Saturday, December 19, 2015

අම්මපා මොකටද මේ බැංකු?


ගියපාර දාපු ලිපියෙන් 2016 අය වැය බැංකු ක්ෂෙත්‍රයට බලපාන හැටි ගැන මධ්‍යස්ථ මතයකින් මම කරුණු දැක්වුවානොවැ. ආච්චිට හාල් ගරන්න ගරු කථානායකතුමනි, අර මාතලං කියන අපේ ලොකු අයියා මට කණ පැලෙන්න ගහලා තිබුණානොවැ සතියක් යන්න කලිං. ඉතිං ඒ අයියා ලියපු ටික දැකලා මට පැනපු මල, මේ ලිපියත් ලියලා ගේම ඉල්ලන්න තරමට දුර යයි කියලා මුලදි හිතුන්නෑ මටවත්.

පහුගිය 17 වෙනිදා හිරු ටී වී එකේ බලය වැඩසටහන මේ කතාවට ඈඳෙන්නෙ ඔන්න ඔය අතරෙ. ඒ වැඩසටහන ගැනත් යමක් කියනවානං, එතනට ආවා ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්, ගුරු සංගමයේ ලේකම්, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ලේකම් සහ අපි කෙරේ පතල මහා කරුණාවෙන් නිතරම පවතින රජයන්ට බලපෑම් කරන අර මහ පාරේ මැර ලේකම්. මේ අය ගැනත් තවත් යමක් කියනවානම්, ගුරු සංගමයේ ලේකම් ගැන මම වැඩිය දන්නෙ නෑ වුණාට උන්නැහේ මේ සාකච්ඡාවෙදි හැසිරුණු ආකාරය මහත්මයෙකුගේ ලක්ෂණ පෙන්නුවා. අර බැංකු සේවක සංගමයේ ලේකම්නම් මේ වැඩසටහනට එව්වේ ඇයි කියලා මට හිතුනේ, උන්නැහේ එහෙම සාකච්ඡාවකට පණ මදි නිසා. අනික එයා තමා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩි වැටුප් එපා කියලා 2012 දි පාරට බැහැපු වෘත්තීය සමිති නායකයා. අනික් ලේකම් දෙපොලනං දෙයියනේ කියලා සාකච්ඡාවට පණ වැඩි අය බව පෙනුනු අතර මහ පාරේ ලේකම් තමන්ගේ මැරකම් පෙන්නුවේ තමන් නියෝජනය කොරන කොට්ඨාශයේ ආවේනික ලක්ෂණ මනාව පෙන්නුම් කරමින්. අවාසනාවට, මේ හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම වෘත්තීය සමිති නායකයින් විදිහට ස්වාධීනව කම්කරු අයිතීන් වෙනුවෙන් කතාකරනවාට වඩා වැඩි බරක් යෙදුවේ තමන් පෙනී හිටින දේශපාලන පක්ෂය ආරක්ෂා කරන්න. ලංකා බැංකු සේවක සංගමයේ පොර ඒ කතාවට සම්බන්ධ නොවුනාට අපි උන්නැහේ ගැන දන්නවා.

ආයිත් එහෙනං දැං මාතලං එක්ක ගේම. මාතලං මේ ලිපියේ මුලින්ම දක්වන්නේ සමහර බැංකු සේවකයින් මේ දවසෙත් නිවාඩුවක් අරගෙන ආතල් එකක් ගන්න තිබුණු අවස්ථාව නොලැබීම ගැන දුක් වුණා කියලා. ඒක ඇත්ත. මොකද, ඔය කියන දවසේ වර්ජනයට සහභාගී නොවී, අත්සන් කරන තැනක් තිබුණොත් මගේ අත්සනත් ගහපල්ලා කියලා තමන්ගෙ සගයින්ට කියපු මන්ද මානසික බුවාලා, බුවීලා නොහිටියා නෙමේ. වගකීමක් දරණ එවුන් කියනා කතාවක්ද කියලා හිතෙනවා. හැබැයි, ඒ බොහොම සුළුතරයක් මිසක් සමස්ත බැංකු ප්‍රජාවේ කැඩපත නෙමේ.

රජයේ බැංකු දැන් පුද්ගලික බැංකු තරමටම හෝ ඊටත් වඩා ගණුදෙනුකරුවන්ට සමීප වෙලා තියෙනවා. හැබැයි, ඉඳ හිට හණ මිටි බැංකු කාරයෝ නැතිවා නෙමේ. ඒ වුණාට, බැංකු වගේ තමන් අනිවාර්යයෙන් යා යුතු නොවන විකල්ප තිබෙන තෝරාගැනීමකදි, මිනිස්සු පුරුදු වෙනවා, තමන්ට පෞද්ගලිකව යම් අසාධාරණයක් යම් බැංකු නිළධාරියෙක් අතින් සිදු වුණෙත් ඒ සමස්ත බැංකුවම ඒ වරදින් හංවඩු ගහන්න. අන්න ඒ නිසා, අපිට අහන්න ලැබෙනවා 'අපෝ .... බැංකුව ගැනනං කියලා වැඩක් නෑ. මට මෙහෙම කලා. මට අරහෙම කලා' කියලා. ඒ අතරෙ තව කෙනෙක් කියනවා 'මම ගණුදෙනු කරන්නෙ .... බැංකුවත් එක්ක. මට හොඳට සලකනවා' කියලා. මේක මාතලංගෙ පෝස්ට් එකට ලැබුණු ඇතැම් කමෙන්ට්ස් වල දකින්න තිබුණා. මේ විනිශ්චයන් දෙකම එල්ල වෙන්නේ සමස්ත බැංකුව වෙත. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ, මේ අසාධාරණය හෝ සැලකිල්ල ලැබුණෙ එක් නිළධාරියෙකුගෙන්/එක් ශාඛාවකින් කියන එක. ඒ මගින් සමස්ත බැංකුවම විනිශ්චය කරන්න බෑ.

