Saturday, September 19, 2015

මට පෙනෙන හැටි - 02




මෙතෙක් කතාව...

ඒත් එක්කම මං ඇහැරෙනවා.

**********************

“ලොකුස් මං හරි අමුතු හීනයක් දැක්කා“
මම එයාව ස්කූල් වෑන් එකට නග්ගන්න යද්දි කිව්වා. එයා කොහොමත් මං කියන ඕනිම දේකට කන්දෙන්නෙ හරි ආසාවෙන්. ඕනිම දේකට කිව්වට ඕනිම දේකටමත් නෙමෙයි. පාඩම් කරන්න, අම්මට උදව් කරන්න, නංගිල එක්ක රණ්ඩු වෙන්න එපා, කොරියන් ෆිල්ම් බලන්න එපා, ෆෝන් එකේ පදිංචිවෙලා ඉන්න එපා යනාදී ඇතැම් නාදවල තරංග ආයාමයේ හෝ විස්තාරයේ යම් වෙනසක් නිසා ඇයගේ ශ්‍රව්‍ය තරංග පරාසයට ඒවා ග්‍රහණය වෙන්නෙ නෑ. ඒත් මේ හීන කතාව මොකක්ද කියලා එයා ඇහුවා. 

“බ්ලා...බ්ලා...බ්ලා...“ මම හීනය විස්තර කලා. ඒ අවසානයේ මයික්‍රෝ ටොනාඩෝවක් ඇගේ මුවින් පිටවුණා “හ්ම්“ සද්දයක් එක්ක. 


**********************

“ඇයි තාත්තෙ කොල්ලො කෙල්ලන්ට උඹ, මචං, අඩෝ කියලා කතා කරන්නෙ?“ 

“උන්ට කෙලින්ම කෙල්ලන්ගෙ හිතට කතා කරන්න බෑ. පිවිසීමක් ඕනි. ඒකයි මචං පාට් එකෙන් පටන්ගන්නෙ. අනික එතකොට සම්මත විදිහට හිතන කාට වුණත් හිතෙන්නෙ මේ කොල්ලාගෙ කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ මේ කෙල්ල ගැන. නැත්නම් උඹ කියයි යැ වගේ සිතිවිල්ලක්. දැන් කවුද ඔයාට උඹ කියලා කතා කරන්නෙ?“

“නෑ...එහෙම කතා කරනවට නෙමේ. ඒ වුණාට ඒක ටිකක් ඔඩ් වගේ නේද?“ 

මයික්‍රෝ ටොනාඩෝවක් මගේ මුවින් පිටවුණා “හ්ම්“ සද්දයක් එක්ක. 


**********************

කෙල්ලො ඇයි අපිට වඩා වෙනස්? අවුරුදු 10 ක් විතර වෙනකං කෙල්ලො අපිත් එක්ක හරි යාළුයි. පොඩි කාලෙ කොහොමත් මං කොල්ලන්ට වඩා කෙල්ලන්ට එකතුයි (දැන් කියලත් වෙනසක් නෑ). හයේ හතේ පන්තිවලදි අපිට කෙල්ලන්ගෙ පැහැදිලි මේරිල්ලක් පේනවා. ඒක හරි අමුතුයි. උනුත් කලින් හිටිය උන් නෙමේ. ටිකක් උඩින් යනවා වගේ දැනෙනවා. කාලෙකින් මුණ ගැහුණොත් ඒ වෙනස දිහා අපේ ඇස් යොමුවෙනවා. එතකොට උන්ගේ ඇස් බිමට යොමුවෙනවා. අපේ කම්මුල් දිගේ සීතල දියඇල්ලක් ඉහලට ගලාගෙන ගිහින් කන් පෙති ඇතුලෙන් ඔළුව පුරාම යනවා. එතනින් පපුවට කඩාගෙන වැටෙනවා. කම්මුල්වල පේශි නටනවා දැනෙනවා. කතාකරන්න වචන නෑ. වචන සේරම මෙගා ටොනාඩෝවට අහුවෙලා. අපි අසරණව ඒ වචන අල්ලගන්න හදනවා. 

