව්වොත් බැංකුවට පුලුවං ගෙවංට. හැබැයි මාසෙ මුලට දාලා හරි වෙන මගුලක් කරලා තිබුණොත් බඩුම තමා. එහෙම එක එකාට ඕනි විදිහටයැ මාසෙ මාරුවෙන්නෙ?
  • Amount in Words and Figures Differs / අකුරෙන් හා ඉලක්කමෙන් ඇති ගණන් වෙනස්ය
මේකෙන් කියන්නේ චැක්එකේ වටිනාකම අකුරෙනුත් (words) ඉලක්කමෙනුත් (figures) ලියනකොට වෙනසක් වෙලා තියෙන බව. මෙතෙන්දි අකුරෙන් ලියපු ගාණ ගෙවන්ට බැංකුවට අයිතියක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට චැක්එක අස්සන් කොල එක්කෙනාව ගෙන්නලා නිවැරදි කරවා ගන්න තමයි බලන්නෙ. නැත්තං රිටං කොරන්නත් ඉඩ තියෙනවා. 

  • Account Closed / ගිණුම වසා ඇත
ජංගම ගිණුමක් වහන්නෙ හොඳකට නෙමෙයි. වෙන පලාතකට පදිංචචියට ගියත් එහේ බැංකුවකට ගිණුම මාරුකරගන්නවා මිසක් වහලා දාන්නෑනෙ කවුරුවත්. මොකද පරණ ජංගම ගිණුමක් තියෙනවා කියන්නේ හෙන ප්‍රෙස්ටීජ් එකක්. ඉතිං ගිණුමක් වැහෙනවා කියන්නේ හොඳකට නෙමේ. එහෙම වැහුණු ගිණුමක චැක් එකක් අපි බැංකුවේ දැම්මොත් අනිවා ඒක රිටං වෙනවනෙ. හැබැයි මේ චැක්එකට අදාල මුදල ඉල්ලන්න රිටං වුණු චැක්එක සාක්කියක් කරගන්න බාධාවක් නෑ.  


මෙතන ඉඳලා තියෙන රිමාක් 5 ම ගිණුමේ පැවැත්මට හානිකරයි. ඒ කියන්නේ හැම එකෙන්ම කියවෙන්නේ චැක් එකට මුදල් නෑ කියන එක ගෙවීම් අත්හිටුවන එක හැර. 
  • Payment Postponed Pending Drawer's Confirmation / අණකරු තහවුරුව ලැබෙනතෙක් ගෙවීම් කල්දමන ලදි
මෙයින් කියවෙන්නේ බැංකුවට චැක්පත හෝ ගිණුමේ ශේෂය ගැන ගැටලුවක් තියෙනවා.  නමුත් අණකරුගෙන් තවම ඒ ගැන විමසන්න බැරිවුණා. එතකං ගෙවීම කල්දානවා කියලයි.
  • Payment Stopped by Drawer / අණකරු විසින් ගෙවීම් අත්හිටුවා ඇත
ගෙවීම් අත්හිටුවීම සමහර විට චැක්එකට අදාල ගණුදෙනුවේ දෝෂයක් නිසා කලා වෙන්න පුලුවන්. සමහරු ගිණුමේ සල්ලි නැති නිසාත් ඕක කරනවා. හැබැයි බැංකුව දකින්නෙ ඒක නරක පුරුද්දක් විදිහට. ඔන්න චැක් එකට අදාලව ගත්තු භාණ්ඩයක් ආපසු යැවීම වගේ දේකදි මේක සාධාරණ දෙයක්.
  • Cover Not Received / ආවරණය ලැබී නොමැත
චෙක්පතට උවමණාතරම් මුදලක් ගිණුමේ තැන්පත් කරලා නෑ කියන එක. මේ රිමාක් එක මමනම් මෑතකදි දැක්කෙ නෑ. දැක්කොත් එහෙම අපිව දැනුවත් කොරංට ඕනෑ, හොඳද?
  • Effects Not Realized / අයපත් උපලබ්ධි වී නොමැත
ගිණුමේ බැරට චැක්පතක් හෝ කීපයක් තැන්පත් කරලා තියෙනවා. හැබැයි තාම ඒවා ගිණුමට බැර වෙලා නෑ. ඒ කියන්නේ වෙනත් බැංකුවක, වෙනත් ශාඛාවක චැක් වෙන්න පුලුවන්. ඒවා දැන් තියෙන ක්‍රෙම්ට උපරිම වශයෙන් දවසක් කාලයකට පස්සෙයි බැරවෙන්නෙ. ඊට කලින් ඒ සල්ලි ඇතැයි හිතාගෙන චැක් ලිව්වොත් මේක ගහලා ආපහු යවනවා.
  • Refer to Drawer / අණකරු විමසනු
මේක තමා වැඩියම භාවිතාවෙන නරකම රිමාක් එක. සල්ලි නෑ ගිණුමෙ. හැබැයි බැංකුව ඒක එහෙම්මම කියන්නේ නෑ. ලියාපු එකාගෙන්ම ගිහිං අහගනිං කියලා තමා තියෙන්නේ. මේ සටහන එක්ක චැක් රිටං කොරන්න බැංකුව තරමක දඩයක් ගහනවා. ඒක කරන්නෙ එහෙම සල්ලි නැතිව චැක් ලියන එක වලක්වන්න. මේ රිමාක් එක ගහල චැක් තුනක් රිටං කලොත් (සාමාන්‍ය ලිත් වර්ෂයක් තුල) ඒ චැක්එක හිමි ගිණුම වහලා දාන්න බැංකුවට අයිතිය තියෙනවා.