රාජ්‍ය බැංකු සංකල්පය ලංකාවේ බිහිවුණේ යටත් විජිත සමයේ. ඒ ප්‍රමිතියක් සහිතව, සහන කොන්දේසි මත, විශ්වාසීව ගණුදෙනුකිරීම සඳහා. හැබැයි, ඒ බිහිවුණ බැංකු ක්‍රමයේ තිබුණේ යටත් විජිත ආධිපත්‍ය ලක්ෂණ. පරණ පාස්පොතක් අරං බලන්න. ‘මෙහි ශේෂයේ හෝ ගණුදෙනු වල වරදක් ඇතොත් ...... වෙත පැමිණිලි කරනු‘ වගේ අණ කිරීම් තිබුණා. මේවා සිංහලට වරනැගීමේ වැරදි වෙන්න පුළුවන්. ඒ වුනාට මේ පාඨ කියවන බැංකුවේ පියන් වුණත් හිතනවා, යකෝ අපිත් පොරවල්නෙ මුංට අණ කරන්න කියලා. මේක රාජ්‍ය ආයතන බර ගානක ලක්ෂණයක්. ඔය මානසිකත්වය රාජ්‍ය බැංකුවල තිබුණා, පුද්ගලික බැංකු එනතුරු. අදටත් ඇතැමුන් තුල තියෙනවා, බය වෙන්න එපා ඒ අය හෙට අනිද්දාම පෙන්ෂන් යනවා. මම කියන්නෑ රාජ්‍ය බැංකු තමා හොඳම කියලා. ටාගට් පස්සේ පිස්සු බල්ලෝ වගේ දුවන තත්ත්වෙට ඒවාත් දැන් පත්වෙලා. ගුණාත්මක සේවය එතනදි ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්.

කොයි ආණ්ඩුව ආවත් තමන්ගේ සපෝටර්ලාගේ හිතසුව පිණිස, බැංකුවලට කෙළවලා හරි ණය අරන්දෙන/නොගෙවන ණය කපාදමන බව මම බොහෝම වගකීමෙන් කියනවාය. ඒ නිසා, ඔය දේසපාලුවෝනම් කවදාවත් සාමාන්‍ය ගණුදෙනුකරුවාටවත් බැංකු වල යහපතටවත් කොරනා මගුලක් ඇත්තේම නැති තරම්ය. සාමාන්‍යයෙන් ණය යෝජනා යන්නේ පහල සිට උඩහට උනාට අරවා එන්නේ අනික් පැත්තටය. අන්තිමට ආණ්ඩු මාරු වුණාම කෙලින්නේ බැංකුවේ ඉන්නා නිළධාරීන්ට මිස අණ දීපු දේසපාලුවාට නොවේය. 

දිළිඳුකම දුරුකර රටේ ආර්ථිකය ඉහල නංවන්නට, විශේෂයෙන් කෘෂිකර්මය ඇතුළු බිම් මට්ටමේ කර්මාන්ත නගා සිටුවන්නට, නව ව්‍යවසායකයන්ට අත දෙන්නට බැංකු මූලිකත්වය ගතයුතු බවට තර්කයක් නැත. එහෙත් පුද්ගල ණය, දෙවන පෙළ ගණුදෙනුකරුවන් ඉලක්ක කරගත් බැංකු ක්‍රමය ඇතුලේ ඒ තරම්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්. උදාහරණයකට සබ් ප්‍රයිම් ක්‍රයිසිස් ඇවිල්ලා ඇමෙරිකාව කෙළවාගත්තෙත් මේ ක්‍රමයේ ණය නිසාය. ඒ හින්දා, පුද්ගල ණය හෙවත් ස්ථිර ආදායම් ලාභී රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට වැටුපෙන් නොවරදවාම අයවෙන නිසා පාරිභෝජන ණය දීලා මේ රටේ ආර්ථිකය නගාසිටුවන්නට බැරිය. කරුමෙට බැංකු ටික කොරන්නෙත් ඕකමය. ව්‍යාපාරික ණයක් අනුමත කරගන්නවා කියන්නේ එසේ මෙසේ කෙළියක් නෙමේය. ඒවාට තරම් බොට්ල්නෙක් කොහෙවත් නැත.

උදාහරණයකට අපි හිතමු මොණරාගල කොල්ලෙක් සෙරෙප්පු හදන කම්හලක් දාන්න ණයක් ඉල්ලනවා කියලා. මේකාට සෙරෙප්පු හැදීම ගැන අත්දැකීම්/පළපුරුද්දත් තියෙනවාය කියලා හිතමු. ඒ වගේම මේ ණය මුදල අනුමත කොරන්න කොළඹ මහ කන්තෝරුවටම යන්න ඕනෑය කියා හිතමු. දැං ඕක යැව්වාම, කොළඹ මහ කන්තෝරුවේ ඉන්නා පුටු රත්කොරන ලොක්කෝ මේක දිහා බලන්නේ බාටා එක දිහා වගේය. ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් දිහා වගේය. ඒවායේ තියෙන සේරම මේකෙත් තියෙංට ඕනෑය. මොනවා හරි නැත්තං ඒවා ගැන පුරස්න කොරනවාය. මෙන්න මෙහෙම ලිං මැඩි මානසිකත්වයක් තියෙන් ලොක්කෝ ඉද්දි කොහෙද අප්පා ආර්ථිකේ සංවර්ධනය කොරන්නෙ? සමහරක් බැංකුවල පොඩ්ඩෝ බැංකුව හදනවාය. ලොක්කෝ කනවාය. සමහරක් බැංකුවල ඕකෙ අනික් පැත්තය.