ඒ දකින සෑම රූපයටම අපි ආදරය කරනවා. අපිට නැති ඒ සියළු දේට අපි ආදරය කරනවා. ඒ අතරෙ, හිත ඇතුලෙ විශාල ඉදිකිරීමක් අපිත් නොදැනී සිද්ධවෙනවා. එදා ඉඳන් පත්තර, පොත්පත්, චිත්‍රකතා, රිදී තිරය, පුංචි තිර දෙකම ආදී මේ හැම දේකම දකින මේ අමුතු රූපවල වඩාත් සිත්ගන්නා අවයව එකතු කරලා වසර ගාණක් තිස්සේ අපි ඉදිකරනවා පිළිමයක්. 

ඔව්! සියළු සිත්ගන්නා අංගෝපාංග ඇති දර්ශීය කාන්තාවක් අනාගත සහකාරිය ලෙස...

ඇය සොයාගෙන යනවා මං මාවත් දිගේ පවා. සෑම බස් එකකම, පාසැලේ සෑම අස්සක් මුල්ලක් නෑරු, ගමේ ගෙයක් ගානෙ, පන්සලට එන අය අතරෙ පවා සොයනවා. ඒත්....

ඇය කිසිදාක නෙත ගැටෙන්නේ නෑ. 

අර්ධ අවසන් වටය එනවා නොදැනිම. මේ ලක්ෂණ වලින් කීපයක්වත් තියෙන කෙනෙක්? ඔව්. එහෙම අයනම් අපි දකින අය අතර ඉන්නවා ගොඩක්. හැමෝගෙන්ම අහන්නත් බෑනෙ. යාළුවො විදිහට දැනටමත් කිට්ටුවෙන් ඉන්න අය හරියන්නෑ. එයාලගෙ අඩුපාඩු අපි දන්නවනෙ කාලයක් ආශ්‍රය කරලම. වෙනස් කීප දෙනෙක්ගෙන් අහලා බලනවා. කොහොමද ඒත් අහන්නෙ? අහ්... යාළු කෙල්ලන්ගෙ යාළුවො තමා හොඳම ව්‍යාපෘතිය. විකල්ප සැලැස්මකුත් ඒකෙම තියෙනවා. යාළුවා ලවා අස්සනවා මුලින්. බැරි වුණොත් කෙලින්ම අහනවා. 

අවාසනාවකට වගේ, අපි පරමාදර්ශී කාන්තාවට වඩාත් ආසන්න කාන්තාව අමතලා බලන කොට ඇය නෑ. ඇය ගිහින් ඇගේ පරමාදර්ශී පුරුෂයා සොයන්න. කොහෙත්ම ඒ මමනම් නෙමේලු. මෙහෙම ගියොත් මොකුත් කරගන්න බැරිවෙනවා. දෙයියෝ සාක්කි. අවුරුදු කීයද තව තියෙන්නෙ. අවුරුදු කීයක් නාස්ති වෙලාද? (මේ අවුරුද්දක් කියන්නෙ නිකං පැයක් වගේ කාලයක්. නොඉවසිල්ල කාලය පරදවන්න පුළුවන් එක් උපායක්.)

පළමු හා දෙවන කවචයේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැති තැන ඊ ළඟ කවචයට යනවා. යාළුවන්ගෙත් යාළුවන්ගෙත් යාළුවෙක්! කොහොමත් බාහිර කවච වල මුක්ත වියහැකි ඉලෙක්ට්‍රෝන වැඩියි. 