චැක්එක අයිති ඒ බැංකුවට නොවෙයිනං අපිට චැක්එකම ආපහු එන්නෑ. චැක්පත් අගරු නිවේදනය කියලා එකක් චැක් එකේ පොටෝ එහෙකුත් එක්ක තමා එන්නෙ. ඒක හොඳටම ඇති නඩුයන්න.

හා... හා... දැන් ලිව්වත් ඇති හොඳටම. එහෙනං මම ගෙහුං එඤ්ඤංකො දැනට ඈ...

Friday, January 30, 2015

Bid Farewell Chief සුබ සන්ධ්‍යාවක් චීෆ්



ටික දොහකින් මොකුත් කොරන්න බැරි උනා. මං කිව්වෙ මේ බ්ලොග් එකට යකුනේ. සමහරු හිතන්ට ඇති ඩෝප් වෙන සීන් එකකින් ගිය අවුරුද්දෙ අන්තිම එක දාපු හින්ද මට තාම ඩෝප් ය කියලා. නෑ... නෑ... අපිට එව්ව හොඳට පුරුදුයි. කොහොම උනත් මම අවශ්‍ය යුතුකම් අවශ්‍ය වෙලාවට කොරල ඇති. ඒවා ඉතිං දන්නෝ දනිති. ඒ හින්දා මා නමින් බ්ලොග් වල කොමෙනට්ස් නැතිවට අමනාප වෙන්ට කාරි නෑ. මම එව්වා නොකඩවා වෙලාවට කොරලා ඇති.

අද මං කරන්න යන්නෙ ටිකක් අමුතු වැඩක්. ඒ කිව්වෙ කලින් නොකල වැඩක්. (නෑ... නෑ... බජට් එක ඉදිරිපත් කොරන්න නෙමේ). දන්නවද? අපේ බොහොම ලෙන්ගතු, හෘදයාංගම ලොක්ක හෙවත් සහකාර සාමාන්‍යාධිකාරීවරයා අවුරුදු 3 කට කිට්ටු කාලයක් අපි එක්ක ඉඳලා හෙට අනිද්දා පැන්සොන් යනවා. කුහකකම නැති ලොක්කෙක් කියලා කට පුරා කියන්න ඇහැකි. ගොඩක් ලොක්කො නිශ්ශංකමල්ල රජ්ජ්රුවො වගේ අනුංගෙ ක්‍රෙඩිට් තමං දාගන්න ජාතියෙ වුනාට මේ ලොක්ක ගෝලයන්ගෙ හැකියාවන් ලෝබ නැතිව ඕනි තැනක ඕනි ලොක්කෙකුට ඕනි සබාවක කියන්න පැකිලෙන්නෑ. අනික චූ යන්න බැන්නත් විනාඩි පහෙන් ආයි හිනාවෙලා පිටට එකක් ගහලා (නෑ... නෑ... බුරිය මිරිකන්නෙ නෑ) “කොහොමද බං“ කියලා හිනාවෙලා අහන නිසා අපිනං ලොක්කට බොක්ක. ගොට්ට නෙම් බොලව් බොක්ක. ඒ කියලා අපි කඩේ ගියේ නෑ. වැඩ පැත්තෙන් උපරිමේ දුන්නා ලොක්කට.