මගේනං ආකල්පය, කලිං ගත්තු ණය පොල්ල නොතියා ඇදි ඇදී හරි ගෙවලා තියෙනවානං, ඌට ඊට වැඩි ණයක් දෙන්න ආයි ඇඹරෙන්න ඕනි නැතිය. අද කාලේ බැංකුවලට තියෙන අළුත්ම ලෙඩේ තමා අවදානම් කළමණාකරණය. ඒක ලෝකෙ පුරාමත් යන රැල්ලක්. ඔය බාසල් වන්, ටූ, ත්‍රී කිය කියා මතුරන්නේ ඕක තමා. ඉතිං දෙයියනේ අවදානමටත් එක්ක නේන්නං පොලියක් ගන්නෙ. තව ඇපේකුත් ගන්නවානේ හදිස්සියෙ කෙළවිලා ගියොත් සින්නෙට ගංට. මමනං කියන්නේ, ණයකාරයාගේ වැදගත් වෙන්නෙ චරිතය. ඒ කියන්නේ කන්‍යාභාවය නෙමේ, විශ්වාසවන්ත භාවය. මුළු මහත් බැංකු ක්ෂේත්‍රයම රැඳිලා තියෙන්නේ ඔය විශ්වාසය උඩ. අවුරුදු ගාණක් ගණුදෙනු කරලා, ණය අරං ගෙවලා විශ්වාසය තියපු ගණුදෙනුකාරයාට ණයක් දෙන්න වෙනත් කිසිම ඇගයීමක් උවමනා නෑ, ඒ තියපු විශ්වාසයම ඇති.

පර්සනල් ලෝන් අයථා පරිභෝජනයක් වෙනවා කියන එකේ යම් ඇත්තක් නැතුවා නෙමේය. වත්කමක් අත්කරගැනීම හෝ ආයෝජනයක යෙදීම සිදු නොවනවානම් ඒ ණය මුදල් ඉතාම ලොකු අවදානමකට ලක් වෙනවා. මොකද? ණයට අරං කාලා බීලා නාස්ති කලාට ගෙවන්න ඕනි පොලියත් එක්ක. වත්කමක් අත්කරගෙන තිබුණොත් ඒක විකුණලා හරි නිදහස් වුණෑකි. ආයෝජනයක් කලොත් ඒකෙන් එන ආදායමෙන් ණය ගෙව්වැහැකි. බැංකොක් ගිහිං පතායා ගියොත්... ඒත් ඉතිං ගෙව ගෙවා හිටියැකි.

රන් භාණ්ඩ උකස් ණය ප්‍රමිතිගත වුණේ නැතිය. ගමේ ගිනි පොලී කාරයාත්, දැල් කඩේ (තැබෑරුම නොවේ) පොරත්, පුද්ගලික බැංකුත්, රාජ්‍ය බැංකුත් පවුමට වැඩි මුදලක් දෙන තරඟෙට පොර කෑවේ පිස්සු බල්ලෝ වගේය. ඒ අතරේ පොලියත් අඩුවුණාය. ගිනි පොලී කාරයා ඉස්සර රත්තරං තියාගෙන දුන්නෙත් මාසෙට 10%-20% ටය. ඒ කියන්නේ අවුරුද්දට 120%-240% ටය. දැල් කඩේ අවුරද්දට 60% කි. බැංකුවල අවුරුද්දට 18% වගේ තිබිලා, දැන් 12% ටත් බැහැලාය. ඉස්සර වෙන්දේසිවල ඒතරම් බඩු තිබුණේ නැතිය. ඒ බව මම අත්දැකීමෙන් දන්නවාය. මේ හුටපට අස්සේ 2013 රත්තරන් බැස්ස බැහිල්ලෙන් පස්සේ, වෙන්දේසිවලට රත්තරං ගලන්නට පටං ගත්තේය. ආයි කට උත්තරත් නැතිය. මිනිස්සු බැංකුවලට බම්බු ගහගන්නය කියා, ගත්තු ණයටත් අඩු මුදලකට රත්තරං බඩු ආයි හදෝගත්තෝය. රත්තරං උකස් තියලා අවුරුදු/නත්තල් කනවා තමාය. අප්‍රියෙල් මාසේ මුල උගේ අම්මගේ පෝනිං පාරක් යනවාය. ඒ වුණාට ඔය අතරේ ළමයාට බේත් ටිකක් ගන්න ආදි වශයෙන් වූ සානුකම්පිත අවශ්‍යතා ඉහේ කෙස් ගාණට තියෙනවාය. ඒ නිසා පෝන් කරලා මගුල් කනවා පමණක් නොව තව අත්‍යවශ්‍ය දේවලුත් මිනිස්සු ඉටු කොරගන්නවාය. දැං ඔය බැංකුවල පෝනිං මුළු ණය ප්‍රමාණයෙන් 5%ට බැස්සුවාම, අනික් රත්තරං ටික අනිවාර්යෙන් දැල් කඩේට හරි ගිනි පොලී කාරයාට හරි යනවාමය. මාසෙකට පොලිය කොච්චරද කියලා අහලා රත්තරං උකස් තියන මිනිස්සු මටනං මුණගැහිලා නැතිය. පවුමට දෙන්නේ කීයද කියලානං අහනවාය. එහෙම වෙන්නේ, මිනිස්සුන්ට ඒ වෙලාවේ වැඩිම මුදලක් අවශ්‍යවන අත්‍යවශ්‍ය කාරණයක් නිසාය. මේ රටේ රත්තරං උකස් තියනා අයගෙන් වැඩි පිරිසකගේ පිටුපස ඉතාම සංවේගජනක කතාවක් තියෙනා බව වගකීමෙන් කියනවාය. ගිනි පොලී කාරයාගෙන් වුණත් පොලිය කීයද අහලා හැරිලා යන ගණුදෙනුකාරයෝ නැත්තේ ඒ කතාව නිසාමය.

ලීසිං ගැනනම් මාතේ දරණ මතයේ යම් දුරකට මාත් ඉන්නවාය. ඒ කියන්නේ හිටු කියලා ලීසිං දුන්නාම මිනිස්සු ජරා ඉන්දියන් කාර් ගන්නවා කියනා එකය. ඒක ඇත්තය. ඉන්දියන් කාරයාත්, චීනාත් ලෝකේ අනික් රටවලට මොනවා යැව්වත් අපිටනං එවන්නේ හත්ජරාවය. අවුරුදු පහක් යනකොට කෑලි ටික තියෙන්නේ වෙනත් ඉන්දියන් වාහන සීයකය. ඒ කෑලි වල පිහිටෙන් ඒ වාහනත් ආයි ආයි විමධ්‍යගත වෙනවාය. හැබැයි, බැංකුවල ඕක නැවැත්තුවාට පුද්ගලික ලීසිං හා ෆිනෑන්ස් සමාගම් ඕක ගජරාමෙට කොරගෙන යාවිය. ඒකත් වැඩි පොලියටය. ඒකත් අඩුම ඉක්විටි කොන්ට්‍රිබියුසන් නැත්නම් නෝ ඩවුන් පේමන්ට් ඇට් ඕල් ක්‍රමයටය. බැංකුවල නං 25%-30% ක් ඉල්ලනවාය. මොකද තමංගෙං කෑල්ලක් නැත්තං තමන්ට වගකීමක් නොදැනෙන නිසාය. ඒ නිසා, මේක බැංකුවලින් ඉවත් කලා කියලා ඉන්දියන් කාරයාට ඒ හැටි පාඩු නැත. අද මේ රටේ පඳුරකට පයිං ගැහුවත් බජාජ් මෝටර් සයිකල් හැට හැත්තෑවක් වීසි වෙන්නේ, බැංකු ලීසිං දීලා නෙමේය. 