යාළු නෙට්වර්ක් එක හරහා මුලින්ම අදහසක් දාලා බලන කෙනා අපි හිතේ ඇඳගත්තු දර්ශීය කාන්තාවට හාත්පසින් වෙනස්. මෙයා පොඩියි. මගේ කෙනා මං තරම්ම උසයි. නෑ...නෑ...මටත් වඩා උසයි. මෙයාගෙ දත් චූටියි. එයාගෙ දත් සාමාන්‍ය විදිහට මීට වඩා ලස්සනට තියෙනවා. මෙයාගෙ තොල් හීනියි. එයාගෙ යටි තොල ටිකක් පිරිලා. රතු පාටයි. ලිප් බාම් එකක් ගාන නිසා දිලිසෙනවා ආසාවෙ බෑ. මෙයා කොණ්ඩෙ බෙල්ලටම කපලා බොබ් කට්. එයාගෙ කොණ්ඩෙ පිට මැද විසිරිලා. තව............ මොනා වුණත් හැම දේම වෙනස් වගේ. ඒ වුණාට එයා ගැන බලා හිටියොත් මට හුලං. වෙන දෙයකට නෙමේ මොකුත් නැතිකමට මේකවත් බලනවා. ඒ නිසා යාළුවො හරහා අදහස දානවා ඕනි එකක් කියලා. කාලය පරදවන නොඉවසිල්ල! ඉර බහින්නෙ නෑ. කුරුල්ලො සින්දු කියන්නෑ. මල් පිපෙන්නෙ නෑ. කොටින්ම මේ ලෝකෙ කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ. 

අපොයි දෙයියනේ! එයා කැමති වෙලා. දෙයි හාමුදුරුවනේ මට කෙල්ලෙක් සෙට් වෙලා....! මම තරම් වාසනාවන්තයෙක් ඉන්නවද තවත්? ලස්සනට ඉර පායනවා. කුරුල්ලො සින්දු කියනවා. මල් පිපිලා හැම තැනම. හැබෑටම මේවා මේ ලෝකෙ කවද තිබුණ දේවල්ද?

දෑස රිදෙනකම් පාර බලාගෙන ඉඳලා අන්තිමේ ඇය එනවා ප්‍රාර්ථනාවේ මල් පොකුරු අරන්! වෙනදා දැක්කට වඩා පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ. කම්මුල් දිගේ සීතල දියඇල්ලක් ඉහලට ගලාගෙන ගිහින් කන් පෙති ඇතුලෙන් ඔළුව පුරාම යනවා. එතනින් පපුවට කඩාගෙන වැටෙනවා. කම්මුල්වල පේශි නටනවා දැනෙනවා. කතාකරන්න වචන නෑ. වචන සේරම මෙගා ටොනාඩෝවට අහුවෙලා. මම අසරණව ඒ වචන අල්ලගන්න හදනවා. 

වචන අල්ලනවට වඩා මේ අසිරිය විඳින එක හොඳයි වගේ. ඒත් එයා දිහා කන්න වගේ බලා හිටියොත් එයා වැරදියට හිතයි. ඒත්... දෙයියනේ! මේකි කොහේද මෙච්චර කල් හිටියෙ. ඇයි මම මේ ලස්සන දැක්කෙ නැත්තෙ? 

අන්තිමේ වචනෙ දෙක අල්ලගන්න පුළුවන් වුණා. කෙල්ලො අපිට වඩා හෙන නිර්භීතයිනෙ. උන් ලැජ්ජාවෙන් වගේ වුණත් අපි වගේ වචන පටලෝගන්නෙ නෑනෙ බැලුවම. 

**********************

“ම‍ොකද බං පහේ ශිෂ්‍යත්වෙ කරන සයිස් එකක් අල්ලගත්තෙ? උඔ ලොරි ටෝක්නෙ දුන්නෙ ඒ දවස් වල හොඳ සයිස් කඳක් නැත්නම් වැඩක් නෑ කියලා“

“නෑ බං...මේකිගෙ තියෙනවා පොඩි ගතියක්. උඹ දන්නෑ. මං කෙල්ලෙක්ගෙ දකින්න ආස ගොඩක් දේවල් මේකිට තියෙනවා. හුස්ම සුවඳයි. නියපොතු නරක් වෙලා නෑ. දත් නරක් වෙලා නෑ.“

“උඹ ඔය නරක් නොවිච්චා හොය හොයාද ගියේ? එහෙම උන්නං ඉන්නවා බං ඕසෙට. මටනං ඒකිගෙ කිසි ගතියක් නෑ.“

“අනේ තෝ හැඳිගෑවිලාම පල. වෙන මොකක්ද? ඉරිසියාව...පැහැදිලි ඊරිසියාව. උඹේ උලමි ඒ වගේ ලස්සන නැති හින්දා..“ ඇත්තටම හිත රිදුනා. 