මුන්නැහැ 1950 දශකයේ දරුවෙක් බව මේක කියෝන බොලාට තේරෙනවා ඇතිනෙ අවකලන සමීකරණ නොහැදුවට. ඉතිං උන්නැහැ බොහොම කැමතියි අපේ පරණ සංගීතයට. එ් වගේම විසුවල් වලට පට්ට ඇඩික්ට්. ඉතිං අපේ ලොක්කට දෙන පාටියෙ තීම් එකට එකතුවක් විදිහට පැරණි සිංහල බයස්කෝප් සින්දු ටිකක් වීඩියෝ එක්කම (අපේ ලොක්කා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ෂෝ ඔලට හෙන මනාපයි) දාන්න මං අදහස් කොලා. දැන් මේ කොරන්නෙ ඒකෙ ප්‍රිවීව් එකක් දාලා මගේ බොක්කො වගේ ඉන්න සිංහල බ්ලොක් ගල් වැඩපොලේ වැඩ්ඩො ටිකගෙන් අදහස් ටිකක් ගන්න එක. 

මෙන්න මේක බලන්න.

ගී පද : ධර්මසිරි ගමගේ 
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව 
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රානි පෙරේරා 
චිත්‍රපටය : තරංගා 1975 
අධ්‍යක්ෂණය : විමල් වෛද්‍යසේකර කතාව දෙබස් සහ නිෂ්පාදනය : සේන දයානන්ද


ඔය තොරතුරු ටිකත් කමෙන්ටුවක් විදිහට තිබ්බා පහලින්. විමල් වෛද්‍යසේකර කියන්නෙ දේවානන්ද වෛද්‍යසේකරගෙ කවුරු හරි වෙන්ටැති. 

එක එක්කෙනා ලස්සන දකින හැටි වෙනස්. ඔය මානෙල් වානගුරු ඉන්නවා නේද? (ඇයි ඔය රවියත් ඉන්නෙ පැනි හලාගෙන) මම බොහොම ආසකරන සුන්දර රූපයක්. මූණ නිකං මී අඹ ගෙඩිය වගේ. දැන්නම් වයසට ගිහිං හරි අමුතුයි. චරිතත් ටිකක් නපුරු පහේ එව්වා. මම කීවෙ තරුණ කාලෙ තත්තෙ. මෙයාගෙ කටහඬත් ටිකක් අමුතු බර බරයක් තියෙන්නෙ හරියට ගයාත්‍රි ඩයස් ගෙ වගේ. ප්‍රශ්නයක් නෑ, අපේ ගෙදර උන්දැගෙත් ඒ වගේ. හැබැයි උන්දැට ලා...ස්සනට සින්දු කියන්න ඇහැකි... (අපේ නෝනට යකුනේ). හරි. ඉතිං අපේ මානෙල් අක්ක ඔය සින්දුවෙ ඕපනිං එන්ඩිං සීන් ඔලදි එච්චර මේකප් අනං මනං නැතිව වගේ හිටියට සින්දුව මැදදි පට්ට. කෙහෙරැලි නිකං කියඹුලතාව වගේ හුළඟට යන හැටි දැක්කම ආස හිතෙනවා. ඒ වගේම රවිය දිහා දානව බැල්මක්... ඔය බයිස්කෝප් වල ඒ කාලෙ හිටපු සමහර නිලියො ලස්සනට ඇඟට ඇරං ඉමෝෂන් පෙන්නනවා. ඕකෙ ටයිම් ලයින් එකේ 2.11 හරියෙදි රවියගෙ කණත් මිරිකනවා නොදැනෙන්න වගේ. බොහොම ලස්සන වීඩියෝවක් මටනම්. බොලාත් රහ බලල කියාල්ලකො.


ඊ ළඟට මේක...


ඕකත් අර බයස්කෝප් එකේම සින්දුවක්. කියන්නෙ ජොතිපාලයි ශ්‍රීමතී තිලකරත්නයි. දොන් සිරිසේනයි (අර බොහොම පැරණ ලයින් පාරක් වන උගුර පෑදිල්ල මෙයත් කරනවා), බුද්ධි වික්‍රමයි (අර පිට උලන්නෙ ගලක), රවියයි තමා ඔය ගෑනු නාන තැන්වල පැනගෙන ලයින් දාන්නෙ. අර එතකොට දාගෙන රෙදි අපුල්ලන්නෙ චන්ද්‍රා කලුආරච්චි. ඔව්වොව්... ලක්ෂ්මන් විජේසෙකරගෙ හීන් මැනිකෙ. රවී ටික ටික පොල්පැලේට කිට්ටු වෙනවා. මට හෙන ගේම පොරත් එක්ක... අන්තිමට ඔය එන්නෙ කට්ටියම නාගෙන.