යන්ත්‍රොපකරණ ගන්න ලීසිං දෙන්න ඕනෑය කීවාට, මොන බැංකුව ගත්තත්, මොන ලීසිං/ෆිනෑන්ස් කොම්පැනිය ගත්තත් ඔය වැඩේට අම්බ බයය. මොකද කියනවානං, වාහන වලට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක මැෂින් වලට නැති නිසාය. සමහරක් මැෂින් ගන්න ඉන්නේ ඒක මුලදී උවමනා වුණු කර්මාන්ත කරුවා පමණක්මය. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්ය. ඇත්තටම මේ රටේ කර්මාන්ත දියුණුවට තියෙන අන්තිම කාළකන්නි බාධාවක්ය.

හැබැයි, මෙන්න මෙහෙම කතාවක් කණිං කොණිං ඇහුනේය. ඒ කියන්නේ, ලීසිං වෙනුවට ණය ක්‍රමයක් බැංකු හරහා හඳුන්වා දෙන එකය. අන්න ඒකෙදිනං ගණුදෙනුකරුවාට වාසියක් වෙන්නේ, ලීසිං වගේ මුළුමනින් ආපහු ගෙවලා නිදහස් වෙන දවසක, ඉස්සරහටත් එක්ක පොලී ගෙවන්න උවමනාවක් නැති නිසාය. ඒ නිසා එහෙම දෙයක් වෙනවානං හොඳය.

බැංකුවල උපදේශකයින් පත්කිරීම ගැනත් නොකියාම බැරිය. දැන් කාලයක් තිස්සේ බැංකුවලට විදෙස් උපදේශක පිස්සුව ගහලා තියෙනවාය. උදාහරණයකට, ඕනි බැංකුවක අයි ටී එක ගත්තෝත් ඒවායේ එළ කොල්ලෝ අනන්තවත් අළුත් සැලසුම් ලොක්කන්ට දානා බව අපි දන්නවාය. ඒවා තුට්ටුවකට ගණන් නොගන්නා ඒ කෝ බී කෝ හොය හොයා කී බෝඩ් එකට කොටන ලොක්කෝ පිටරටින් එන අමු ගොබ්බ හරක් උපදේසකයෝ විදිහට පිළිගන්නේ සුමේධ තාපසයා වගේ වැඳ වැටිලාය. ඒ එන උන් කරන්නේ මෙහේ ඉන්නා කොල්ලන්ගේ අදහස් අරගෙන ඒවා උන්ගේ අදහස් විදිහට අර ගොබ්බ ලොක්කන්ට කෝටි ගාණකට විකුණන එකය. මේවා හොයා බලන්න කොමිසන් දාන්නේ නැත්තේ වෙනත් කොමිසන් ජාතියක් නිසාද කියලා හොයා බලන්න ඕනෑය. ඒ නිසා මාතලන් කිව්වා වගේ මේ රටේ උපන් උන්ගෙන් බැංකු උපදෙස් ගන්නා දවස එනකොට අපි දෙන්නාම අපේ ලෝකවලය. 

එක්සිම් බැංකුව එන්නේ රජයේ අයිතිය 50% ට වඩා අඩු ප්‍රතිශතයකින්ය. එහෙනම් ඉතිරිය කොටස් වෙළඳ පොලේ විකිනෙනවාය. එවිට මේක නිකම්ම පුද්ගලික බැංකුවක් වේවිය. අඩුම ගානේ මුල අවුරුදු කීපයවත් එයාලාට ආනයන, අපනයන වලට ණය දෙන්න වෙන්නේ දේශීය බැංකු පද්ධතියෙන් හෝ විදේශීය බැංකු වලින් අරමුදල් ණයට අරගෙනය. එතනදි මෙතෙක් මේ රටේ බැංකු ආනයන අපනයන වලට දීපු පොලී අනුපාත එයාලා දෙන්නේ කොහොමද? කොහොමත් ආනයන ණය සඳහා පොලී අනුපාතය වැඩියි. එහෙම කරන්නේ ආනයන අධෛර්යමත් කරන්න. ඒ වුණාට ඇත්තටම බැංකු පද්ධතියෙනුත් ආනයන වලට දෙන ණය ප්‍රමාණය එහෙමට අඩුවක් වෙලා නෑ. මේ ගැන මැදිහත් වීමක්, විදෙස් වෙළඳාම මූල්‍යකරණයේ යම් නියාමනයක් තමා අවශ්‍ය. එහෙම නැතිව විදෙස් වෙළඳාම මූල්‍යකරණය මොකෙකුට හරි දීම නෙමේ.