“හරි හරි... උඹ දිණුම්. කොහොමත් උඹ දිණුම්නෙ. දැන් ඉතිං අඩ කොටයක් තියෙනවනෙ.“

ඒ අන්තිමට කියපු දේ මොකක් වුණත්, මගේ මූණ පිම්බිලා යනවා සතුටින්. මම ඇවිදින්නේ අඟල් දෙක තුනක් උඩින්. ඒත් එයාගෙත් මගෙත් යාළුවො පොඩ්ඩ පොඩ්ඩ ඈත්වීම තමා දෙවනි සිත් රිදීම. ආදරයට කොහෙදෝ බාධා නැත්තේ. ඔය අතරෙ සමහර ලස්සන කෙල්ලො වෙනදාට වඩා උවමණාවෙන් මගෙත් එක්ක හිනාවෙනවා වගේ මට දැනෙනවා. ඇත්තටම ඉතිං...උන් මේකිට වඩා ලස්සනයි නම් තමා. අනේ මන්දා... කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙකුට තනියම ඉන්න කොල්ලෙකුට වඩා කෙල්ලන්ගෙන් ඉල්ලුමක් තියෙනවා කියලා අපේ පංතියෙ මා මිත්‍ර මහාචාර්යතුමා මට කියපු දෙයක් හැබෑවෙමින් තිබුණා මටත් හොරා. 

**********************

කෑලි කෑලි වලට බිඳුණු බිරිඳගේ ජංගම දුරකථනය ගල් රෝලකට යට කරන්න මට ඕනි වුණා. ඒ කෑලි අතරෙ කල් ඇතිව මකාදමන්නට නොහැකිවූ නිසා මම අන්තිමට දැක්ක කෙටි පණිවිඩයේ කෑලි තවමත් පෙන්න තිබුණා. 


“අඩෝ, උඹ නිදිද? මොකද කරන්නෙ?“



෴෴෴෴෴ මතු සම්බන්ධයි ෴෴෴෴෴


Saturday, September 12, 2015

මට පෙනෙන හැටි - 01



මගේ පිස්සු පීකුදු වල පළමුවැන්න මේන්න.

බැංකු කටයුතු ගැන විතරක් ලියවෙන බ්ලොග් එකක් විදිහට තමයි මගේ මෙව්වා එක දන්නෝ දන්නෙ. ඒ වුණාට ඉතාම කලාතුරකින් (දෙපාරක්ද කොහෙද) බයිස්කෝප් ගැනයි එක පාරක් සිංහල වෙළෙන්දන්ට පාඩමක් උගන්නන්නයි තව වෙන මගුල් දෙකතුනකුයි දාන්න ගිහිං අන්තිමේ ෂෙෆාකි කිව්වා උඹ බැංකු ගැන විතරක් ලියහං මගෙං මැරැං නොකා කියලා. ඒ වුනාට අද මට මැරුං කන්න හිතුනා. 

මම කොහොමත් මැරෙන්න ආසයි. මොකද මගේ මාර ආසාවක් තියෙනවා ආෆ්ටර් ලයිෆ් කොහොමද කියලා බලන්න. අපිට ඔය පුංචි තිරවල දකින ලෝක ගොඩක් ඒවට යන්න ආසාව හිතේ තිබුණට ආර්ථිකය ඒ හැම ලෝකෙමමත් අපිවත් වෙන්කරන අදෘශ්‍යමාන තිරයක් වෙලා. නොවැරදීම යන්න පුළුවන් ලෝකය දකින්න ඒ නිසා මම ආසයි. ඒත් ඒ ලෝකෙයි මායි අතර බොහොම දෘශ්‍යමාන තිරයක් තියෙනවා. ඒ මගේ ගෑනියි කෙළි පැටික්කියෝ තුන්දෙනයි. මේක කියවන බොහෝ දෙනා මම දැනටමත් සමීප මිතුරන් විදිහට පිළිඇරං තියෙන නිසා (අපේ වෘත්තීය සගයො අතරින් කීප දෙනෙක් ඇර ගොඩක් අය මට දිරවන්නෙ නෑ. නිකං පොඩ්ඩක් වෙල් ෆ්‍රොග් වගේ) පෞද්ගලික දේවල් මෙහෙම විවෘතව කතාකරන එකේ වරදක් නෑ මං හිතන්නෙ. මිනිස්සු විවෘත වෙන්න ඕනි...යම් ප්‍රමාණයකට ඒ ඒ තැනට සුදුසු විදිහට. 