මේ ඊළඟ එකනම් අපේ මචංස්ලා අනන්ත අහලා තියෙනවා ඇති. හැබැයි ඔරිජිනල් වීඩියෝව නිතර දකින්න නෑනෙ. ඔන්න බලාගල්ලා.




ගීපද : සෝමපාල ලීලානන්ද 
සංගීතය : සරත් දසනායක 
ගායනය : එච්.ආර්.ජෝතිපාල /ඇන්ජලින් ගුණතිලක 
චිත්‍රපටය : කස්තුරි සුවඳ (1974) අධ්‍යක්ෂණය : සේන සමරසිංහ නිෂ්පාදනය : පියසේන ද සිල්වා..

මාලනීගෙ හැඩ කොහොමද ඒ කාලෙ. මෙයාට හොඳට නටන්න පුලුවන්. සිංහල සිනමාවෙ හොඳටම නටන්න පුලුවන් නිලිය තමා දිල්හානි අසෝකමාලා. නටනවා ලස්සනටත් වඩා දිල්ගෙ මූණෙ ලස්සනයි ඇඟේ හැඩයයි නිසා ගති තමා. මාලනී කෙල්ල කාලෙ බොහොම ඉටිකිරිස්. හිනාව... හම්මේ. විශ්ව සිනමාවෙම ලස්සනම හිනාව මම දැකලා තියෙන්නෙ මධුරි ඩික්සිත්ගෙ. ඔය කොයි ලස්සන ගෑනිත් කලුවර... නෑ ඕන්නෑ එක්කො.

දැන් බොලා බනියි නිළියො ගැන විතරයි... මුගෙ තියෙන කුකුල්කම කියලා. නෑ... නෑ... ගාමිණිත් ඉන්නෙ ඔය බොරු කොණ්ඩෙකුත් දාගෙන. ඉස්සර මගේ ඉමීඩියට් බොස් කෙනෙක් හිටියා ඔය වගේමයි. සිගරට් පප්පා. හැඩ, වැඩ වගේම ඇක්ෂනුත් ගාමිණීම තමා. හැබෑට මේ ලෝකෙ නලුවන්ට නටන්න බෑනෙ අම්පා. කෙහෙද තිබුණා ගෙම්බෙක් බ්ලෙන්ඩර් එහෙකට දැම්මා වගේලු පිරිමි නටන කොට.

ඇත්තටම ගෑණු ඇඳුම් පිරිමින්ට කැතයි. යට ඇඳුමෙන් විතරක් ඉන්නකොටත් පිරිමි කැතයි. (ඒවත් නැතුව ඉන්න කොට කොහොමත් කැතයි). ඒකට මොකද ගෑණු උදවියට පිරිමි ඇඳුණුත් හරි. අපි කරන ඕනිම වැඩක් කරන්නත් පුලුවන්. ඈ... බෑ කිව්වා. ඔව්වොව් එහෙම එව්වත් තියෙනවා. හැබැයි උන්දෙලා අපිට හිතන්නවත් බැරි වැඩ බර ගානක් කොරනවා. මොනවද දැන් මේ ලියන්නෙ? 

හරි ඔන්න අන්තිම එක. 


වසන්ත ඔබේසේකර හදලා 1976 දි මුලින්ම පෙන්නපු “දියමන්ති“ නම් චිත්‍තරපටයට නන්දා මාලනී කියපු මේ ගීතය මටනම් බොහොම ලස්සනයි. මාලනී සහ විජේ තමා ඔය ඉන්නෙ. (එනව මෙතන පඬිය වගේ උගන්නන්න) යකෝ ඒ කාලෙ රඟපාන එකත් මහ බෙල්ල කඩල යන වැඩක්නෙ. අස්පයො පිටේ යන්නයි මී හරක් පිටේ යන්නයි. 

ඉතිං... මේ බයිස්කෝප් කෑලි ටික තමා දැනට තෝරගෙන තියෙන්නෙ. මයෙ අම්මල ටික එහෙනං කියාපල්ලකො හොඳ නරක. දැන් මං අනික් පැති ඔලත් ගෙහුං එඤ්ඤංකො... (අද හවසටත් සැට්. ඊයෙත් ෆ්ලැට්. මොකට මේ කාලකන්නි ඩිස්නිලන්තෙ ඉපදුනාද මන්ද...).