මේ රජය පිහිටුවන්නට මූලිකත්වය ගත්තු බහුතරයක් අද මේ උද්ඝෝෂන වල ඉන්නවා. ඔවුන් දැන හිටියා මේ රජය පුද්ගලීකරණය කියන මන්ත්‍රය මතුරාගෙන එන්නේ කියලා. ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලීකරණය කරපු රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදියේ සේවකයින් බර ගානක් වන්දි පවා නැතිව ගෙදර යවන එක. ඒ අපේ රටේ ජනතාව. පුද්ගලීකරණය අපේ රටට තාමත් මහා බිය ගෙන දෙන අත්දැකීමක්. එහෙම ටාගට් පස්සෙ දුවන්න, වෘත්තීය/සේවක අයිතිවාසිකම් කප්පාදු වෙන්න, විශ්‍රාමය අහිමි වෙන්න අපේ අයට පුරුදු නෑ. උදාහරණයක් විදිහට රජයේ රැකියාවක යෙදෙන්නෙකුට, පුද්ගලික අංශයේ රැකියා කීපයක යෙදුනු කෙනෙකුට තියෙන බහුවිධ දැනුම නෑ. විවිධ හැකියාවන් තිබුණත් එවා මොටවෙලා. ඒකීය රාමුවක් ඇතුලේ එපාවෙන බෝරිං රාජකාරි හැලියක ඔවුන් තැම්බිලා ඉන්නෙ. ඉතාම සුළුතරයක් විතරයි බිස්නස් කරන්නෙ. ඒ කරන්නෙත් හොරෙන්, තමන්ගේ නමින් කරන්න බැරි නිසා. තව කීප දෙනෙක් ඉඩං වවනවා. අනික් බහුතරයට තියෙන්නේ පඩිය විතරයි. 

ඉතිං මේ අය බයයි රැකියා නැතිවෙනවට, පුද්ගලීකරණය වෙලා ටාගට් පස්සෙ දුවන්න වෙනවට, විශ්‍රාමය අහිමි වෙනවාට. විශ්‍රාමය ගැන කීවාම මේකත් කියන්න ඕනි. දායකත්ව විශ්‍රාමය බොහෝ රටවල තියෙනවා. ඒ ක්‍රමයට අළුත් අය බඳවාගන්නවානම් ඔවුන්ට ඒ දායකත්වය ගෙවන්නත් ප්‍රමාණවත් වැටුපක් දෙන්න ඕනි. නැතිනම් ලොක්කා කිව්වා වගේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම නවත්තන්න ඕනි. ඕක කොළහැකිද? ඔය ඉන්නා සෙට් එක මැචුවර්ඩ් වෙනකොට, කාර්යක්ෂමතාවය බහිනකොට, පැන්සොන් යනකොට, අළුත් අය නොගෙන පුළුවන්ද? එතකොට කෝ රාජ්‍ය යාන්ත්‍රණය? පිස්සුනේ!

මේකත් බලලාම හිටිංට.

ඔන්න මාතේ මාත් ආයි ලිව්වා. හැබැයි මල පනිංට ඔට්ටු නෑ ඕං.


Thursday, December 10, 2015

අයවැය හා බැංකු




පහුගිය 09 වෙනිදා, ඒ කියන්නේ බදාදා ලංකාවේ ප්‍රධාන නගර ගණනාවක දවල් 12.30 - 01.30 අතර තරමක රථවාහන තදබදයක් තිබ්බා මතකද? ඕක ඉතිං අහංටත් දෙයක්යැ. හැබැයි මේ කියන දවසේ පොඩි වෙනසක් නිසා තමා ඔය තද බදේ. බැංකු සේවකයින් පාරට බස්සලා ලොකු උද්ඝෝෂණයක් කොලානොවැ පහුගිය 09 වෙනිදා. ආං ඒකයි ඔය තදබදේට මුල.

මෙයාලා එළියට බැස්සෙ, මේ රට පාලනය කරන අළුත් ආණ්ඩුවේ මංගල අයවැයට විරුද්ධව. ඒ අයවැයේ කියවෙන ප්‍රධාන යෝජනා ගණනාවක් ආපහු අකුලාගන්න කියලා තමා එදා මේ කස්ටිය කෑ ගැහුවෙ. දෙපැත්තෙන් එක පැත්තක්වත් නොගෙන, අපි බලමුද මේ අයවැය බැංකු පද්ධතියට කොහොමද බලපාන්නෙ කියලා.

රන් භාණ්ඩ උකස් ණය
අළුත් අයවැය යෝජනාවක් තියෙනවා, මේ රටේ බැංකු තමන්ගෙ ණය කළඹෙන් (ඒ කියන්නෙ ණය එකතුවෙන්) 5% ක සීමාවක රන් භාණ්ඩ උකස් ණය තබා ගත යුතුයි කියලා. මේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ තමා දැනට වැඩිම රන් භාණ්ඩ උකස් ණය තියෙන්නෙ. එයිනුත් මහජන බැංකුව ප්‍රධානයි. එයාලගේ ණය කළඹෙන් 14% ක් වගේ තියෙන්නෙ මේ කියන රන් භාණ්ඩ ණය. ඒ තරම්ම නොවුනත් ලංකා බැංකුවත් 6-7% ක රන් ණය ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. දැන් තේරෙනවා ඇති විශේෂයෙන් මහජන බැංකුවට මේ නිසා ඇතිවන බලපෑම.

විශේෂයෙන් මේ ජාතියේ ණය ලබාගන්නෙ ගම්බද ජනතාව සහ පහල/මධ්‍යම පාංතික ජනතාව. බැංකු විසින් 12%-15% ක පමණ පොලියක් අවුරුද්දකට අයකරගෙන මේ ණය ලබා දෙන්නෙ. ඔය අතරෙ අර ගම, මේ සේකර ආදී වසයෙන් තව කට්ටියක් ණය දෙනවා 30%-60% හෝ ඊටත් වඩා වාර්ෂික පොලී අනුපාතයකට. දැන් මේ අළුත් යෝජනාව නිසා උන්නැහැලාගෙනං කල්ල මරේ.

ඇමෙරිකානු මූල්‍ය වෙළඳපොලේ ප්‍රසාරණය එක්ක රන් මිලත් මේ අවුරුද්ද අගදි තව බහීවි. ඉතිං අවදානං ගැන අනික් සේරටම වඩා හිතංට පටං අරං ඉන්න බැංකු වලට මේක හොඳ දෙයක් වෙන්ටත් බැරි නෑ...හැක් හැක්.

රන් ආනයන බදු ඉවතට
මේක නිසා දේසීය වෙළඳපොලේ රත්තරං මිල තව තවත් පහල යනවාය. එතකොට බැංකුවල තියෙන සංචිත වල මිලත් බහිනවාය. ඒකට බැංකු කැමති නැතිය. බැංකුවලින් රත්තරං තියාගෙන දෙන ණය ගාණත් අඩුවෙනවාය. ඒකට ණය ගන්නෝ කැමති නැතිය. බැලුවාම හැමෝම අතෘප්තිමත්ය.