මට කියන්න
1. මේ කියපු විවෘත වීමේ කතාවට උඹලා එකඟද? නැතිනම් හේතු පහදපියව්.

දැන් ඔය තිරය ගැන මට මෙහෙමත් හිතෙනවා. සමහර විට මම නැතිදාක තිරය අදට වඩා හොඳින් තියේවි. ඒ තිරේට මත්පැන් බිඳක්වත් නොවැටේවි. ඒ තිරය ආඥාදායකත්වයෙන් මිදේවි. මම වෙලාවකට අපේ මද්දුම දෝනිගෙන් (උන්දෑ තමා මගේ බොක්ක. අනික් උන්ටත් ඒකිට සමානව මං ආදරෙයි. ඒත් මේකිගෙ තියෙනවා මොකක්ද අමුතු මෙව්වා එකක්. මට හිතෙනවා ඒකි මමමද කියලා) අහනවා, “පුතේ තාත්තා සැර වැඩියි නේද, හරි නීති නේද? මම නැති දවසක ඔයාලා සතුටින් නිදහසේ ඉඳියි නේද?“ කියලා. මේකි මූණ බෙරි කරගෙන “අපිට ඕනිඇති නිදහසක් නෑ. තාත්ත ඉන්නයි ඕනි“ කියන තේරුම සහිත වෙන වෙන වචර බර ගානක් ඇතුලත් ඡේදයකින් පිළිතුරු දෙනවා. ඔය ජාතියෙ හැටිනෙ ඉතිං ඒක. (මිත්‍රවරුනි ඔමා, බස්සි, උපේක්ෂා, හංසමාලී, දිලිනි, තුශානි, සුසී යන සප්ත කන්‍යා කඳුකරයේ මාගේ ඩී.සී. අට හැපුණු බව කළු පෙට්ටිය සොයාගත් පසුව තහවුරු කර ගන්න) මොනා වුණත් කෙල්ල ඔහොම කිව්වට පස්සෙ මං ආයි නැවත නැවත එක් අහන්න ගියේ නෑ. ඒ වුණාට මලේ හොඳ එක පැන්නම මා අතින් කියවෙන වැරදි වාක්‍යයක් තමා, “මම මල දාට හිටපල්ලකො ඕනි හැටියට“. අම්මපා මට කේන්ති ගිහාම පොඩ්ඩක් ඕවර් කියලා හිතෙනවා. දැන් තව හොඳයි. 

මෙහි එන නම් ගම් මන..(කො යකෝ මේ බිංදු දෙක? හරි හරි පැරිස් කොලෝන් එකෙං දෙන්නං) මන:කල්පිතයි. 

දැන් අහන්න එපා ඇයි බිරින්දෑ ගැන ඉස්සෙල්ලා නොලියන්නෙ කියලා. මම සම්මතය කඩන එකෙක්. මේ දැන් වෙනකං මා එක්ක රොට්න් ටුමැටෝ එකට පෝස්ට් හතලිහක් ලියන්න පුළුවන් දේවල් කතාකරලා දවල් පොත් රාක්කෙක දැවාරක්ෂිත ගාලා කැක්කුම හැදුණු දකුණු අත මං ලව්වා මසාජ් කරවගෙන නින්දට ගිය එකා ගැන ලියලා පටං ගන්නවා කියලා හිතුවා. 