කල්බදු තහනම්
බය වුණාද? ඇත්ත. එහෙම තහනමක් ලබන අවුරුද්දෙ ජූනි ඉඳලා වැටෙනවා බැංකු වලට. දැනටමත් බැංකුවල ණය කළඹේ 5% ක විතර ඔය ජාතිය තියෙනවාය. ඉතිං මල පනිනවාය. මහජන බැංකුව අනුබද්ධ ලීසිං සමාගමක් පීපල්ස් ලීසිං නමින් තියෙනවා. ඒ හංදා එයාලට ඒක ප්‍රශ්නයක් නෑය. අනික් බැංකු වලටත් එහෙම සමාගම් පිහිටුවන්න වෙයි වගේය.

ලීසිං ගන්න ගිහාම ප්‍රයිවට් ලීසිං/ෆිනෑන්ස් සමාගම් ඉක්මනින් ලිහිල් කොන්දේසි උඩ ලීසිං දෙනවාය. හැබැයි පොලියත්, අයකරන විවිධ ගාස්තු බලුවමත්, කලින් එක පාර ගෙවලා ඉවර කරන්න ගිහාමත් බැංකු ඊට වඩා හොඳයි කියලා වෙලාවකට හිතෙනවාය.

කෘෂිකර්ම කටයුතු, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති, කාන්තා හා තරුණ ව්‍යවසායකයන්ට වැඩි වැඩියෙන් ණය
අළුත් යෝජනාවල් අනුව බැංකු තම ණය කළඹෙන් 10% ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදෙන්ට ඕනෑය. ඒක දැනටමත් තියෙන නීතියක්ය. ඒක කෙරෙනවාදැයි මං දන්නේ නැතිය. මේ රටේ පාලකයොත් බැංකුත් ඔය කවුරුත් අමතක කොලාට කෘෂිකර්මය කියන්නේ අපිට සේරම නැතිවෙච්ච දාට අන්තිමට තියෙන පිළිසරණය.

අනෙක් අතට 5% ක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙංට ඕනෑය. මටනං කියංට තියෙන්නේ ඕක හොඳටම මදිය. මොකද, මේ රටේ ආර්ථිකේ ඇදගෙන යන්නේ ඔය කියනා කස්ටිය නිසාය. සුළු හා මධ්‍යම කීවාට රුපියල් මිලියනයක ඉඳලා මිලියන 200 වගේ දක්වා ණය ඔය කාණ්ඩයට දෙංට ඇහැකිය. ඒ නිසා මං නං කියන්නේ, 25% ක් විතර දුන්නත් කමක් නැත. කාන්තා හා තරුණ අයට ණය සැපයීම වැඩි කරනවානං ඒකත් බොහෝම හොඳය. කාන්තාවන් ණය ගෙවීමේදී වඩා විශ්වාසනීය බව සාමාන්‍යයෙන් පිළිගන්නා දෙයක්ය. මහත්තයා නොගෙවන ණයක් වුණත් නෝනාට දැනුම්දුන්නාම පහුවදාම මහත්තයා සල්ලි දානවාය.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපර සඳහා ණය ඇප ආවරණ ක්‍රමයක් සහ අරමුදල් ක්‍රමයක්
මං කලිනුත් කිව්වා වගේ අපි සලකන්ටම ඕනි නඩයක් අමතකම කරලා ඉන්නෙ. මේ කියපු කට්ටියට ලබාදෙන බැංකු ණය වෙනුවෙන් 75% ක ණය ඇප ආවරණයක් බැංකු වලට දෙංට මේ අයවැයෙන් තීරණය කොරලාය. මේ ක්‍රමය නිසා බැංකු වලට ඒ ගොල්ලො දවස දෙවේලේ කියෝන අවදානම අඩු වෙනවාය. ණය ඇප ආවරණය කියන්නේ ණයක් දීම නිසා ඇතිවන අවදානම අඩු කරන්න මහ බැංකුව හරි වෙනත් පිළිගත් මූල්‍ය ආයතනයක්/අරමුදලක් වගකීමෙන් බැඳී සිටීමය.

හැබැයි මේ දෙවනියට කියන අර මුදලනං තවත් ණය දෙන ආයතනයක් වෙනවාමය. එතකොට බැංකුවලට පොඩි වැදිල්ලක් වදිනවාය.

අපනයන හා ආනයන බැංකුව (EXIM Bank-Export & Import Bank)
ආණ්ඩුවයි, ආනයන අපනයන ක්ෂෙත්‍රයයි එකතුවෙලා රුපියල් බිලියන 25 ක අරමුදල් යොදවලා 2016 අප්‍රියෙල් ඉඳලා පටං ගංට හදනා බැංකුවක්ය. මේ බැංකුව නිසා මේ රටේ වාණිජ බැංකු වලට අම්බානකට වදිනවාය. අපේ රටේ ගොඩක් බැංකු නියම ලාභයක් ලබන්නේ නැතිය. හේතුව අපේ රටේ දේශීය ණය ප්‍රමාණය තැන්පතු ප්‍රමාණයට වඩා අඩු නිසාය. ගොඩක් වාණිජ බැංකු මේ අවුලෙං ගොඩයන්නේ ජාත්‍යන්තර වෙළඳාමට පිං සිද්ද වෙංටය. ඒ කියන්නේ, ආනයන හා අපනයන කටයුතු වලට ණය දීලාය. කොටිංම කොටිංට අගේන්ස්ට් මේ රටේ ගිය යුද්දෙදි හමුදාවලට ආයුධ අනං මනං ගෙන්නංට ණය දුන්නේ වෙන කවුරුවත් නොව මේ රටේ රාජ්‍ය වාණිජ බැංකුවක්ය. ඛණිජ තෙල් ඇතුළු රජයේ ප්‍රධාන ආනයන සේරටම වාගේ ණය දෙන්නේ වාණිජ බැංකුය. මේ අළුත් බැංකුව නිසා ඒවාට වදිනවාය.

බැංකුවලින් මුදල් ආපසු ගැනීමේදී බද්දක්
මට අහංට ලැබුණු පැමිණිලි වල හැටියට මේක සමහරු පටලෝගෙන තිබුණාය. අපේ මිනිස්සුංට තාම ඔය මිලියන්, බිලියන් අරහංය. මේ අයියලා හිතලා තියෙන්නෙ ලස්සයක් ගත්තත් බදු කියලාය. එහෙම නෑය. රුපියල් ලස්ස දහය ඉඳලා කෝටියට අඩු මුදලක් ගත්තොත් 2% යි. ඊට වැඩිනං 3% යි. මේක මහා පරිමාණ මුදල් ගණුදෙනු කොරන අයට වදින බද්දක්ය. මුදලින් ආපහු නොගත්තට ගංට ක්‍රමද නැත්තෙ අප්පාය.

ආදායම් බදු
බදු නිදහස් සීමාව රුපියල් ලස්ස 24 දක්වා උස්සලා තියෙනවාය. ඒක නැගී එන ව්‍යාපාරිකයින්ටනං හොඳ දෙයක්ය. අනෙක් අතට මාස් පඩි කාරයිංගෙ පේයී ටැක්ස් හෙවත් උපයනවිට ගෙවීමේ බද්දත් මේ සීමාවේය. ඒක එක එක විදිහට නැතිව පොදුවේ 15% ක්ය. සේරම ආදායං ගණං ගන්නවාය. එක්සෙම්සොං නැතිය. හුටාය.

වැට් බද්ද 12.5% දක්වා ඉහලට
ඔය හත්තිලව්ව පටං ගත්තෙත් ඔය ගානටමය. ඒ කාලේ ඕකට කිව්වේ බාන්ඩ හා සේවා බද්ද හෙවත් ජී අැස් ටී කියලාය. පස්සේ බාණ්ඩ අතෑරලා සේවා වලට විතරක් 12% ක් ගහංට තබා ගත්තාය. අළුත් කස්ටිය ආපු ගමං ඕක 11% ට බැස්සුවාය. දැං ආයි තිබුණාටත් වඩා නග්ගලාය. විලි ලැජ්ජා හැත්තෑවය.

ඕක ගෙවන්නේ ඉතිං පාරිභෝගිකයා නිසා වෙළෙන්දාටවත් බැංකුවලටවත් ඇති රුදාව මක්කැයි කියා කෙනෙක් අහංට ඇහැකිය. එහෙම කියංට එපාය. කොයි බඩ්ඩට වුනත් බද්ද වැදිලා මිල වැඩි උනාම ඒක ගංට මිනිස්සු අදි මදි කොරනවාය.

ජාතිය ගොඩනැගීමේ බද්ද 4% දක්වා ඉහලට
ගොඩනගපු ජාතියක්නං මංදා, ඕක තිබුණේ 2% ක් විදිහටය. ඕකත් අර වැට් එකත් එක්කම අතේ එල්ලිලා යන කිරි දරුවෙක්ය. දැං ඉතිං ඒකත් කිරි මරුවෙක් වෙලාය. ප්‍රතිපලේ අර කලිං කියාපු එකමය.

පොලිය මත රඳවා ගැනීමේ බද්ද ඉවතට
මේං මේක නිසා තැන්පතු දාංට මිනිස්සු වැඩියෙං පෙළඹෙනවාය. රට ගිය/අට ඉන්න ඇත්තංගෙ තැන්පතු පොලියට ගහන 20% බද්දත් 15% දක්වා බස්සලාය. මේ දෙකම හොඳ වැඩය.

බැංකු හා මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම
මෙතනින් බැංකුවලට වදින්නේ දිවිනැගුම, සමෘද්ධි වගේ අරමුදල් සම්බන්ධවය. ඒ කියන්නේ එයාලාගේ දැන් තියෙන තැන්පතු, ජංගම ගිණුම්, භාණ්ඩාගාර බිල්පත් වගේ එව්වා බැංකුවලට නැති වෙනවාය. ඒ වෙනුවට ඒවා ඒ අරමුදල් සම්බන්ධවන එක බැංකුවකට විතරක් ගලා ගලා යනවාය. ඔන්න ඉතිං තද වෙනවාය.

දුර පළාත් බැංකු ශාඛා ගණන 15% කින් වැඩිකිරීම
මේකනං ඇත්තටම හොඳ දෙයක්ය. මේ නිසා බැංකු ගමට යනවාය. 6 දෙනෙක්ගේවත් කාර්ය මණ්ඩලයක් ඒ ඒ පළාත් වලෙින් යොදවන්ටත් කියා තියෙනවාය. ඒ නිසා රැකියා අවස්ථා සැලකියයුතු තරම් වැඩිවෙනවාය. ඒ වුණාට අයියලා කරන්නේ 6 ක් ඕනි තැනට 3 ක් දාන එක නිසා ඔව්වා ඔය විදිහටම වේවිද මංදාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පතු
ජ්‍යෙෂ්ඨ පුරවැසියංට ආණ්ඩුවත් බැංකුත් කොහොමත් බොහොම ආදරේය. උන්නැහේලා නිතර සල්ලි ආපහු නොගන්නා නිසාත් සමහර විට කවදාවත් ආයි නොගන්නා නිසාත් වෙංට ඇහැකිය. කොහොමවුණත් පහුගිය කාලේ ඔය 15% ක පොලියක් ගෙවන කතාව ආවාම රටේම ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කෙරේ පතල මහා කරුණාවෙන් කණිෂ්ඨ පුරවැසියෝ උන්නැහේලාව දක්කාගෙන බැංකුවලට ආපු ඒම දැකලා බයවෙච්ච ආණ්ඩුව එක්කෙනෙකුගේ තැන්පතු සීමාව රුපියල් ලක්ෂ දහය කොරලා දැම්මෝය. ඕං දැං ඒක ලක්ෂ 15 කොරලාය. ඒ මදිවාට ජ්‍යෙෂ්ඨ පුරවැසියා කියන්නේ අවුරුදු 60 කිංය කියනා නීතිය අවුරුදු 5 කිං ඩිස්කවුන්ට් කොරලාය. ඉතිං අපිත් ඉක්මනටම ජ්‍යෙෂ්ඨ වෙනවාය.