ලොකුස්
වයස අවුරුදු - 19 යි
අධ්‍යාපනය - උසස් පෙළ ජීව විද්‍යා (2015)
නිල වර්ණය - රෝස
කැමතිම ඇඳුම - බැගී ටොප් සහ ටයිට් බොටම්
කැමතිම පාවහන් - ඕපන් ටොස් ඕනි මගුලක්
කැමතිම කෑම - සොසේජස්, කුකුල් මස්, බිත්තර (බුල්ස් අයිස්), තෙල් දාපු පරිප්පු, ෆ්‍රයිඩ් රයිස්
අකමැතිම කෑම - ඉතිරි සියල්ල
කැමතිම බීම - කිරි පාට යන්න කහට දාපු තේ, ඕනි පළතුරු බීමක් (ශීත කල), වයින් (වසරකට දෙවරක් පමණ)
අකමැතිම බීම - කොළ කැඳ, ඔසු පැන් (මේකනං සමහර බුකි පොරවල් එක හෙලාම හෙලා දකියි)
යහළුවන් - සීමිතයි. කොල බොක්කෙන් ඇසුර. 
සංගීතය - එනි කන්ට්‍රි නිව් ඒජ් ඕ සෙන්ටිමෙන්ටල් මියුසික්, සිංහල සරල ගී
විනෝදාංශ - කොරියන් ප්‍රමුඛ සියළුම ෆැන්ටසි ෆිල්ම් බැලීම, ෆෝන් එක තුල පදිංචි වී සිටීම, ලොකු නංගී සමග මෝටල් කොම්බැට් කිරීම, නාන කාමරයේ පදිංචි වී සිටීම, මගේ එක බ්ලොග් එකක් හොරෙන් බැලීම, අනික් බ්ලොග් සියල්ල එළිපිට බැලීම, මගේ ෆේස්බුක් එකවුන්ට් එක උගේ වගේ පාවිච්චි කිරීම

මෙයාට ගෙදරට කියන නම අහලා අපේ මාතලං අයියා එහෙම හිතා ඉන්නෙ ඇති නිකං එයා වගේ කියලා. තාම කෙල්ලව දැකලා නෑ. දැක්ක දාට තමා කෙලිය. මේකිත් මං වගේම...නෑ නෑ අපේ මෙන්ඩා වගේම කට්ට කළුයි. (තොපි පද හදන්න ආවොත් ත්‍රෛතල තිලක නැතිව තමා යන්න වෙන්නෙ...දැනගනියව්) මේකි පට්ට සිරා කෙල්ලෙක්. ඉගෙනගන්නත් මට වඩා දක්ෂයි. (නෑ...නෑ... මම මෙතනදි අර අම්මලා ජොකියන් වශයෙන් පිටේ නැගගෙන රේස් එළවන කිරි අස්ප පැටව් ටික අයිං කරලා ඉතිරි උන්ට සාපේක්ෂව දක්ෂයි කියලා කියන්නෙ. ඒක ඊ ළඟට වරද්දගන්න එපා මගේ පිටේ අපේ අම්මා එහෙම රේස් පැද්දා කියලා. අපි කැලෑ අස්සයෝ). මේ කෙල්ල සිරා වගේම ටිකක් පොඩි සෑඩ් මූඩ් ගතියක් තියෙනවා. හැබැයි මේ ලෝකෙ සෑහෙන දුරට විවෘතව මා එක්ක කතාකරන පොරක් නෙමෙයි පොරියක්. මමත් දූලා සේරටම කතාකරන්නෙ පොරි කියලා නෙමේ පුතේ කියලා. වෙන අයගෙ දූලට දුව කියනවා. (2. ඒක වැරදිද? ඇයි?). මේකිත් මගේ ජාතියෙම චිත්‍රපටි පිස්සෙක්. ටීන් ෆිල්ම්, සයි ෆයි, කොමඩි ඇන්ඩ් ෆැන්ටසි තමා ෆේවරිට්. හැරී පොටර් කිව්වොත් ඩැනියෙල් රැඩ්ක්ලිෆගෙ ආච්චිගෙ ඉඳං එමා වොට්සන්ගෙ තාමත් නූපන් ළමයාට දාන්න ඉන්න නම දක්වා සියල්ල දන්නවා. දැන් හැදෙන කෙල්ලන්ගෙ හැටි වෙන්න ඇති නේද? අපිත් ඔයකාලෙ ටොම් ඇන්ඩ් ජෙරී, වුඩී වුඩ් පෙකර්, රෝඩ් රනර් ෂෝ එහෙම බලලා ගත්තු ආතල් එක අපේ පොඩි උන් හැරී පොටර්, ටින්කර්බෙල් (අා... මතක්වුණා නේද කෙනෙක්ව), බාබි ෂෝ බලලා ගන්නවාට අපි දොස් කියන්න හොඳ නෑ. ඇලී ගැලී ඉන්නකොට තමා මං ටිකක් මගේ අවම බලය පාවිච්චි කරලා දෙකක් කියන්නෙ. 