අක්‍රිය ගිණුම් වල තැන්පතු ඒකාබද්ධ අරමුදලකට
කවුරුත් වැඩිය නොදන්නවට ඕක දැනටත් තියෙන නීතියක්ය. හැබැයි ක්‍රියාත්මක නෑ වෙන්න පුළුවන්ය. ඇත්තටම බැංකු ගිණුමක් අවුරුද්දක් ගණුදෙනු නොකර හිටියොත් ඒක අක්‍රිය වෙනවාය. ඒක අවුරුදු 2 යනකොට සදා සොත්ති වෙනවාය. හරිනං මේ සදා සොත්ති තැන්පතු මහා භාණ්ඩාගාරයට යවන්න නීති තිබුණේය. ඉස්සර එහෙම කලාය. හිමිකම් නොපෑ ශේෂ ගියලා තියාගෙන ඉඳලා ආණ්ඩුවට දුන්නාය. එහෙම කලාම බැංකුවල තැන්පතු ප්‍රමාණය අඩුවෙන නිසා පස්සෙ පස්සෙ ඕක නොකලා කියලා කාටවත් කචල් ඇදුනේ නං නෑය.

පුද්ගලික මූල්‍ය සමාගම් වල තැන්පතු සඳහා 100% ක මහ බැංකු ආවරණය
මේකට ගණුදෙනුකාර භවතුන් හැමෝම කැමතියි. ඒ වගේම පුද්ගලික මූල්‍ය සමාගම් බැංකු වලට වඩා පැහැදිලි ඉහල පොලියකුත් ගෙවනවාය. ඉතිං මෙච්චරකල් තිබුණු පුරස්නේ ඔය කොම්පැනි කාරයෝ බංකොලොත් උනොත් හරි රට පැන්නොත් හරි අපිට බූමිතෙල් හොයාගෙන රට වටේ දුවංට උනු එකය. දැං ඒකත් හරිය. හැබැයි මේ විදිහට සමාගම් ගණනාවක් එකපාර දියාරු වුණොත් වැඩේ හබක් වෙනවාය.
තව පුරස්නයක් තියෙනවාය. මහ බැංකුව මේ රටේ බැංකු ගැන විතර මූල්‍ය සමාගම් ගැන ඇඟිලි ගහලා බලන්නේ නැතිය. ඒ හින්දා එයාලා මක්කා කොරනවාදැයි දැනගංට ලැබෙන්නේ ලමයා හම්බු උනාටත් පස්සේය. ඒකත් පොඩ්ඩක් අවුල් වගේය.

රැකියා කරන්නන් සැමට බැංකු ගිණුමක් /පාසල් සිසුන්ට අවුරුද්දකට රු.250 බැගින් දමා ගිණුමක්
මේකට බැංකු බෝම කැමතිය. තැන්පතු වැඩි වෙනවාය. මිනිස්සුත් රුපියලක් හරි ඉතිරි කොරනවාය.
ළමයිංගෙ කේස් එකේදි කියන්ට තියෙන්නේ වැඩේ පටං ගන්න ඉස්කෝලෙට යනවා වගේ දිගටම ඒ පැත්තේ යනවානං නරක නැත කියාය.

චෙක්පත් අගරු වීම අපරාධ නීතිය යටතට
චෙක්පත් සම්බන්ධ නඩු කාලෙන් කාලෙට දිස්ත්‍රික් උසාවි වල වගේම පොලිස් උසාවි වලත් අහනවාය. පොලිස් උසාවියේදිනං චෙක් එක ලියපු එකාට බලු කූඩුවේ ලැගීමේ වරප්‍රසාදයත් හිමිවෙන තැං තියෙනවාය. ඒ කෙසේ වෙතත් මේක නිසා කොල්ලයි බල්ලයි සේරම කරන්ට් එකවුන්ට් ඇරිල්ලයි පලා ලියනවා වගේ චෙක් ලිවිල්ලයිනං අඩුවෙනවා ඇතිය.


*********************************************************************************


මේ කියාපුවා ඇර තව එකක් දෙකක් තිබ්බත් ඒවා ඒ තරම් බරපතල නැතිය. මෙහෙම බැලුවාම අයවැය ගෙනල්ලා තියෙන්නේ හොඳ නරක දෙකම එක්කය. ඒ වුණාට අපෙං අරං අපිටම දෙන අයවැයේ මේ පාර අපෙං ගන්න ඒවා රිදෙංටම ගන්නා බවත් පේනවාය. අන්න ඒ තාලෙටම බැංකු වලටත් ඇවරේජ් රිදිලාය.

මේන්න මේකත් කියංට ඕනෑය. මේ රටේ බැංකු පටං ගන්න කාලේ තිබණේ එකයි දෙකයිය. ඒ නිසා එයාලාට හැම රෙද්දම කොරංට වුණාය. ඒ කියන්නේ බැංකු කටයුතු වගේම බැංකු කටයුතු නොවන වෙනත් ඒවාය. එයාලා තාම ඒවා කොරනවාය. ඕවා එකපාර ගැලෙව්වාම පෝසෙප් ඇබෝසන් කෙරුවා වගේය. කොරංට ඕනිම දේවල් මේ අතරේ තියෙංට ඇහැකිය. ඒ උනාට එකපාරම කොලාම ආණ්ඩු ගෙදරම යනවාය. එයාලා පව්ය. මේ රටේ මිනිස්සු වෙනසට ඇලජික්ය. වෙනස කබරයා පොලවේ ගැහුවා වගේ කොරන්නේ නැට්ටටම ඇණුනාමය. එතකං දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවාය. ඒ හින්දා වෙනසක් උවමණා වුණත් ඒක කොරංට ඕනෑ සතෙං සතේ රුපියලෙන් රුපියල මිසක් මිලියන්, බිලියන් වලින් නොවේය.

නම වෙනිදා කළබලයෙන් පේන්නේත් ඒකමය. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටය. ඒ වගත් එසේය.

(ඉට්ටැයිලිය මාතලං බොසා අනුව යමිනි)