මුන්දැට තියෙන තව පිස්සුවක් තමා මොබයිල් ෆෝන් පිස්සුව. ඕක කොඩිවිනයක් කියලා ඒකිගෙ ආච්චි කියද්දිත් මං එක් පිළිගන්නෙ නැත්තෙ, මෙයාට මට හොරෙන් දෙයක් කරන්න බෑ කියලා ලොකු විශ්වාසයක් මගේ තියෙන නිසා. උඹලා මේ කතාව විශ්වාස කරයිද මන්දා. මගේ එකෙකුට වෙන්න ඉඩ තියෙන මොකක් හරි දෙයක් තියේනං, සමහර වෙලාවට ඒක මට කල් ඇතිව හීනෙන් පේනවා. වෙච්චි හැම නරක දේම (අපේ තාත්තාත් අම්මාත් මියයාම) එහෙම නොපෙනෙනුනත් සමහර සාමාන්‍ය දේවල් පවා කල් ඇතිව මට හීනෙන් පේනවා. සමහර වෙලාවට මම ඒක කියනවා එයාට. 

*************************************

ලොක්කට කොල්ලෙක් ලයින් පාරක් දානවා, සෙට් වේගෙන එනවා වගේ ආරංචියක් එනවා. මම ගියා ඌ හම්බුවෙන්න. ගිහිං බැලුවම ඌ කැරපොත්තෙක්!
ඕ ලෙවල් දෙසැම්බර්. මාස හයක් ඇති විභාගෙට. කවදා හරි කොල්ලෙක් විදිහට ඉඳලා තියෙන නිසා මම දන්නවා කොල්ලො ලව් කලා කියලා එග්සෑම් ෆේල් වෙන්නෙ නෑ. නියම කොල්ලො සිරා ලව් කරන්නෙ නෑ. කොල්ලො මතකයට වඩා තර්ක හැකියාව මත වැඩකරන ජාතියක්. වැඩිමනක්ම කෙල්ලො විභාග ගොඩයන්නෙ පාඩම් කරලා. ඒකයි ඉස්කෝලවල වුනත් මැත්ස් කරන්න කොල්ලො වැඩිත් බයෝ කරන්න කෙල්ලො වැඩිත්. කෙල්ලො ලව් කරන්න ගත්තම පාඩම් කරපුවා වැඩිහරිය හාඩ් එක ෆෝමැට් කලා වගේ කෙළවෙලාම යන්නෙ. මේකිට ඒක වෙන්න දෙන්න බෑ!!!. (3. මම වැරදිද? වැරදිනම් ඇයි ඒ?) මං තැලුව කැරපොත්තව චප්ප වෙනකං. පොල්ලෙල්ලක දාලා අපේ මහගෙදර ඉඩමෙ මායිමේ තිබුණු මං පුංචිකාලෙ කඩදාසි බෝට්ටු ඇරපු ඇල දිගේ පා කලා. ඇල මහපාරෙ බෝක්කුව අයිනෙන් පාර යන අතටම ගලාගෙන ගිහින් බෝක්කු කට ළඟදි හැරෙන කොටම එතනට නැමිලා තිබුණු වැටකෙයියා පඳුරු වල දිගෙ කොළ අතරෙ ඒ පොල්ලෙල්ල නවතිනවා. කැරපොත්තා මා දිහා ඇස් ඇරලා බලනවා කෝචොක් එකට වගේ. මේ පාර අල්ලගෙන සුන්නද්දූලි කරනවා කියලා හිතං මං යනවා බෝක්කුව ළඟට.

*************************************




------------------------- මතු සම්බන්ධන් -------------------------